Skip to content

හිටපු සිම්බාබ්වේ නායක හීත් ස්ට්‍රික් පිළිකාව සමග සටනක

සිම්බාබ්වේ ක්‍රිකට් වංශකතාවේ ස්වර්ණමය යුගයේ කණ්ඩායමට නායකත්වය දුන් තුන් ඉරියව් ක්‍රීඩක හීත් ස්ට්‍රික් බඩවැලේ සහ අක්මාවේ හටගත් පිළිකාවක් හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවට වාර්තා වෙයි. 49 වියේ පසුවන ස්ට්‍රික් පසුගියදා දකුණු අප්‍රිකාවේ මසුන් ඇල්ලීමේ යෙදී සිටියදි අසනීප තත්ත්වය වර්ධණය වී ඇති බවත් ඉන් අනතුරුව ජොහැන්නස්බර්ග් නුවර ආරෝග්‍යශාලාවකට ඇතුල් කළ බවත් ඔහු සමග සිටි වත්මන් සිම්බාබ්වේ ක්‍රීඩක ෂෝන් විලියම්ස් පවසා සිටියේය.

ස්ට්‍රික්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සිම්බාබ්වේ ක්‍රීඩා අමාත්‍ය ඩේවිඩ් කොල්ටාර්ට් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්; සිම්බාබ්වේ දේශයෙන් බිහි වූ දක්ෂකම ක්‍රීඩා තරුවක් වන ස්ට්‍රික්ගේ සෞඛ්‍යය තත්ත්වය ඉතා අයහපත් බවත් ඔහු සහ ඔහුගේ පවුල වෙනුවෙන් යාඤා කරන ලෙසත් ඉල්ලා සිටියි.

ස්ට්‍රික්ගේ සමීප ඥාතින් එංගලන්තයේ දිවිගෙවන අතර ඔවුන් දකුණු අප්‍රිකාව බලා පිටත්ව ඇති බවට වාර්තා වෙයි.

හීත් ස්ට්‍රික්ගේ ක්‍රිකට් දිවිය

අනූව සහ දෙදාහ දශකය සිමුබාබ්වේ දේශයේ ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය යුගය වූ අතර ලෝකයේ ක්‍රිකට් දැවැන්තයන් සියල්ලන්ටම සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කිරීමට තියුණු ලෙස සටන් වැදීමට සිදුවිය. හීත් ස්ට්‍රික්ගේ දකුණත් මද වේග පන්දු යැවීම ඊ⁣ට හේතුපාදක වූ ප්‍රධාන අවියක් විය. 1993 වසරේ පකිස්තානයේ සංචාරය කළ සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග පිටියට පිවිසි ස්ට්‍රික් තරග 65කදි සිම්බාබ්වේ පිළ නියෝජනය කරමින් ටෙස්ට් කඩුළු 216 දවා ගැනීමට සමත් වූ අතර ටෙස්ට් ශතකයක් සහ අර්ධ ශතක 11ක් සමග ලකුණු 1990ක් වාර්තා කරමින් තුන්ඉරියවු දැවැන්තයෙක් ලෙස ක්‍රිකට් ඉතිහාසයේ සිය නම ලියා තැබීමට සමත් විය. සිම්බාබ්වේ දේශය වෙනුවෙන් ටෙස්ට් කඩුළු 100කට වඩා බිඳ දැමූ එකම පන්දු යවන්නා ස්ට්‍රික්ය. එක්දින ජාත්‍යන්තර තරග පිටියේදිද සිම්බාබ්වේ පිළ වෙත සිය දායකත්වය පන්දුවෙන් සේම පිත්තෙන්ද ලබා දුන් ස්ට්‍රික් තරග 189කදි කඩුළු 239 ක් බිඳ හෙලන අතර පිත්තෙන් ලකුණු 2943ක් වාර්තා කරන්නේ ඉනිමක සාමාන්‍යය 28.3 ක් ලෙස රඳවාගෙනය. ඒ එක්දින ජාත්‍යන්තර අර්ධ ශතක 11ක් ද වාර්තා කරමින්ය.

2005 වසරේදි ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙන ස්ට්‍රික් නැවත කරළියට පිවිසෙන්නේ ජාතික කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසය. 2009 වසරේදි එම වගකීම බාරගන්නා ස්ට්‍රික් 2016 වසරේදි සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වන්නේය. කෙසේ නමුත් සිම්බාබ්වේ කණ්ඩායම 2019 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට අසමත් වීම සමග 2018 වසරේදි තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කරන්නේය. ස්ට්‍රික් කොල්කටා නයිට් රයිඩර්ස් සහ ගුජරාට් ලයන්ස් කණ්ඩායම්වලට අයිපීඑල් තරගාවලිවල පුහුණුකරනයෙන් සම්බන්ධ විය.

ක්‍රිකට් තහනම
සිම්බාබ්වේ ජාතික කණ්ඩායමේ පුහුණුකරු සහ දේශිය ලීග් තරගාවලිවල පුහුණුකරනයේ යෙදී සිටියදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති පද්ධතිය පිළිබඳ චෝදනා පහකට වරදකරුවීම හේතුවෙන් ස්ට්‍රික්ට 2021වසරේදි වසර අටක ක්‍රිකට් තහනමක් පැනවීය.

Latest