Skip to content

තෙල්දෙණියේ වාහන පැහැරගත් මන්ත්‍රී පුතා ඇතුළු සිව් දෙනෙක් රක්ෂිතයට

තෙල්දෙණිය කෙන්ගල්ලේ පිහිටි වාහන අළෙවි ස්ථානයකින් ඩිෆෙන්ඩර් රථ තුනක් සහ කේ.ඩී.එච් වර්ගයේ වෑන් රථයක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කමල් බෙලිගල්ලගේ පුතා ඇතුළු සිව් දෙනා තෙල්දෙණිය දිසා අධිකරණයට පෙරේදා (01) ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 05 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ තිබේ.

සැකකරුවන් විසින් පැහැර ගන්නා ලද වාහන තුනක් අදාළ රථ වාහන අළෙවි සැලේ හිමිකරු විසින් පුද්ගලයින් දෙදෙනෙකු ගෙන් උකස් ගන්නා ලද වාහන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර පැය 24 ක රඳවා තබා ගැනීමේ නියෝගයක් ලබා ගැනීමෙන් පසු සිද්ධියේ සුලමුල අනාවරණය කර ගෙන තිබේ. පසුව ඔවුන් පෙරේදා (01) තෙල්දෙණිය දිසා අධිකරණයට ඉදිරිපත් කර ඇත.

කේ.ඩී.එච් වර්ගයේ වෑන් රථය හලාවත ප්‍රදේශයේ දේවාලයක පූසාරි කෙනෙකු විසින් ද ඩිෆෙන්ඩර් රථ දෙකක් මාවනැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් ද උකස් කරනු ලැබ තිබේ. එක් ඩිෆෙන්ඩර් රථයක් කලකට පෙර සියදිවි නසාගත් වාහන අළෙවි ස්ථානයේ හිමිකරු විසින් මිල දී ගත් එකක් බව ඔහු ගේ බිරිඳ පොලීසියට ප්‍රකාශ කර තිබෙන අතර ඊට අදාළ ලියකියවිලි පරීක්ෂා කරන බව පොලීසිය පවසයි.

පොලිස් භාරයට ගත් ඩිෆෙන්ඩර් රථ  තුනෙන් දෙකක් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාට අයත් වත්තේගම පොලිස් වසමේ පල්ලේගම දොරගමුව ප්‍රදේශයේ පිහිටි නිවස පිටුපස ගරාජයේ සඟවා තිබී සොයා තිබී සොයාගත් අතර ඒ වන විටද එම වාහන වල කොටස් ගැලවීම සඳහා කටයුතු කරමින් සිට තිබේ.අනෙක් ඩිෆෙන්ඩර් රථය සොයා ගනු ලැබුවේ නිට්ටඹුව වතුපිටිවල ප්‍රදේශයේ සඟවා තිබියදී ය.

පැහැරගත් වාහන වල වටිනාකම රුපියල් ලක්ෂ 770 ක් බව අනාවරණය වී තිබේ. කොල්ලය මෙහෙයවා ඇත්තේ වත්තේගම ප්‍රදේශයේ ගරාජ් හිමිකරුවෙකු විසින් වන අතර ඒ සඳහා ගරාජයේ සේවකයින් කිහිප දෙනෙකු සමඟ බාබර්වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු සම්බන්ධ වී ඇත. සැකපිට අත්අඩංගුවට ගත් ගරාජ් හිමිකරු වාහන පැහැරගෙන ඒවා හි කොටස් වෙනත් වාහන වලට බද්ධ කර විකුණන අයෙකු බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිව තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බවත් ඒ අතර වාහන පැහැර ගැනීමේ සිද්ධීන් කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු සිටින බවත් පොලීසිය පවසයි.

වාහන කොල්ලය සිදුකළ අවස්ථාවේ සැකකරුවන් වාහන අළෙවි ස්ථානයේ තිබූ ජංගම දුරකතනයක්ද රැගෙන ගොස් තිබෙන බවත් ඒ ඔස්සේ සිදුකළ පරීක්ෂණ මගින් සැකකරුවන් පිළිබඳ හෝඩුවාවක් සොයා ගැනීමට හැකි වූ බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරියෙකු පැවසුවේය.

කොල්ලය සිදුවී පැය කිහිපයක් ඇතුළත සැකකරුවන් හඳුනාගෙන වාහන සොයා ගැනීමට හැකිවීම නිසා ඒවාහි කොටස් ගලවා මුහුණුවර වෙනස් කිරීමට ඔවුන්ට නොහැකි වී තිබෙන බවත් යම් හෙයකින් තවත් පැය කිහිපයක් ප්‍රමාද වූයේ නම් මෙම වාහන සොයා ගැනීම පවා දුෂ්කර වනු ඇති බවත් පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.බී පලිහවඩන මහතා ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

ඡායාරූප- පැහැර ගත් ඩිෆෙන්ඩර් රථ

Latest