Skip to content

වල් වැදුණු ආණමඩුවේ ක්‍රීඩාව සහ රංගනය.

ආණමඩුව නගර මධ්‍යයෙහ් ඉදිකිරීම් ආරම්භ කර අතර මග නතර කරන ලද ගෘහස්ථ ක්‍රීඩාගාරය සහ රංග ශාලාව මේ වන විට වල් වදිමින් විවිධ ජාවාරම්කරුවන්ගේ රජදහනක් වී ඇති ආකාරයක් දක්නට ඇත.

2014 වසරේ ක්‍රියාත්මක වූ "දැයට කිරුළ" වැඩ සටහන යටතේ මෙම ගෘහස්ථ ක්‍රීඩාගාරය සහ රංග ශාළාව ඉදිකිරීමට යෝජනා වී ඇත. මෙම ක්‍රීඩාගාරය තුළ වොලිබෝල් සහ වෙනත් ක්‍රීඩා පැවැත්වීමට යෝජනා සකස් වී ඇත.2014 ජූලි මස 07 වැනිදා ඉදිකිරීම් ආරම්භ කරන ලද මෙම ගෘහස්ථ ක්‍රීඩගාරය සහ රංග ශාලාව අදියර දෙකකින් ඉදිකර අවසන් කරන්නටද යෝජනා වී ඇත.ඒ අනුව පළමු අදියර සදහා රුපියල් මිලියන 24.25 ක් සහ දෙවන අදියර සදහා රුපියල් මිලියන 25.7 ක් ඇස්තමේන්තු කර ඇත.

අතර මග නතර කර දමා ඇති මෙම ගෘහස්ථ ක්‍රීඩාගාරය සහ රංග ශාලාව සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ පනතට අනුව මෙම ලියුම්කරු විසින් පුත්තලම දිසා ලේකම්වරයාගෙන් විමසා සිටින ලදි.එම විමසුමට ADM/DSP/RTI/02/22 යටතේ පිළිතුරු ලබා දී ඇති පුත්තලම දිසා ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරී රවීන්ද්‍ර වික්‍රමසිංහ මහතා සදහන් කර ඇත්තේ ඉතිරි කටයුතු කරගෙන යාම සදහා අවශ්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් ඉදිකිරීම් අතර මග නතර වී අති බවය.

එමෙන්ම පළමු අදියරේ ඉදිකිරීම් වෙනුවෙන් රුලියල් 18,149,912.40 ක මුදලක් සහ දෙවන අදියරේ ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් 20,126,951.40 ක මුදලක්ද කොන්ත්‍රාත්කරුවන්ට මේ වන විට ගෙවා අවසන් කර ඇති බවද තොරතුරු නිලධාරීවරයා විසින් එවා ඇති ලිපියේ වැඩිදුරටත් සදහන් වේ.

නාගරික සංවර්ධන අධිකාරිය සතුව ඇති අක්කර 01 ක භූමියක් තුළ ඉදිකිරීමට යෝජිත මෙම ගෘහස්ථ ක්‍රීඩාගාරය සහ රංග ශාලාව සදහා මුදල් වෙන් කිරීම් සිදු කර ඇත්තේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසිනි.

අතර මග නතර වී ඇති මෙම ගෘහස්ථ ක්‍රීඩා ගාරය සහ රංග ශාලාව ඉදිකිරීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර දෙන ලෙස හිටපු විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා විසින් 2022 ජනවාරි මස 10 වෙනිදා ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.හිටපු පුත්තලම දිසා ලේකම් කේ.ජී.විජේසිරි මහතා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත  2021 නොවැම්බර් මස 03 වැනිදා ලිපියක් යොමු කරමින් සදහන් කර ඇත්තේ මෙම ක්‍රීඩාගාරය ඉදිකිරීම ඉතාමත්ම කාලෝචිත මෙන්ම පලදායී කටයුත්තක් වන බැවින් ඉතිරි කටයුතු කරගෙන යාම සදහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙසය.පුත්තලම හිටපු දිසා ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාද 2020 ඔක්තොම්බර් මස 27 වැනිදා වයඹ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉතිරි ඉදිකිරීම් සදහා මුදල් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.

නමුත් එම කිසිදු ලිපියක් සම්බන්ධයෙන් බලධාරීන් නෑසුකන්ව සිටීමේ ප්‍රතිඵලය හේතුවෙන් අද එම ගෘහස්ථ ක්‍රීඩාගාරය සහ රංග ශාලාව සම්පූර්ණයෙන් වල් වැදී විනාශ කරා යමින් සිටින ආකාරයක් දක්නට ඇත. ප්‍රදේශවාසීන් කියා සිටිනේ අතර මග නතර කර දමා ඇති එම ගොඩනැගිල්ල තුළ විවිධකාරයේ විෂමචාරයන් සිදු වන බවකි.

ක්‍රීඩාව සහ රංගනය වෙනුවෙන් ඉදිකිරීම් ආරම්භ කර අතර මග නරත කර ඇති ගොඩනැගිල්ලක් තුළ එවැනි කටයුත්තක් සිදු වනවා නම් එය මොන තරම් අවාසනාවන්ත තත්ත්වයක්ද කියා සිතා ගැනීම අපහසු නොවනු ඇත.

Latest