Skip to content

60 දශකයේ මෝටර් රථ ධාවන තරග වල පිරි ත්‍රාසජනක බව අත්විදගැනීම සදහා ​සත්‍ය සිදුවීම් වලින් සමන්විත මෙම චිත්‍රපටය මෝටර් රථ ක්‍ෂේත්‍රයේ දැවැන්තයන් දෙදෙනෙකු වන Ford සහ​ Ferrari සන්නාමයන් වටා දිවෙන නවෝත්පාදනයන් සහ වේගය පිලිබදව වන සටනක ගැටෙන සිත් ඇදගන්නා කතාව ඔබ වෙත ගෙනහැර දක්වයි. 1963 දී ෆෝඩ් මෝටර් සමාගම ෆෙරාරි සමාගම මිලදී ගැනීම සදහා වන සිය යෝජනාව ඉදිරිපත් කිරීමත් එන්සෝ ෆෙරාරි විසින් මිලදී ගැනීමේ දීමනාව ප්‍රතික්ෂේප කිරීමත් හේතුවෙන් ප්‍රකට සමාගම් දෙක අතර වේගවත්ම රේසින් කාර් රථය නිපදවීමේ සීතල යුද්ධය ආරම්භ වූවා යැයි කිවහොත් නිවැරදිය​.​ හෙන්රි ෆෝඩ් II ගේ ඒකායණ අරමුණ වන්නේ පැය 24ක් පුරා දිවෙන Le Mans තරගාවලියේ දී ෆෙරාරි කාර් රථය පරාජයට පත් කිරීමය​. ඒ අනුව ෆෙරාරි අභිබවා යා හැකි මෝටර් රථයක් නිර්මාණය කිරීම සදහා; මෝටර් රථ නිර්මාණකරු කැරොල් ෂෙල්බි සහ බ්‍රිතාන්‍ය රියදුරු කෙන් මයිල්ස් ගේ දායකත්වය ලබා ගැනීම සදහා Ford ආයතනය විසින්​ කටයුතු කරනු ලබයි. කෙන් මයිල්ස් ධාවකයෙකු ලෙස මෙම මෙහෙයුමේ තබා ගැනීම සදහා ෂෙල්බි හට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වන ආකාරය සිනමා පටය තුලින් අපූරුවට ගෙනහැර දක්වයි.

ෂෙල්බි සහ මයිල්ස් යනු තරමක නොගැලපෙන සුසංයෝගයක් බව සිනමා පටයේ මුල් අදියර වලදී ප්‍රේක්‍ෂකයා වෙතට ඒත්තු ගන්වනු ලබන කරුණකි. ෂෙල්බි ආකර්ශනීය විකුණුම්කරුවෙකු සහ ඉංජිනේරුවෙකු වන අතර, මයිල්ස් නීතිරීතිවලට අනුව ක්‍රීඩා නොකරන නමුත් වාහනයේ සෑම අංගෝපාංගයක් පිලිබදවම මනා දැනුමක් ඇති අතිදක්‍ෂ​ ධාවකයෙකි. නමුත් ධාවන තරඟ සඳහා ආශාවක් සහ ජයග්‍රහණය කිරීමේ අධිෂ්ඨානය අනුව ගත් විට මොවුන් දෙදෙනාගේම අදහස් සමපාත වේ. වේගවත් සහ විශ්වාසනීය පෙරළිකාර ධාවන මෝටර් රථයක් ලෙස​ Ferrari වෙත අභියෝග කිරීම සදහා Ford GT40 රථය​ නිෂ්පාදනය කිරීමට මොවුන් දෙදෙනා රැයක් දවාලක් නොබලා ඉතාම වෙහෙස මහන්සියෙන් යුතුව කැප වෙති. නමුත් මෙතැනදී යම් ඝට්ටනයක් සිදු වන්නේ Ford ආයතනයේ යම් විධායක නිලධාරීන් තරග ජයග්‍රහණය කිරීමටත් වඩා අලෙවිකරණය කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වීමට යාමයි. බාධක මධ්‍යයේ වුවද, Ford GT40 නිෂ්පාදනය කිරීමට Shelby සහ Miles සමත් වෙති. ඔවුන් එය 1966 දී Le Mans වෙත ගෙන යන අතර එහිදී ඔවුන් Ferrari හි හොඳම රියදුරන්ට එරෙහිව මුහුණ දී Le Mans හි Ford හට එහි පළමු ජයග්‍රහණය ලබා දෙයි.

IMDB ශ්‍රේණිගතකිරීම් වලට අදාළව එහි ratings අතින් ඉහළින්ම රැදී සිටින චිත්‍රපට 250 අතර මේ වන විට 210 වන ස්ථානය හිමි කර ගැනීම සදහා Ford v Ferrari සමත් වී සිටියි. ඔස්කාර් සම්මාන දෙකකට පාත්‍ර වී ඇති සිනමා පටය වෙනුවෙන් දිනා ගෙන ඇති මුලු ජයග්‍රහණයන් ප්‍රමාණය 25 කි. රංගණයෙන් දායක වන විශිෂ්ඨ නලු නිලියන් ගත් කල​ Matt Damon, Christian Bale, Jon Bernthal, Josh Lucas සහ Caitriona Balfe නිර්මාණයේ උත්කර්‍ෂය තීව්‍ර කරනු ලබයි. "Ford v Ferrari" යනු අධිෂ්ඨානය, නොපසුබට උත්සාහය සහ මිනිසාගේ බලය කොතෙක්දැයි ඔප් නැංවෙන ඉදිරිපත් කිරීමකි. කවදා හෝ විශිෂ්ඨ දෙයක් අත්කර ගැනීමට සිහින මැවූ ඕනෑම කෙනෙකුට චිත්‍රපටය තුලින් ලබා දෙන පන්නරය අතිමහත්‍ ය. පූර් ව ප්‍රචාරක පටය නැරඹීමට පහතින්:​

Latest