Skip to content

පුංචිකුලම තොටුපලේ යාකා නැටූ 15 ක් රිමාන්ඩ්..!

වැටලීමක් සදහා ගිය ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන් බව කියන පුද්ගලයින් 15 දෙනෙකුව මෙම මස 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගර ගත කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා 12 වැනිදා නියෝග කර ඇත.

මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ තිරප්පනේ - පුංචිකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්වය.

නාච්චියාදූව වැවේ පුංචිකුලම තොටුපොල අශ්‍රිතව තහනම් දැන් භාවිතා කරමින් එක්තරා පිරිසක් මසුන් මැරීම සහ අනවසර ධීවර කටයුතු සිදු  කරන බවට වන තොරතුරක් අනුරාධපුරය දිස්ත්‍රික් ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට ලැබී ඇත.එම තොරතුරට අනුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අනුරාධපුර කාර්යාලයේ ජල ජීවී ව්‍යාප්ති නිලධාරීන් දෙදෙනෙකු 12 වෙනිදා පුංචිකුලම තොටුපල වෙත ගොස් ඇත.පහර දීම සිදුවී ඇත්තේ එම අවස්ථාවේදීය.

අනතුරුව පහර කෑමට ලක්වූ නිලධාරීන් මේ බව තිරප්පපේ පොලීසියට සහ අනුරාධපුරය කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත දැණුම් දීමට කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ පදිංචිකරුවන් 15 දෙනෙකුව තිරප්පනේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන 12 වෙනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි.

අභ්‍යන්තර ජලශ අශ්‍රිතව සිදු වන අනවසර ධීවර කටයුතු වැළැක්වීමට සහ නීති විරෝධී මෙහෙයුම් පාලනය කිරීම සදහා ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් පසුගිය වසරේ විශේෂ ඒකකයක් ස්ථාපනය කරන ලදි.සේවයෙන් ඉවත් වූ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගෙන් සමන්විත එම ඒකකය පුද්ගලික ආරක්ෂක අංශයක් විසින් පවත්වා ගෙන යන ලදි.නමුත් එම ආයතනයට මුදල් ගෙවීමට නොහැකි බව පවසමින් ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් මෑතකදී එම ඒකකය විසුරුවා හැර ඇත.

මෙම තත්ත්වය මත අභ්‍යන්තර ජලාශ ආශ්‍රිතව සිදු වන අනවසර සහ නීති විරෝධී ධීවර කටයුතු පාලනය කිරීම තමන්ට අසිරු කරුණක් වී ඇති බව ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සදහන් කරයි.

Latest