රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් අප්‍රිකානු රටවල් හයකට නොමිලේ තිරිඟු ලබාදීමට තමන් සූදානම් බව ප්‍රකාශ කළේ ය. ජූලි 27 වනදා ආරම්භ වූ රුසියා-අප්‍රිකා සමුළුවේදී ඔහු සඳහන් කළේ ඉදිරි මාස තුන හතරක කාලය තුළ මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බව ය.
මේ අනුව බුර්කිනා ෆාසෝ, සිම්බාබ්වේ, මාලි, සෝමාලියාව, මධ්‍යම අප්‍රිකානු ජනරජය සහ එරිත්‍රියාව යන රටවලට ධාන්‍ය ටොන් 25,000 - 50,000 අතර ප්‍රමාණයක් නොමිලයේ ලබාදීමට බලාපොරොත්තු වන බව පුටින් කියා සිටියේ ය.
පුටින්ගේ මෙම ප්‍රතිඥාව ඉදිරිපත් වන්නේ යුක්‍රේනයේ තිරිඟු අපනයන කටයුතු ඇණහිට ඇති පසුබිමක ය. යුක්‍රේනය සමස්ථ ලෝක තිරිඟු අපනයනවලින් සියයට නවයක් පමණ සපයයි. 2022 ජූලි මාසයේදී යුක්‍රේන ධාන්‍ය අපනයනය කිරීමට හැකිවන පරිදි කළු මුහුදේ ධාන්‍ය අපනයනය පිළිබඳ එකඟතාවයකට රුසියාව සහ යුක්‍රේනය පැමිණියේ ය. කෙසේ වෙතත් ක්‍රිමියාව වෙත රුසියාවේ සිට වැටී ඇති කර්ච් පාලමට එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව රුසියාව මෙම ධාන්‍ය පිළිබඳ එකඟතාවයෙන් ඉවත් වූයේ ය. එමතුද නොව රුසියාව යුක්‍රේනයේ ඔඩෙස්සා හි ධාන්‍ය ගබඩා වෙත ද පහර දුන්නේ ය. මේ අනුව යුක්‍රේනයට ධාන්‍ය අපනයනය කිරීමට හැකියාවක් නොමැති විය.
යුක්‍රේනයෙන් ලැබෙන ධාන්‍ය තොග නොමැති වීම හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ ධාන්‍ය මිල ඉහළ යන ලකුණු පහළ වී තිබේ. එහෙයින් විශේෂයෙන්ම දරිද්‍රතාවයෙන් පෙළෙන රටවලට එහි බලපෑම වැඩි ය. පුටින් එවන් රටවල් කිහිපයකට නොමිලේ ධාන්‍ය ලබාදෙන්නට ප්‍රතිඥා දෙන්නේ එම පසුබිමෙහි ය.
අප්‍රිකානු කටයුතු
රුසියානු රජය කලක පටන් අප්‍රිකාවේ ඇතැම් රටවල් සමග සබඳතා වර්ධනය කරගැනීම කෙරෙහි විශේෂ අවධානයක් දක්වා තිබේ. 2019 දී පළමු වරට රුසියා-අප්‍රිකා සමුළුවක් පැවැත්වෙන්නේ ඒ අනුව ය. එවර එය ඉතා සාර්ථක සමුළුවක් බවට පත් වූයේ ය. කෙසේ වෙතත් ඊට සාපේක්ෂව මෙවර සමුළුවට සහභාගී වන්නේ අඩු රටවල් ප්‍රමාණයකි. 2019 දී අප්‍රිකානු රාජ්‍ය නායකයන් 43 දෙනකු රුසියා-අප්‍රිකා සමුළුවට සහභාගී වුවද මෙවර එම සංඛ්‍යාව රාජ්‍ය නායකයන් 17 දෙනෙකු දක්වා අඩු වී තිබේ. රුසියාව චෝදනා කරන්නේ ඇමරිකානු සහ ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රික පීඩනය හමුවේ අප්‍රිකානු නායකයන්ගේ සහභාගීත්වය අඩු වූ බව ය. කෙසේ වෙතත් බටහිර රටවල පොදු මතය වන්නේ යුක්‍රේන යුද්ධයෙන් පසු ඇතිවූ තත්ත්වයන් හමුවේ රුසියාව ජාත්‍යන්තර වශයෙන් ප්‍රතික්ෂේප වීම මෙයින් පෙනෙන බවයි.

2019 සමුළුවේ දී අප්‍රිකානු රටවල් සමග වෙළෙඳාම පුළුල් කිරීමට රුසියාව ප්‍රතිඥා දුන්න ද එම කටයුතු එතරම් සාර්ථක නොවී ය. යුක්‍රේනයේ යුද්ධය හේතුවෙන් රුසියාවට එරෙහිව විවිධාකාර සම්බාධක පනවනු ලැබීම ද වෙළෙඳාම වැඩිදියුණු කිරීමට බාධාවක් බවට පත්වූයේ ය.
කෙසේ වෙතත් කලක පටන් රුසියාව ඇතැම් අප්‍රිකානු රටවල් සමග සිය සබඳතා පුළුල් කරගැනීමේ කටයුතුවල නිරතව සිටියි. මෙහිදී එම රටවල ආරක්ෂාව සඳහා අවශ්‍ය උපදේශය සහ සහයෝගය ලබාදීමේ දී වැග්නර් කණ්ඩායම සැලකියයුතු කාර්යයභාරයක් කළේ ය. විශේෂයෙන්ම මාලි, මධ්‍යම අප්‍රිකානු ජනරජය, සුඩානය යනාදී රටවල් කිහිපයක් සමගම වැග්නර් කණ්ඩායම කටයුතු කළේ ය. පසුගියදා සිදුවූ වැග්නර් කැරැල්ලෙන් පසු එම ගනුදෙනුවල අනාගතය කෙසේ වේදැයි සැකයක් මතුව තිබුණ නමුත් රුසියාව පවසන්නේ අප්‍රිකාවේ වැග්නර් කණ්ඩායමේ කටයුතු නොවෙනස්ව සිදුවන බව ය.