Skip to content

ෆෝමියුලා 1 හෙවත් F1 රේසිං ගැන දැනගමු..

ඔබ මෝටර් රථවලට ඇළුම් කරන්නෙක් නම් සහ වේගවත් ධාවනයට රුචිකත්වයක් දක්වන්නෙක්නම් ෆෝමියුලා 1 තරගාවලිය පිළිබඳ අසා ඇතිවට සැක නැත. ප්‍රෙක්ෂක ආකර්ශනය, වේගය, වැයකරන ප්‍රාග්ධනය යනාදිය සලකා බැලීමේදී ෆෝමියුලා 1 මෝටර් රථ ක්‍රීඩාවේ කිරීටය ලෙස නම් කිරීම අති⁣ශෝක්තියක් නොවේ.

පැයට කිලෝමීටර 320කට අධික වේගයකින් ධාවනය කෙරෙන මෝටර් රථ ප්‍රේක්ෂකයින් වෙත උද්වේගකර අත්දැකීමක් ලබාදෙන අතරම ෆෝමියුලා 1 ලොව ඇති අනතුරුදායක ක්‍රීඩා අතර ඉහලින්ම රැඳුනු ක්‍රීඩාවක් ලෙස සැලකෙයි.

මෝටර් රථ තරග සඳහාම සැකසුනු ලොව පුරා පිහිටි ධාවන පථවල මෙන්ම නගරාශ්‍රිතව පිහිටි වීදිවලද F1 තරග පවත්වනු ලබයි.

FIA හෙවත් ලෝක මෝටර් රථ ෆෙඩරේෂනය විසින් පාලනය කරන F1 ලෝක ශූරතාවලිය ආරම්භවන්නේ 1950 වසරේදිය. කාලයත් සමඟ ඉදිරියට ඇදෙන F1 තරගාවලිය මේ වනවිට තරගකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බොහෝ විවිධ වෙනස්කම්වලට බඳුන් වී ඇත.

තරගාවලි ව්‍යූහය සහ ජයග්‍රාහකයින් තේරීම

2023 F1 තරගාවලියට ලොව පුරා මෝටර් රථ සමාගම් සේම විශාල ව්‍යාපාරවල අනුග්‍රහය සහිතව කණ්ඩායම් 10ක් තරග වදින අතර එක් කණ්ඩායමකින් ධාවකයින් දෙදෙනෙක් තරගයට එක් වෙයි.

2023 කණ්ඩායම් සහ ධාවකයින්

රෙඩ් බුල් - මැක්ස් වෙස්ටර්පන්, සර්ජියෝ පෙරෙස්
මර්සිඩීස් - ලුවිස් හැමිල්ටන්, ජෝර්ජ් රසල්
ෆෙරාරි - චාල්ස් ලෙක්ලර්ක්, කාර්ලෝස් සයින්ෂ්
ඇස්ටන් මාර්ටිං - ෆනෑන්ඩෝ ඇලන්සෝ, ලාන්ස් ස්ට්රෝල්
මැක්ලරන් - ලැන්ඩෝ නොරිස්, ඔස්කාර් පියස්‍
ඇල්පා ටෞරි - යුකි සුනෝඩා, නයික් ඩි රීස්
ඇල්පයින් - එස්ටැබෑන් ඔකෝන්, පියර් ගෑස්ලි
විලියම්ස් - ඇලෙක්ස් ඇල්බන්, ලෝගන් සාජන්
ඇල්ෆා රොමියෝ - වැල්ටරි බොටාස්, ජෝ ගුවැන්යු
හෑස් - කෙවින් මැග්නසන්, නිකෝ හල්කන්බර්ග්

තරගාවලිය ලීග් ක්‍රමයට පවත්වන අතර ලොව පුරා පවත්වනු ලබන තරගවට රැසකින් අනතුරුව වැඩිම ලකුණු ලබාගන්නා ධාවකයාට ශූරතාව හිමිවෙයි. 2023 තරගාවලිය තරග වට 23කින් සමන්විතය. එසේම කන්ස්ට්‍රක්ටර්ස් චැම්පියන්ෂිප් හෙවත් කණ්ඩායම් ශූරතාවද තරගාවලිය අවසානයේ පිරිණැමෙයි.

එක් තරග වටයක් කිලෝමීටර 305කින් සමන්විතවන අතර ජයග්‍රාහකයාගේ සිට දසවැන්නා දක්වා ලකුණු හිමිවෙයි.

ලකුණු හිමිවන ආකාරය


1 – 25
2 – 18
3 – 15
4 – 12
5 – 10
6 – 8
7 – 6
8 – 4
9 – 2
10 – 1

වේගවත්වම වටය  – 1

(තරගයේ ⁣එක් වටයක් සම්පූර්ණ කිරීමට අඩුම කාලයක් ගත කළ ධාවකයාට ප්‍රසාද ලකුණුක් පිරිනැමෙණ අතර ඔහුට පළමු දස දෙනා අතරට එක්වීමට නොහැකි වුවහොත් ලකුණ අහිමි වෙයි.)

එසේම තරගයක් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවුවහොත් පහත පරිදි ලකුණු ප්‍රදානය කිරීම සිදුවෙයි.

*තරග වට දෙකක් සම්පූර්ණ කිරීමට පෙර තරගය අත්හිටුවහොත් ලකුණු ලබා නොදෙනු ඇත

තරගයෙන් 25%කට වඩා අඩු ප්‍රමාණයක් සම්පූර්ණ කළහොත් පළමු පස් දෙනාට 6–4–3–2–1 පදනම මත ලකුණු ප්‍රදානය කෙරේ.

තරගයෙන් 25%  ත් 50% ත් අතර ප්‍රමාණයක් සම්පූර්ණ කළහොත් ඉහළම නව දෙනාට ලකුණු 13–10–8–6–5–4–3–2–1 පදනම මත ප්‍රදානය කෙරේ.

තරගයෙන් 50% සිට 75% දක්වා සම්පූර්ණ කළහොත් ඉහළම 10 දෙනාට 19–14–12–9–8–6–5–3–2–1 පදනම මත ලකුණු ප්‍රදානය කෙරේ.

*නියමිත ධාවන දුර ප්‍රමාණයෙන් සියයට 75කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ කළහොත්, පළමු 10 දෙනාට සම්පූර්ණ ලකුණු ප්‍රදානය කෙරේ.

මීට අමතරව කිලෝමීටර 100ක් නොනවත්වා ධාවනය වන ස්ප්‍රින්ට් රේස් තරග වට 6ක්ද 2023 තරගාවලියට එක් වන අතර එම තරගවටවල ලබාගන්නා ලකුණුද අවසන් ලකුණු සටහනට එක් වෙයි.

තරගාවලිය අවසානයේ වැඩිම ලකුණු ලබාගන්නා ධාවකයාට ඩ්‍රයිවර්ස් චැම්පියන්ෂිප් හෙවත් රියැදුරු ශූරතාව හිමිවන අතර කණ්ඩායම් 10 අතුරින් ක්‍රීඩකයින් දෙදෙනාගෙ ලකුණු එකතුව වැඩිම කණ්ඩායමට කන්ස්ට්‍රක්ටර් චැම්පියන්ෂිප් හෙවත් කණ්ඩායම් ශූරතාව හිමිවනු ඇත.

මෙවර තරගාවලියට පෙර වසරවල ලෝක ශූරතාවන් දිනූ ධාවකයින් තිදෙනෙක් එක්ව සිටිති. 2021, 2022 ශූරතාව දිනූ මැක්ස් වැස්ටපන්, ශූරතා 7ක් ජයග්‍රහනය කළ ලුවිස් හැමිල්ටන් සහ දෙවරක් ලෝක ශූරයා වූ ෆර්නැන්ඩෝ ඇලන්සෝ මෙවර තරගාවලියට එක්වන ලෝක ශූරයන් ය.

තරග වදින ස්ථානය තීරණය කරන්නේ කොහොමද?

ගෝන්ප්‍රී හෙවත් ප්‍රධාන තරග ඉසව්ව ඉරිදා දිනයේදි පවත්වන අතර ඊට පෙර ධාවකයින් තරගය ආරම්භ කරන ස්ථානය තෝරාගැනීම සඳහා කාලය මනින ඉසව්ව බොහෝවිට සෙනසුරාදා දිනයේ පවත්වනු ලබයි. ස්ප්‍රින්ට් රේස් ඉසව්ව පවත්වන ධාවන පථවලදි සිකුරාදා දින කාලය මැනීමේ ඉසව්ව පවත්වයි.

මෙම ඉසව්ව Q1, Q2, Q3 නම් සැසිවාර තුනකට බෙදා ඇත.

Q1
සියලුම රියදුරන් විනාඩි 18ක කාලයක් තුළ  හැකි වේගවත්ම වටය සම්පූර්ණ කිරීමට උත්සාහ කළ යුතුය. මෙම සැසි වාරයෙදි මන්දගාමීම රියදුරන් පස්දෙනා සැසියෙන් ඉවත් කරනු ලබන අතර ඔවුන් අතරින් වටයක් නිම කිරීමට ගත් අඩුම කාලය ලබාගන්නා තරග කරුවා 16 වැන්නා ලෙසත් සෙස්සන් කාලය වැඩිවන පිලිවලට 17 සිට 20 දක්වා තරගය ආරම්භ කරනු ඇත.

Q2
ඉතිරි තරගකරුවන් 15 දෙනා විනාඩි 15 ක් ධාවන⁣යේ යෙදෙන අතර එහි වේගවත්ම ධාවකයින් දස දෙනා Q3 සැසියටත් ඉතිරි පස්දෙනා පෙර පරිදිම 11 වැනි ස්ථානයේ සිට 15 දක්වා ආරම්භක ස්ථානයේ පෙළ ගස්වනු ලබයි.

Q3
විනාඩි 12 සැසියක් වන අතර වේගවත්ම ධාවකයා පෝල් පොෂිසන් හෙවත් පළමුවැන්නා ලෙස තරගය ඇරඹීමට සුදුසුකම් ලබන අතර දෙවන සිට 10 වැනි ස්ථාන පෙර පරිදිම වේගය අනුව පෙළගස්වනු ඇත.

ටයර් සහ Pitstop (තාවකාලික නැවතුම්)

පිරෙල්ලි (Pirelli) සමාගම F1 තරගවල නිල ටයර් සැපයුම්කරු වන අතර මූලිකව මෘදු, මාධ්‍ය සහ දෘඩ  (Soft, Medium, Hard) ලෙස ටයර් සංයෝග තුනක් නිෂ්පාදනය කරයි.

සොෆ්ට් යනු වේගවත්ම ටයර් වර්ගය වන අතර, ඉක්මනින් ගෙවී යයි.

හාර්ඩ් ටයර් මන්දගාමී වන නමුත් දිගු කල් පවතියි..

කණ්ඩායම් අදාළ ධාවන පථයට ගැලපෙන උපාය මාර්ග සැකසීමට සහ තරගයට යොදාගන්නා ටයර් තෝරා ගැනීමට පුහුණු සැසි භාවිතා කරයි.

සාමාන්‍ය තරග තත්වයකදි ධාවකයෙක් ඉහත ටයර් වර්ග තුනෙන් අවම වශයෙන් දෙවර්ගයක් පාවිච්චි කළ යුතුවන අතර තෙත සහ වැසි සහිත කාළගුණයන්වලදි භාවිතයට ඉන්ටමීඩියට් සහ වෙට් ලෙස නිමැවුනු ටයර් වර්ග දෙකක්ද භාවිත කිරීමට හැකිය. කෙසේ වුවත් වැසි සහිත කාළගුණයකදි පාවිච්චි කරන ටයර් භාවිතයට කිසිදු නීතියක් පනවනු නොළබයි.

තරගය අතරතුර, ටයර් මාරු කිරීම සඳහා ධාවකයින් අවම වශයෙන් එක් වරක් හෝ pitstop වෙත පැමිණිය යුතුය. ධාවන පථයේම අතුරඅ මාර්ගයක pitstop එක පිහිටා ඇත. එහිදී කාර්මිකයන් 23 දෙනෙක් මෝටර් රථයේ ක්ෂණික අලුත්වැඩියාවන්, ටයර් වෙනස් කිරීම කරනු ලබයි. සාමාන්‍යයෙන් තත්පර තුනකට අඩු කාලයකදි අදාළ කර්තව්‍යයන් සිදු කිරීම සිදුවෙයි. පළමු නැවතුමෙන් අනතුරුව නැවත pitstop වෙත පැමිණීම අදාල කණ්ඩායමට සහ ධාවකයා සතු තීරණයකි.  ටයර් වලට හානි සිදුවිය හැකි සිදුවීමකදී, කාර්මිකයින්ට ඒවා වෙනුවට නව ටයර් කට්ටලයක් ආදේශ කළ හැකි අතර ඉදිරිපස පියාපත් කැඩී ඇත්නම්, තත්පර අටකට අඩු කාලයකදී පියාපත් වෙනස් කළ හැකිය.

වෙනත් අලුත්වැඩියාවන් ඇත්නම් බොහෝ විට මෝටර් රථය තරගයෙන් ඉවත් කරනු ලැබේ.

ෆෝමියුලා 1 මෝටර් රථයක වටිනාකම

ෆෝමියුලා1 මෝටර් රථ බොහෝ විට නිර්මාණය වන්නේ එක තරග වාරයකටය. එසේම වසර පුරා මෝටර් රථයේ වෙනස්කම් සහ නව කොටස් එකතු කිරීම සිදුවෙයි. කෙසේ නමුත් මෝටර් රථයකට වැය කරන මිල තීරණය වන්නේ අදාළ කණ්ඩායම්වලට ලබා දී ඇති අයවැය සීමා සහිතවය.  සාමාන්‍යයෙන් F1 මෝටර් රථයක චැසිය සඳහා ඩොලර් 700,000 ක් දක්වා වැය විය හැකි අතර රියදුරු වටා ඇති ආරක්ෂිත ආවරණය ඩොලර් 17,000 ක් පමණ වේ. කෙසේ වෙතත්, මෝටර් රථයේ වඩාත්ම මිල අධික කොටස වන්නේ එන්ජිමයි. F1 මෝටර් රථයක් සඳහා නව එන්ජිමක් සහ අනෙකුත් උපාංග සඳහා ඩොලර් මිලියන 18 ක් දක්වා වැය විය හැකිය. සමස්තයක් වශයෙන්, සාමාන්‍ය F1 මෝටර් රථයක් සඳහා වසරකට ඩොලර් මිලියන 20 ක් පමණ වැය වේ.

ලුවිස් හැමිල්ටන්, මැක්ස් වැස්ටර්පන් ෆර්නැන්ඩෝ ඇලෙන්සෝ

Pitstop
ෆෝමියුලා 1 එංජිමක්

- Waruna Sudantha Herath

Latest