ගාසා තීරය යනු පලස්තීන පාලන අධිකාරියට අයත් වන එක් ප්‍රදේශයකි. 1993 දී ඊශ්‍රායලය සහ පලස්තීන විමුක්ති සංවිධානය අතර ඇති වූ සාම ගිවිසුම අනුව ස්ථාපිත කරන ලද පලස්තීන පාලන අධිකාරියට බටහිර ඉවුරෙහි කොටසක් සහ ගාසා තීරය අයත් වේ.
ගාසා තීරයෙහි විශාලත්වය වර්ග කිලෝමීටර් 365 කි. එහි ජනගහනය මිලියන 2.3 ක් පමණ වේ යයි සැලකේ. දකුණින් ඊජිප්තුවට මායිම්ව ද උතුරු සහ නැගෙනහිර දෙසින් ඊශ්‍රායලයට මායිම්ව ද ඇති එම ප්‍රදේශයේ බටහිරින් වන්නේ මධ්‍යධරණී මුහුදයි. ගාසා සිට දේශසීමා මුරපල හතකි. ඉන් හයක් ඊශ්‍රායලය විසින් පාලනය වන අතර එකක් ඊජිප්තුව විසින් පාලනය කෙරේ. ගාසා තීරයේ ප්‍රධානම නගරයෙහි නම ද ගාසා වන අතර ඊට අමතරව ඛාන් යුනිස් සහ රෆා යන නගර ද වැදගත් ය. රෆා පිහිටියේ ඊජිප්තු දේශසීමාව ආසන්නයේ ය. ඊජිප්තුවට විවෘත වන රෆා දේශසීමා මුරපල ද ඇත්තේ ඒ ආසන්නයේ ය.

ගාසා හි ජනගහනයෙන් වැඩි පිරිස 1948 අරාබි-ඊශ්‍රායල යුද්ධයෙන් අනතුරුව එහි සරණාගතයින් ලෙස පැමිණි අය ය. ප්‍රධාන සරණාගත කඳවුරු අටක ඔව්හු ජීවත් වෙති. ගාසා හි ජනගහනය සම්පූර්ණයෙන්ම පාහේ සුන්නි මුස්ලිම්වරුන් ය. ගාසා හි ජනගහනයෙන් සියයට 40 ක් පමණ වයස අවුරුදු 14 ට අඩු අය ය. එහි කාන්තාවන් අතර සඵලතාව ඉතා ඉහළ අගයක් ගනී.
මෑත කාලීන ඉතිහාසය
පළමු ලෝක යුද්ධය වනතුරු මෙම ප්‍රදේශයේ පාලනය ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය වෙත පැවතියේ ය. ඊජිප්තුවේ සිට පලස්තීනය වෙත මාර්ගයෙහි වැදගත්ම බලකොටුව වූයේ ගාසා ය. 1917 දී බ්‍රිතාන්‍යයන් විසින් එම ප්‍රදේශය අල්ලාගන්නා ලදී. ඒ සඳහා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල හමුදා 1917 දී සටන් තුනක් සිදුකළෝ ය. එයින් මුල් සටන් දෙක අසාර්ථක වූ නමුත්, තුන්වන සටන අවසානයේදී, 1917 නොවැම්බර් 7 වනදා ගාසා නගරයේ තුර්කි හමුදා පසුබැස ගියහ.
යුද්ධයෙන් අනතුරුව මෙම ප්‍රදේශය බ්‍රිතාන්‍ය පලස්තීන අධිකාරියට (පලස්තීන මැන්ඩේටය) අයත් වූයේ ය. 1947 දී පලස්තීනය යුදෙව් සහ අරාබි රාජ්‍යයන් දෙකක් ලෙස බෙදීම සඳහා එක්සත් ජාතීන් විසින් කළ යෝජනාව අනුව ගාසා තීරය අයත් වියයුතු වූයේ අරාබි රාජ්‍යයට ය. 1948 අරාබි-ඊශ්‍රායල යුද්ධයෙන් අනතුරුව ගාසා තීරය ඊජිප්තු පාලනයට නතු විය.
1967 සයදින යුද්ධයේ දී ඊශ්‍රායලය විසින් ගාසා තීරය සහ සිනායි අර්ධද්වීපය ඊජිප්තුවෙන් අල්ලාගන්නා ලදී. සිනායි අර්ධද්වීපය යළි ඊජිප්තුව වෙත පවරා දුන්න ද ගාසා තීරය පැවතියේ ඊශ්‍රායල පාලනය යටතේ ය. 1993 න් අනතුරුව එය පලස්තීන පාලන අධිකාරියේ කොටසක් බවට පත්වූ අතර 2005 දී ඉශ්‍රායලය එම ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් ඉවත්ව ගියේ ය.

2007 දී පලස්තීන විමුක්ති සංවිධානය සහ හමාස් සංවිධානය අතර ඇති වූ යුද්ධයෙන් අනතුරුව මෙම ප්‍රදේශය පාලනය කරන්නේ හමාස් සංවිධානය ය. ඊශ්‍රායලය සහ අනෙකුත් ඇතැම් රටවල් විසින් හමාස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇත. 2007 දී හමාස් සංවිධානය ගාසා තීරය අල්ලාගත් පසු ඊශ්‍රායලය එය සම්පූර්ණයෙන් අවහිරයට ලක් කළේ ය. ගාසා තීරය වටා ආරක්ෂිත වැටක් ද ඉදි කරන ලදී.
2023 ඔක්තෝබර් 7 වනදා ගාසා තීරයේ සිට හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය වෙත එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් අනතුරුව ඊශ්‍රායලය ගාසා තීරය වටලෑවේ ය. ඔක්තෝබර් 13 වනදා උතුරු ගාසා හි සිටින මිලියන 1.1 ක ජනතාවකට වාඩි ගාසා ගංගාවෙන් දකුණට යන ලෙස ඊශ්‍රායලය විසින් දන්වන ලදී. විශාල පිරිසක් එම අනතුරු ඇඟවීමට සවන් දුන් හ. එහෙයින් දැනට පවතින යුධ තත්ත්වය හේතුවෙන් මෙතෙක් අප සාකච්ඡා කළ ජන සංයුතීන් සහ ව්‍යාප්තීන් වෙනස් වීමට ඉඩ තිබේ.