Skip to content

ගැසටුත් රිවර්ස්. ඔක්කොම රිවර්ස්. දැන්වත් මේ සූදුව නවත්වන්න - තිස්ස

දිනෙන් දින ආර්ථික අර්බුදය වැඩි වන තත්ත්වයක දැන්වත් ආණ්ඩුව සිය දේශපාලන සූදුව නතර කළ යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අවධාරණය කළේය.

ඒ, අද (19) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

මේ වෙනවිට නැවත වතාවක් ඩොලරය සාමාන්‍ය පාලනයෙන් ගිලිහි  ක්‍රමයෙන් ඉහළ යෑමට පටන් ගැනීම තුළ පෙනී යන්නේ   ආණ්ඩුව ස්ථාවර පාලනයකට නොගොස්  තාවකාලික පැලැස්තර ඇලවීම නිසා මේ තත්වයට මුහුණ දීමට සිදුව ඇති බව යැයි හෙතෙම කියාසිටියේය.

''විශේෂයෙන්ම අපේ ආනයන යළි  විවෘත කිරීම සහ යම් ආකාරයක ණය ආපසු ගෙවීම් කටයුතු ආරම්භ වූ වහාම ඇතිවන තත්ත්වය විශාල ලෙස අවාසි සහගත තත්ත්වයට පරිවර්තනය වෙයි. ආණ්ඩුවට අපි කියන්නේ දැන් දේශපාලන සූදු කෙළීම නවත්වන්න. දේශපාලන ප්‍රචාරයන් නවත්වන්න. සැබෑ ලෙසම රටේ ජනතාව මුහුණ දෙන දැවැන්ත අර්බුදකාරී තත්ත්වයෙන් මුදවා ගැනීමට නිසි ස්ථාවර වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්න. එහෙම නැතුව ආණ්ඩුව මේවා වෙනුවෙන් ප්‍රදර්ශන පවත්වා වැඩක් නැහැ. ජනාධිපතිවරයා පහුගිය දවස්වල ආර්ථික සංඝායනාවක් කරනවා කිව්වා. නමුත් එය කතාවක් විතරයි. ආර්ථික සංඝායනාවක් කරනවා කියලා ප්‍රකාශ කළේ  ලස්සන කතාවක්. හැබැයි කතාවේ පෙන්වා දී තිබෙන කාරණා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවා නම් මෙවැනි අර්බුදකාරී තත්ත්වයකට රට පත් වෙන්නේ නැහැ. අපි කණගාටු වෙන්නේ දෛනිකව එන්න එන්නම දිනෙන් දින රටේ ජනතාවගේ පෝෂණ තත්ත්වය බිඳ වැටීම හා දරුවන්ගේ මන්දපෝෂණය වැඩිවීම ගැන.

මොකද ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට නොහැකි වීම නිසා කුමක් හෝ දෙයක් ආහාරයට අරගෙන ජීවත්වීමට ජනතාවට බලා සිටින්න සිදුවෙලා. ඒ වගේම මාසික වැඩි වෙන ජීවන වියදම පාලනය කිරීම සඳහා ආණ්ඩුව යම් පියවරක් ගත් බවක් පේන්න නැහැ. ගත්තා කියන සෑම පියවරක්ම ආණ්ඩුව රිවස් කරගෙන තියෙනවා. ඒ නිසා ආණ්ඩුව ගැසට් ගහලා මේ තත්ත්වය පාලනය කරන්න බැරි බව ආණ්ඩුවට කියන්න කැමතියි. මොකද පසුගිය කාලය තරම් ඉතිහාසයේ වැඩියෙන්ම ගැසට් ගහපු යුගයක් දැක්කේ නැහැ. ඒ නිසා ගැසට්වලින් ආණ්ඩුවට රටේ පාලනය ඇති කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට ප්‍රායෝගික ක්‍රියාකාරී වැඩපිළිවෙළක් ඕන. ඒත් එක්කම රටේ ප්‍රශ්නය මොකක්ද කියලා තේරුම් අරගෙන වැඩ කරන තත්ත්වයක් ඇතිවෙන්න ඕන.'' යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Latest