Skip to content

ජර්මනියට අපනයනය කිරීමේදී මානව හිමිකම් බලපෑමක්

ජර්මනියේ සැපයුම්දාමවල සාමූහික වගකීම සම්බන්ධයෙන් අලුතින් බලාත්මක කරන ලද නව පනත අනුව ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තය සඳහා අළුත් අභියෝගයක් මතුව තිබෙනවා.

ඒ නව ජර්මන් සැපයුම්දාම පනත හේතුවෙනි. එම පනත ප්‍රකාරව ජර්මානු ෆෙඩරල් රජය විසින් ලොව පුරා මානව හිමිකම් තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා ව්‍යවසායන් සමඟ කටයුතු කිරීමට සහ ගෝලීයකරණයට සමාජ මානයක් ලබාදීම උදෙසා නව ප්‍රයත්නයකට යොමුව තිබෙනවා.

2023 වසර වනවිට තුන් දහසකට හෝ ඊට වැඩි සේවකයින් සමග ක්‍රියාත්මක වන සියළුම ජර්මන් සමාගම්, සැපයුම්කරුවන්ගේ අවදානම් කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට පනත මගින් බැඳී සිටිනවා.
2024 දී මෙම පනත සේවකයින් දහසක් හෝ වැඩි ගණනක් සමඟ ක්‍රියාත්මක වන සමාගම් සඳහා අදාළ වීමට නියමිතය.


ඒ අනුව ශ්‍රී ලාංකික අපනයනකරුවන් සැපයුම්දාම වල සාමූහික වගකීම සම්බන්ධ නව පනත සහතික කිරීම සඳහා, ජර්මනියේ ආනයනකරුවන් විසින් ඉල්ලා සිටින අවශ්‍යතාවලට අනුකූලව කටයුතු කළ යුතුව තිබෙනවා.
උදාහරණයක් ලෙස, සොයාගැනීම් පද්ධති (traceasbility system),සමාගම් විගණන සහ වාර්තා කිරීම් යාන්ත්‍රණ අවශ්‍යවනු ඇති.



මේ හේතුවෙන් ජර්මනිය වෙත අපනයන සිදුකරන, අපනයනකරුවන් දැනුවත් කිරීමට එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (unido), ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කණ්ඩායම සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය එක්ව පියවර ගෙන තිබෙනවා.

මේ පිළිබඳව අප කළ විමසීමකදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන  ජර්මානු තානාපති (Hoger Seubert) මහතා පවසන්නේ මානව හිමිකම්, සමාජ අයිතීන්, ළමා අයිතීන් සුරැකීම සඳහා ජර්මන් රජය නව පනත ගෙන ආ බවයි.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ජර්මානු තානාපති (Hoger Seubert)


ලොව පුරා කම්කරුවන්  බිලියන 1.4 ක් කම්කරු නීති අභිබවා යමින් සේවය සපයනවා.ලොව පුරා ළමා ශ්‍රමිකයන් මිලියන 160ක සේවය නීත්‍යානුකූල නොවන ආකාරයට ලබා ගන්නා බව,ලෝක කම්කරු සංවිධානය පවසා තිබෙනවා.


මෙම පනත සමග ජර්මානු සමාගම් වෙත සැපයුම් සිදුකරන ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට තම සේවකයන්ගේ මානව හිමිකම් පිළිබඳ සැලකිලිමත් වීමට සිදුවෙනවා.


මෙය ජර්මානු අදහසක් පමණක් නොව ඉදිරියේදී යුරෝපා සංගමය ගෙන එන මීට වඩා ප්‍රබල නීතියක පෙර ගමන්කරුවෙක්.
දැනටමත් මෙවන් නීති රාමුවක් ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව,බ්‍රිතාන්‍ය, ප්‍රංශය ඇතුළු රටවල් රැසක් ක්‍රියාවට නංවා අවසන් බවද තානාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.

Latest