Skip to content

රට වටකර කට බැන්දත් කට වටකර වැට බැඳීමට නොහැකි යැයි යනුවෙන් කියමනක් අප කාලයක් තිස්සේ අසා සිටියත් එසේ විශේෂිත වූ කටවල් වටකර ඉතිහාසයේ වැටක් බැඳීමට කටයුතු කර ඇති බව ද ඔබ බොහෝ විට නොදැන සිටියා විය හැකිය.

ඉහත දැක්වෙන Scold's Bridle නම් මෙම උපකරණය එසේ කට වටකර බැඳීමට වැටක් ලෙස ඉතිහාසයේ පාවිච්චි කර ඇති උපකරණයයි. බැණ වදින්නාගේ පාලුව, මායාකාරියකගේ විලංගුව නැතිනම් ඕපාදූපවල පාලුව යන අර්ථයෙන් ද හැඳින්වෙන මෙම උපකරණය අපේ භාෂාවෙන් මුඛවාඩම යනුවෙන් ද කිව හැකිය. එය සැබවින්ම පාවිච්චි කර ඇත්තේ නිතර නිතර බැණ වදිමින්, ඕපාදූප කියවමින් සහ සමාජයේ අනෙක් පිරිසට වචනයෙන් අපහාස කරමින් සිටි කාන්තාවන්ගේ කට වැසීමට සහ ඔවුන්ට ප්‍රසිද්ධියේ අවමන් කිරීමට නීත්‍යානුකූල පියවරක් ලෙසිනි.

වර්ෂ 1500 සිට 1800 දක්වා කාලය තුළ එංගලන්තයේ සහ ස්කොට්ලන්තයේ මෙම උපකරණය කාන්තාවන් සඳහා පමණක් භාවිත කර ඇති බවට බොහෝ මූලාශ්‍ර දක්වන අතර ප්‍රථම වරට මෙම දඬුවම 1567 දී ස්කොට්ලන්තයේ ක්‍රියාත්මක වී ඇත. එරට ප්‍රාදේශීය අධිකරණ විනිසුරන් තීරණය කර ඇත්තේ මහා ශබ්ද නගමින් රණ්ඩු සරුවල් සිදු කරන, ඕපාදූප කියන, අවලාද කතා කියමින් තම අසල්වැසියන්ගේ නිදහසට බාධා කරන කාන්තාවන් හට මෙම උපකරණය පලන්දවා දඬුවම් ලබා දිය යුතු බවය.

ඒ අනුව Scold's Bridle උපකරණය කාන්තාවන්ට පැළඳ වීමෙන් අරමුණු දෙකක් සාක්ෂරාත් කර ගැනීම විනිසුරන් අපේක්ෂා කර ඇත. එනම් කරදරකාරී කටවල් හිමි කාන්තාවන්ගේ කට වසා දැමීම සහ ඔවුන්ට ප්‍රසිද්ධියේ නිද්දා කරමින් දඬුවම් ලබා දීමය. මේ අනුව එවැනි කරදරකාරී කටක් හිමි කාන්තාවන් හට මෙම උපකරණය පලන්දවන අතර ඉන් පසුව ඇයව ප්‍රසිද්ධියේ වීදි සංචාරය කරවමින් අවමනට ලක් කර ඇත.

එමෙන්ම මෙම උපකරණය පැළඳ සිටි කාන්තාවක් දුටු විට එකල ජනයා හූ හඬ නැගූ බවත් ඇයගෙන් බොහෝ ඈත්ව වාසය කළ බව ද මූලාශ්‍රවල සඳහන් වේ. මෙය ලෝහයෙන් කරන ලද උපකරණයක් වී ඇති අතර එහි ඇතුලත ලෝහ තහඩුවක් ද වී ඇත. එම ලෝහ තහඩුව මුඛය තුළට ගමන් කර දිව ලෝහ තහඩුවට සිරවීම මඟින් එම කාන්තාවට කතා කිරීමට නොහැකි වන පරිදි කට අගුළු වැටීම මෙහිදී සිදු වී ඇත.

ප්‍රධාන වශයෙන් මෙම උපකරණ එසේ භාවිත වූවත් එයට බාහිර වශයෙන් බන්ධනාගාරවල රැඳිවියන් සඳහා ද දඬුවම් ලබාදීමක් වශයෙන් මෙය පාවිච්චි කර ඇතැයි මූලාශ්‍ර කියයි. එසේම බැණ අඬ ගහමින් සමාජයට කරදරයක් වූ කාන්තාවන් හට Scold's Bridle උපකරණය පැළඳවීම ලබා දුන් එකම දඬුවම නොවන බව ද british library කියයි. සමහරවිට මෙය නිර්මාණය කිරීම විවිධ වූ නමුත් එමගින් සිදු වූ කාර්යයනම් එකම වී ද ඇත.

සමහර මූලාශ්‍රවල දැක්වෙන්නේ ස්කොට්ලන්තයේ ගොවියෙකු විසින් ප්‍රථම වරට තම භාර්යාවට මෙවැනි උපකරණයක් පලන්දවා කුඹුරක් වටේ ඇවිද්දවා ඇති බවත් ඇය අසල්වැසියන්ට බොහෝ කරදර සිදුකරන ලද කාන්තාවාක් වූ බැවින් කිසිවකු ඇයට අනුකම්පා නොකර ඇති බවත් සහ අසල්වැසියන් ද ඇයට හූ කියමින් අවමන් කර ඇති බවත් ය. ඉදිං ස්කොට්ලන්තයේ ප්‍රදේශීය අධිකරණ එම ක්‍රියාව ආදර්ශයට ගත් බව ද මූලාශ්‍ර කියයි.

කෙසේ නමුත් මෙම උපකරණය පැළඳවීම මගින් පසු කාලයේ කාන්තාවන් හට විවිධ සංකූලතා ඇතිවන අතර විශේෂයෙන් ඔවුන් සමාජයෙන් අවමන් වීම නිසා මානසික පීඩනයට ලක්වීම, බිය වීම, කායික කම්පනයක් ඇති වීම සහ ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාවයට මෙයින් පහරක් වැදීම වැනි කරුණු හේතුකොටගෙන වික්ටෝරියානු යුගය ආරම්භ වීමත් සමග 1821 දී Scold's Bridle උපකරණය භාවිතයෙන් ඉවත් කිරීමට විනිසුරන් නියෝග කර ඇත.

Latest