Skip to content

ගම්මන්පිලට ආයෙත් වැරදිලා.

කොළඹ නගරයේ සිංහල ජනගහනය අඩු වෙමින් පවතින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදි බව  FactCheck අනාවරණය කරගෙන ඇත.

ඉකුත් අගෝස්තු මස 03 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් අරුණ පුවත් පතට කර ඇති ප්‍රකාශයක මෙසේ සදහන් වේ. "1981 ජන සංගණනය අනුව කොළඹ නගරයේ සිංහල ජනගහනය 51%යි. 2012 ජන සංගණනය අනුව කොළඹ නගරයේ සිංහල ජනගහනය 28%යි. බාගෙට බාගයක් සිංහල ජනගහනය අඩු වෙලා. ඒ අඩුව පිරවිලා තියෙන්නේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලින් පැමිණි දෙමළ සහ මුස්ලිම් ජනතාවගෙන්"

මන්ත්‍රීවරයා විසින් කර ඇති එම ප්‍රකාශයේ නිවැරදිතාවය පරීක්ෂ කිරීමට  FactCheck කටයුතු කර ඇත.

ඒ අනුව  FactCheck විසින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ (DCS) 1981 සහ 2012 සංගණන වාර්තාවන් පරිශීලනය කර ඇත.

සංගණනය “කොළඹ නගරය” සඳහා නිර්වචනයක් සපයන්නේ නැත. 2012 සංගණනය මගින් දත්ත සපයනු ලබන්නේ දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ (DSD) මට්ටමින් පමණි. 1981 සංගණනය දිස්ත්‍රික් මට්ටමින් සහ සහකාර දිසාපති (AGA) කොට්ඨාශ මට්ටමින් දත්ත සපයයි, ඒවා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටම් (DSD) වලට පූර්වගාමී විය. එබැවින්, මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ විෂය පථය පිළිබඳ සම්පූර්ණ චිත්‍රයක් සැපයීම සඳහා, FactCheck විසින් ක්ෂේත්‍ර දෙකක් සලකා බලන ලදී.

(i) කොළඹ දිස්ත්‍රික්කය

(ii) කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට වඩාත් සමගාමී වන, 1981 සඳහා කොළඹ සහකාර දිසාපති (AGA) කොට්ඨාශ සහ 2012 සඳහා කොළඹ සහ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සලකා බලන ලදී.

1981 සහ 2012 අතර කාලය තුළ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ සිංහල ජනගහනය අඩු වී ඇති බව වගුව 1 හි දැක්වෙන  ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ (DCS) දත්ත පෙන්වා දෙයි. මෙම අඩුවීම මන්ත්‍රීවරයා පවසන පරිදි අඩකින් අඩුවීමක් නොව 30%  වඩා අඩු (29.7%) අඩුවීමකි. 2012 දී ද නගරයේ සිංහල ජනගහනය 36.75% ක් වූ අතර එය ගම්මන්පිල මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශ කරන ලද 28% ට වඩා බෙහෙවින් වැඩි ය.

1981 දී කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය ලෙස හැඳින්වූ භූගෝලීය ප්‍රදේශය පසුව කොළඹ සහ තිඹිරිගස්යාය යනුවෙන් කොට්ඨාශ දෙකකට බෙදා වෙන් කරන ලදී. එමගින් අපට මන්ත්‍රීවරයාට ඇතිවූ වැරදි වැටහීම හඳුනා ගත හැකිය.ඔහු 1981 දී මුළු ප්‍රදේශයේම ජනගහනය, 2012 ප්‍රදේශයේ කොටසක (කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පමණක්) ජනගහනය හා සංසන්දනය කර ඇති බව පෙනේ.

දෙමළ සහ මුස්ලිම් ජනයාගේ ගලා ඒම මගින් කොළඹ සිංහල ජනගහනය කොන් වීම ගැන ගම්මන්පිල මන්ත්‍රීවරයා සිදු කරන වාර්ගිකත්වය ඉස්මතු වෙන, කනස්සලු සහගත අනතුරු ඇඟවීමට කොළඹ නාගරික බලප්‍රදේශය යොදා ගැනීමද සුදුසු නොවේ. නගර දියුණු වන විට පෞද්ගලික ප්‍රවාහන පහසුකම් ඇති ධනවත් ජනතාව නේවාසික තදාසන්න ප්‍රදේශ කරා පැමිණීමට නැඹුරු වන අතර ක්‍රමයෙන් එම ප්‍රදේශ විශාල නාගරික ප්‍රදේශයක කොටසක් බවට පත්වේ. කොළඹ නගරයේ, මෙම විශාල ප්‍රදේශයට දැන් පෙර නගර සීමාවන් පමණක් නොව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ (නව අගනුවර), දෙහිවල සහ ගල්කිස්ස වැනි ප්‍රදේශ ද ඇතුළත් වේ.

වර්ෂ 1981 සිට 2012 කාලයේ දිස්ත්‍රික් මට්ටමින් ගත් කල, මහා කොළඹ නාගරික ප්‍රදේශය ඇතුළු මුළු ප්‍රදේශයේ සිංහල ජනගහනය අඩු වීමක් දක්නට නොලැබෙන අතර එය 450,000 කට වඩා (34.5%) වැඩිවීමක් පෙන්නුම් කරයි. සමස්ත සිංහල ජනගහන කොටස අඩුවී ඇති නමුදු එය ආන්තිකව, 77.88% සිට 76.54% දක්වා පමණක් අඩුවී ඇත.

මෙහිදී ගම්මන්පිල මන්ත්‍රීවරයා වැරදි දෙකක් සිදු කර ඇත.

(1) ඔහු 1981 දී කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ සිටි සිංහල ජනගහනය, ඊට වඩා ඉතා කුඩා ප්‍රදේශයක් වූ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 2012 වසරේදී සිටි සිංහල ජනගහනය සමග සංසන්දනය කරයි,

(2) විශාල කොළඹ අගනගර ප්‍රදේශයේ සහ ඔහුගේ ඇගයීම සඳහා වඩාත් යෝග්‍ය ප්‍රදේශය වන, කොළඹ දිස්ත්‍රික්කයේ, සිංහල ජනගහනයේ විශාල සංඛ්‍යාත්මක වැඩිවීමක් (අඩුවීමක් නොවේ) සිදුවී ඇති බවත්, ජනගහණයෙන් ප්‍රතිශතයක් ලෙස සුළු අඩුවීමක් පමණක් සිදුවී ඇති බවත් හඳුනාගැනීමට ඔහු අපොහොසත් වේ.

මෙම කරුණු අනුව උදය ගම්මන්පිල මන්ත්‍රතට කර ඇති ප්‍රකාශය වැරදි ප්‍රකාශයක් බවට වර්ග කළ හැක.

Latest