Skip to content

ස්ථාවර තැන්පතුකරුවන් සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය

ස්ථාවර තැන්පතුකරුවන් සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය.

මේ කාරණාව සම්බන්ධයෙන් බොහෝ අයවලුන් විමසීම් කරනු දැක ඇතත් ඔවුනගේ කණස්සල්ල  දුරු කිරීමට ප්‍රමානවත් පිළිතුරක් දැකීමට නොහැකි වූ නිසාත් ඊට යම් තරමක අදහසක් ලබා දීමට මේ කෙටි සටහන තබමි. මේ සම්බන්ධව අයෙකු විසින් ඉංග්‍රීසි භාශාවෙන් තැබූ ධනාත්මකව සටහනක් මේ සමූහයේ දුටුවෙමි. මාගේ අදහසද ඒ හා සමාන්තරව දිවෙන එකකී.

විෂයේ සප්‍රමානිකයින්ට මේ පිළිතුර ප්‍රාමානික නොවන්නට පුළුවන. එසේ වුවහොත් ඔවුන් විසින් එය ඌන පූරනය කරතැයි බලාපොරොත්තු වෙමි.

දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබදව ඒ ගැන උනන්දුවක් දක්වන සෑම අයෙකුම විපිළිසර වී ඇත. බොහෝ අයවලුන් කෙරේ මේ පිළිබදව "භීතියක්"ඇති වී ඇත්තේ, තමාගේ ජීවිත කාළය පුරාවට හරිහම්බ කළ ධනය මතු ප්‍රයෝජනය සඳහා මෙන්ම එදිනෙදා වැය බර දරාගනු සඳහාත් ඒ පිහිට මිස වෙනයම් ආදායමක් නෙමැති නිසාය.

පෞද්ගලික අංශයේ මෙන්ම වෙනත් සංස්ථාපිත ආයතනයන් හී සේවය කොට විශ්‍රාම ගිය අතිමහත් පිරිසේ ජීවිකාව බවට පත්ව ඇත්තේ තම සේවා කාළය අවසන ලබා ගත් අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් මෙන්ම තමා ලැබූ වෙනත් හිමිකම් මත ලැබූ මුදලක් ස්ථාවර තැන්පතු මත පිහිටුවා මාසිකව ලබා ගන්නා පොළී මුදලිනි. එසේම ඇති  හැකි සෑම අයෙක්ම පාහේ යම් සැළකිය යුතු මුදල් ප්‍රමානයක් ස්ථාවර තැන්පතු ලෙස පවත්වාගෙන යමින් මූල්‍ය පද්ධතියට ඉතා ඉහල මූල්‍ය ශක්තියක් ලබා දී ඇත. මූල්‍ය ක්ෂේත්‍රය මත මේ පංගුව ඉතා විශාල අගයක් මෙන්ම බැංකු සහ අනෙකුත් මූල්‍යායතන කෙරෙහි එමඟින් ඇති කළ හැකි බලපෑමද ඉතා විශාල වේ.

යම් ව්දියකින් රජය විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කලේනම් ස්ථාවර තැන්පතු කෙරේ  බලපෑමක් ඇති වීමට ඇත්තේ සිදුවීමට ඇති හැකියාවක් මිස නියත වශයෙන්ම එසේ වන්නේ යැයි කිව නොහැක. එය තීරණය වන්නේ ඒ සම්බන්ධව රජය සහ මහබැංකුව විසින් ඒ සම්බන්ධව ගන්නා ප්‍රතිපත්තිමය තීරණය මතය. ඒ කෙසේ වුව රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණය ඍජුවම බලපානු ඇත්තේ රජයට භාන්ඩාගාර බිල්පත්  වැනි ක්‍රම හරහා ණය ලබා දුන් පාර්ශව කෙරෙහිය. ඒවැනි ක්‍රම සහ රජය විසින් ඍජුව ලබා ගත් ණය වල අගය ඉතා විශාලය  පවතින මූල්‍ය අර්බුදය හමුවේ මෙකී ණය ආපසු ගෙවා දැමීමට මේ මොහොතේ රජයට අපහසු නිසා වානිජ බැංකු සහ වෙනත් මූල්‍යායතන විසින් ලබා දුන් ණය ආපසු ගෙවිය හැකි ආකාරය එසේ ණය ලබාදුන් පාර්ශව සමඟ ඇතිකරගන්නා  සම්මුතියකින් ඒ ණය ලැබූ පාර්ශ්වය ලබා ගන්නා පහසුකම  ආකාර කීපයක් ලෙස පවතී.

1. ලබා දුන් ණය ප්‍රමාණයෙන් යම් නිශ්චිත අනුපාතයක් කපා දැමීම හෙවත් මුහුනත අගය අඩුකර දැමීම මගින් ණය ගැති පාර්ශ්වයට ඉහල සහනයක් ලබා දීම.(face value reduction )

2. ණය කල්පිරීමේ කාළය දීර්ඝ කරගැනීම මගින් ණය ගැති පාර්ශ්වය යම් සහනයක් ලබාගැනීම      (Maturity extension).

3. පොළී අනුපාතය අඩු කර ගැනීම.

4. ඉහත ක්‍රම සියල්ලගේ සම්පිණ්ඩනයක් මගින් ලබා ගන්නා විසඳුමක් යන ආකාරයෙන් ලංකා රජය දේශීය වශයෙන් ලබා ගත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට විසඳුමක් සොයාගනු ඇත.

මේ සියළු ක්‍රමෝපායන් භාවිතාවන්නේ රජය සහ රජයට ණය ලබා දුන් ආයතන අතර මිස බැංකු සහ මූල්‍යායතන වල තැන්පතු තැබූ ගණුදෙනු කරුවන් සඳහා නොවේ. ගණුදෙනුකරුවන් කෙරේඑහි බළපෑමක් ඇති වන්නේ ඉහත ක්‍රමෝපායන් අතුරින් කුමන උපාය අනුගමනය කරන්නේද යන කාරණාව මතය. එහිදි ,පොදු ජනතාවට වඩා බලපෑම් ඇතිවිය හැකි Face value reduction හෙවත් සාමාන්‍ය භාවිතයේ ගැනෙන Hair cut උපාය විධික්‍රමය භාවිතා නොකරනු ඇත යන්න අපගේ විශ්වාසයයි. බොහෝ විට සිදුවිය හැක්කේ ලබා ගත් ණය ගෙවා දැමීම ආරම්භ කිරීම යම් නිශ්චිත කාල පරාසයක් සඳහා කල්දැමීමයි.

මේ කුමනාකාරයෙන් එය සිදුවුවද බැංකු සහ අනෙක් මූල්‍යායතනවල මුදල් ප්‍රවාහය කෙරේ ඍජු බලපෑමක් ඇති කරවන අතර එය සිය ගණුදෙනු කරුවන් කෙරේ බලනොපාන ලෙස ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ආයතනයෙන් ආයතනයට වෙනස් වනු ඇත. යම් විදියකින් ලබා ගන්නා විසඳුම එක් එක් ආයතනයේ ප්‍රාග්ධන ශක්තියට සමානුපාතිකව සිදු වුවහොත් ගණුදෙනු කරුවාට එය බළපාන ආකාරය යම් තරමකට යහපත් වනු ඇත.

කෙසේ වුවද මේ මොනයම් කාරණයක් වුවද රජය පාර්ශවයෙන් සළකනු ඇත්තේ පොදු මහත් ජනතාවට සිදුවන ගැටළු අවම වන ආකාරයෙනි. ස්ථාවර තැන්පතුකරුවන්ගේ අගය රටේ ජනගහනයට සාපේක්ෂව සංඛ්‍යාත්මකව ඉතා ඉහල අගයක් ගනු ඇති නිසාත්,මූලිකවම එය බලපානු ඇත්තේ රටේ ජේෂ්ඨ පුරවැසියන්ට වන නිසාත්, බැංකු සහ අනෙකුත් මූල්‍යායතන වල මූල්‍ය ප්‍රවාහය කෙරෙහි ඍජුවම බලපාන ප්‍රතිව්‍යුහගතකරණ උපායයන්  හැරුණු කොට ගණුදෙනුකරුවන් එම ආයතන කෙරෙහි ඇති වන අපේක්ෂා භංගත්වය නිසා මූල්‍ය පද්ධතිය දෙදරා යාමේ අවදානමට ඉඩ හැරීම මහබැංකුව ප්‍රමුඛ වූ රජයක් විසින් කිසිසේත් නොකරනු ඇත. රජය මේ කෙරෙහි ඉතා සූක්ෂ්ම ලෙස ක්‍රියාකරනු ඇත. මන්දයත් පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව ඇති බහුතර පීඩිතයන්ගේ ගොඩ වැඩි කරගෙන තව තවත් අර්බුදය ඇතිකර නොගනු ඇත යන්න අපගේ දැකීමයි.

ඉහත කී ආකාරයට ණයහිමියන් කෙරේ ගෙවා දැමිය යුතු ණය කල්පිරීමේ කාළය දීර්ඝ කිරීම නිසා බැංකු සහ මූල්‍යායතන වලට ඇති වන  මුදල් ප්‍රවාහ අර්බුදය පියවාගැනීමට ගණුදෙනුකරුවන් කෙරෙහි සිය විශ්වාසය තහවුරු කරගැනීමට තම මූල්‍ය ස්ථාවර බව මූල්‍ය වෙළදපොළට පෙන්වා දෙමින් නැවුම් ගණුදෙනුකරුවන් දිනා ගැනීම හරහා තව තවත් තැන්පතු ලබා ගනිමින් ඇති වූ මූල්‍ය අස්ථාවරත්වය සමනය කරගනු ඇත. ඒ හේතුවෙන් සාමාන්‍ය තැන්පතුකරුවන් කෙරේ මේ අර්බුදය සිතා සිට්නා තරමින් බලනොපානු ඇත.

-චන්දන පීරිස්.

Latest