Skip to content

අධික වර්ෂාවෙන් ඇතිවූ ගංවතුර හේතුවෙන් උතුරු ඉන්දියාවට දැඩි බලපෑම්.

2023 ජුලි 9 වන දින නවදිල්ලියේ ඇතිවූ අධික වර්ෂාවෙන් පසු, ඡායාරූප මූලාශ්‍ර විදෙස් මාධ්‍ය තුලිණි.

ඉකුත් සති අන්තයේ උතුරු ඉන්දියාවට ඇද හැලුණු අධික වර්‍ෂාපතනය හේතුවෙන් ගංවතුර තත්වයක් ඇතිවී තිබෙන අතර එරට​ බලධාරීන් සහ ප්‍රාදේශීය වාර්තා සදහන් කර සිටිනුයේ රටේ අගනුවර වන නව දිල්ලියට කලකට පසු ඇද හැලුණු අධිකම වර්ෂාපතනය මෙය බවයි.

ඇතිවූ අධික​ වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර සහ නායයෑම් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස කලාපය පුරා පුද්ගලයින් 22 දෙනෙකුට පමණ සිය ජීවිත අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ඉරිදා නවදිල්ලියට මිලිමීටර් 153ක​ වර්ෂාපතනයක් ලැබුණු අතර එය 1982 සිට මේ දක්වා වාර්තා වූ අධිකම වර්ෂාපතනය ලෙසටයි. එම දෙපාර්තමේන්තුව විසින් ඉරිදා දිනයේ අනතුරු ඇගවීමේ රතු නිවේදන නිකුත් කරන ලද අතර ඉහළම අවධානම් මට්ටමේ ප්‍රදේශ වශයෙන් හිමාචල් ප්‍රදේශ්, උත්තරකාන්ද්, පන්ජාබ් සහ හර්යානා යන උතුරු ප්‍රාන්ත නම් කර තිබිණි.

හිමාචල් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය Sukhvinder Singh Sukhu එම ප්‍රාන්තයේ නිවැසියන්ගෙන් ඉදිරි පැය 24 තුළ තම නිවෙස් තුළම රැදී සිටින මෙන් ඉල්ලා ඇති අතර, ගංවතුර, ගස් කඩා වැටීම් සහ නායයෑම් වැනි තත්වයන් සැලකිල්ලට ගෙන දිල්ලියේ නිරිත දෙසින් පිහිටා ඇති ගුරුග්‍රාම් නගරයේ සඳුදා දින​ පාසල් වසා දැමීමට ද​ බලධාරීන් විසින් නියෝග කර ඇත​.

සඳුදා සිට, ඉදිරි දින පහ සඳහා පන්ජාබ්, හර්යානා, චන්දිගාර්, දිල්ලි, රාජස්ථාන් සහ උත්තර් ප්‍රදේශ් යන ප්‍රදේශ සඳහා අධික වර්ෂාපතන තත්වයන් ඇති විය හැකි බව ඉන්දීය​ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉරිදා වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබීය​.

Latest