Skip to content

කෑමෙන් බීමට හැරුනු පළතුරු..

වර්තමාන ලෝකයේ අනිකුත් සියලු දෑ මෙන්ම ආහාරපාන ද බොහෝ වෙනස්කම් රැසකට භාජනය වී ඇති බව අපි දනිමු. එවැනි වෙනස්කම්වල ප්‍රතිපලයක් ලෙස ඈත අතීතයේ යම් යම් ආහාරපාන සකසා ගත් ක්‍රමවලට සුළු හෝ විශාල වශයෙන් වෙනස් ක්‍රම භාවිත කරමින් එම ආහාර පරිභෝජනයට වර්තමාන ජනතාව හුරු වී තිබේ.

අතීතයේ ජනතාව බොහෝ විට පුරුදු වී සිටියේ පලතුරු, ආහාරයට ගැනීමට යි. මිදී වැනි පලතුරුවලින් වයින් වැනි බීම වර්ග සකසා ගැනීම අතීතයේ දක්නට ලැබුණත් පලතුරු බොහෝ විට පරිභෝජනය කළේ ආහාරයක් වශයෙනි. වර්තමානය වන විට පලතුරු ආහාරයට ගැනීමට වඩා බීමක් වශයෙන් සකස් කර පරිභෝජනයට ගැනීමට බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වති.

මේ හේතුව නිසා ම පලතුරු බීම වර්ග ගණනාවක් බෝතල් කර වෙළෙඳපොළට නිකුත් කිරීමට විවිධ සමාගම් කටයුතු කර තිබේ. ඊට අමතර ව එවෙලේ ම පලතුරු බීම සකස් කර දෙන අලෙවිසල් විශාල ප්‍රමාණයක් මේ වන විට සියලු ම ප්‍රදේශවල දැකිය හැකි ය.  බාල, තරුණ, මහලු සියලු දෙනා අතර ජනප්‍රිය පලතුරු බීමවල ඉතිහාසය සහ ඒවා සකස් කරගැනීම කාලයෙන් කාලයට වෙනස් වූ අයුරු පිළිබඳව සොයා බැලීම මේ ලිපියේ අරමුණවී තිබේ.

ඉතිහාසය


සිදු කර ඇති විවිධ අධ්‍යයන අනුව මීට සියවස් ගණනාවකට පෙර ඉතාලියේ මිදි භාවිත කර වයින් නිෂ්පාදනය කළ බව අනාවරණය වී තිබේ. කෙසේ නමුත් මද්‍යසාරයක් බවට පත් නොකර සාමාන්‍ය පලතුරු බිමක් වශයෙන් මුලින් ම සකස් කර ඇත්තේ ලෙමනේඩ් ය. එය මුලින් ම ඉතාලියේ ආරම්භ වී ඇත්තේ ආනයනය කිරීමේ අරමුණින් ය. පසුකාලීන ව, එනම්, 16 වැනි සියවසේ අගභාගයේ දී මැදපෙරදිග රටවල ද ලෙමනේඩ් නිෂ්පාදනය ආරම්භ වී තිබේ. ඊට අමතරව 17 වැනි සියවසේ දී දොඩම් යුෂ පිළියෙළ කරගැනීම ආරම්භ වී තිබේ.

ලෙමනේඩ් 

18 වැනි සියවසේ දී ජේම්ස් ලින්ඩ් නම් පුද්ගලයෙක් පැඟිරි සහිත පලතුරු යොදාගෙන පිළියෙළ කර ගත් බීම පානය කිරීමෙන් විටමින් සී ඌණතාවට ප්‍රතිකාර කළ හැකි බව සොයා ගත්තේ ය.
එම සොයාගැනීමත් සමඟ බ්‍රිතාන්‍යයට අයත් සියලු ම නෞකාවල පැඟිරි සහිත පලතුරුවලින් සකසා ගත් බීම තබා ගැනීම අනිවාර්ය කර තිබේ.

ජේම්ස් ලින්ඩ් පැඟිරි සහිත පලතුරුවලින් රෝගීන්ට ප්‍රතිකාර කරන අයුරු

කල් තබාගැනීමේ ක්‍රමයක් සොයා ගැනීම

1869 වසරේ දී බ්‍රිතාන්‍ය ජාතික දන්ත වෛද්‍යවරයකු වූ තෝමස් වෙල්ෂ්, පල් කිරීමෙන් සහ වෙනයම් ආකාරයකින් මද්‍යසාර බවට පත් කිරීමෙන් තොර ව පලතුරු බීම කල් තබාගැනීමේ ක්‍රමයක් සොයා ගත්තේ ය. ඔහු මිදිවලින් සකසා ගත් බීම වීදුරු බෝතල්වලට පුරවා, ඒවා උණුවතුර භාජනයක බහා යම්කිසි වෙලාවක් තැබීමෙන් ඒවා කල් තබාගත හැකි බව සොයා ගත්තේය.
එමගින් යම් කිසි දියරයක් පල් වීම ට හේතු වන යීස්ට් විනාශ විය. පසුකාලීනව ඔහු ‘වෛද්‍ය වෙල්ෂ් ගේ පල් නොකරන ලද වයින්’ යන නමින් එම නිෂ්පාදන අලෙවි කර තිබේ.

තෝමස් වෙල්ෂ්

පලතුරු බීම සකසා ගන්නා ආකාරය

ස්වභාවිකව ම යුෂ අන්තර්ගත වන දොඩම් සහ තක්කාලි වැනි පලතුරු අතින් මිරිකා ඒවායේ ඇති යුෂවලට ජලය යම් ප්‍රමාණයක් එකතු කර පලතුරු බීම පිළියෙළ කර ගත හැකි ය. සමහරු ඒවාට සීනි සහ ලුණු වැනි දේ ද අවශ්‍ය ප්‍රමාණයට එකතු කර ගනිති. නිවසේ දී හෝ වෙනත් ස්ථානයක දී පලතුරු බීම කුඩා ප්‍රමාණයක් අතින් සකසා ගැනීමට හැකි වුවත් වර්තමානය වන විට සිදු කෙරෙන ව්‍යාපාරික වශයෙන් පලතුරු බීම නිෂ්පාදනය කිරීමේ දී එසේ කළ නොහැක.

ඊට පිළියමක් ලෙස විවිධ ප්‍රමාණයන්ගෙන් සහ තාක්ෂණික ක්‍රමවේදයන්ගෙන් යුතු පලතුරු බීම සැකසීමේ යන්ත්‍රෝපකරණ මේ වන විට වෙළෙඳපොලේ තිබේ. කුඩා පරිමාණයෙන් පලතුරු බීම නිෂ්පාදනය කරන ස්ථානයකට ඊට සරිලන ප්‍රමාණයෙන් සහ තාක්ෂණයෙන් යුතු යන්ත්‍රත්, විශාල පරිමාණයෙන් පලතුරු බීම නිෂ්පාදනය කරන කර්මාන්තශාලා වැනි ස්ථාන සඳහා ඊට ගැළපෙන ප්‍රමාණයන්ගෙන් සහ තාක්ෂණයෙන් යුතු යන්ත්‍රත් මිලදී ගැනීමට හැකියාව තිබේ.

සෞඛ්‍යමය කරුණු

බොහෝ දෙනකු පලතුරු බීම පරිභෝජනය කරන්නේ එමගින් ලැබෙන සෞඛ්‍ය වාසි පිළිබඳව සිතා ය. දොඩම්වලින් සකසා ගත් බීම පානය කිරීමෙන් විටමින් සී ශරීරයට ලැබේ. ඊට අමතර ව වෙනත් පෝෂණ සංඝටක ගණනාවක් ද පලතුරු බීම පානය කිරීමෙන් ශරීරයට ලැබෙන බව සොයාගෙන ඇත. කෙසේ නමුත් සීනි එකතු කළ පලතුරු බීම විශාල වශයෙන් පරිභෝජනය කිරීම නිසා තරබාරු බව සහ දියවැඩියාව ඇති විය හැකි බව සමහර පර්යේෂණවලින් අනාවරණය කොට ගෙන ඇති බවද මෙහි ලා සදහන් කල යුතුමය.

100%ක් පලතුරු යුෂ පමණක් යොදාගෙන පිළියෙළ කරන පලතුරු බීම පරිභෝජනය කිරීමෙන් දියවැඩියාව ඇති වීමට තිබෙන සම්භාවිතාව අඩු බව පර්යේෂණවලින් සොයාගෙන තිබේ. බොහෝ දෙනකු ගේ මතය වන්නේ 100%ක් පලතුරු යුෂ යොදා ගෙන සකස් කළ පලතුරු බීම පානය කිරීමෙන් හානිකර ප්‍රතිපල ලැබීමට ඇත්තේ ඉතා අඩු සම්භාවිතාවක් බව යි.

අමෙරිකා එක්සත් ජනපදයේ ළමා රෝග පිළිබඳ වෛද්‍යවරුන්ගේ ආයතනය ගෙනහැර දක්වන වාර්තාවක සඳහන් කර ඇත්තේ වයස අවුරුද්දකට අඩු ළමයින්ට පලතුරු බීම ලබා දීම සුදුසු නොවන බව යි. ඊට අමතර ව වයස අවුරුදු එකේ සිට හය දක්වා වන ළමයින්ට පලතුරු බීම ලබා දීම දිනකට කෝප්ප භාගයක් හෝ තුන් කාලක් වැනි ප්‍රමාණයකට සීමා කළ යුතු බව ද ඔවුන් එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

පලතුරු බීම පරිභෝජනය

2023 අගෝස්තු 8 වැනි දින Statista පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවට අනුව 2022 රට අනුව ලොව පුරා යුෂ වෙළඳපොලේ ඒක පුද්ගල පරිමාව අලෙවිය සිදුව ඇති අකාරය මෙසේ හදුන්වා දී තිබේ.
මධ්‍යසාර නොවන බීම වෙළඳපොලේ යුෂ අංශයේ ඒක පුද්ගල විකුණුම් පරිමාව ජර්මනිය  ලීටර් 20.84 ක් සටහන් කරමින් පලතුරු බීම පරිභෝජනය අතින් පෙරමුණ ගෙන සිටින අතර එය එක්සත් ජනපදය ලීටර් 17.77 ක් බව සටහන් කරයි.  එසේම ඉන්දියාව ලීටර් 1.14 ක් සමඟ ශ්‍රේණිගත කිරීමේ පහළම ස්ථානයේ සිටින අතර එය ජර්මනියට වඩා ලීටර් 19.7 ක වෙනසක් පෙන්නුම් කරයි.

පළතුරු බීම අලෙවිසල්

පලතුරු බීම සහ ඒ ආශ්‍රිත අනිකුත් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා පවත්වාගෙන යන අලෙවිසල් මේ වන විට ලොව පුරා සියලු ම රටවල දැකගත හැකි ය. ඒවායේ බොහෝ විට අඹ, ගස්ලබු, දොඩම්, අන්නාසි, ඇපල්, දෙළුම්, මිදි, කාමරංගා, කෙසෙල්, අලිගැටපේර වැනි පලතුරුවලින් සකස් කරගන්නා බීම අලෙවි කිරීමට තිබේ. බීම වලට අමතර ව පලතුරු සලා ද සහ අයිස්ක්‍රීම් වැනි දේ මෙන් ම කෙටි කෑම වර්ග ද ඒවායේ අලෙවි කරයි. විශේෂයෙන්ම ජනාකීර්ණ නගර, මහජන උද්‍යාන, ක්‍රීඩාංගන, සිනමා ශාලා, සුපිරි වෙළෙඳසල් වැනි ස්ථාන ආශ්‍රිතව මෙවැනි අලෙවිසල් දැකිය හැකි ය.

මූලාශ්‍ර- www.food.ndtv.com

www.bbc.co.uk

www.healthline.com

www.sciencedirect.com

Latest