Skip to content

සමහරුන් වතුරට බිය වේ. උස් ස්ථානවල සිට පහත බැලීමට බිය වේ. ගින්දරට බිය වේ. කළුවරට ද බිය වන අතර ඒ අතර සමහරුන් අධික ශබ්දයට ද බිය වේ. ජලයට බිය වේ. විශේෂත්වය වන්නේ මෙම සියළු භීතිකාවන් අතර සමහරුන් ආදරයට ද බිය වීමය.

ලෝකයේ මිනිසුන්ට කසාදවලට ඇති බිය හෝ කැප වීමට ඇති බිය අපි ගැමෝෆෝබියා වශයෙන් හඳුන්වමු. කසාදවලට ඇති බිය සේම ආදරයට ද මිනිසුන් බියක් දක්වන අතර එය පිලෝෆෝබියා වශයෙන් හඳුන්වමු. කෙසේ නමුත් මිනිසුන්ගේ ෆෝබියාවන් අතර මෙම ද්විත්වය ප්‍රධාන වන අතර ගැටළුව වන්නේ ජනප්‍රිය නොවුණත් මේවා හඳුනා ගැනීමට නිශ්චිත ක්‍රමවේද නොවුණත් මෙම ද්විත්වයම රෝගයන් වීමය.

ප්‍රථමයෙන් ම ගැමෝෆෝබියා සහ පිලෝෆෝබියා යන භීතිකාවන් දෙකෙහි වෙනස හඳුනාගත යුතු අතර මන්ද මෙම දෙකෙහිම රෝග ලක්ෂණ සහ ආබාධ තරමක් සමාන වන බැවිනි.  (ගැමෝෆෝබියා පිළිබඳව මීට පෙර මා  "කසාද බිය ලෙඩක් " යනුවෙන් ගෙන ආ ලිපියක් ද මෙහි පවතින බැවින් එය ද පරිශීලනය කිරීමට ආරාධනා කරමි ) ආදරය කරන දෙදෙනෙකුට වූව ද ගැමෝෆෝබියාව ඇතිවිය හැකිය. එනම් ආදරය කලත් ඔවුන් කසාදවලට බිය විය හැකිය. නමුත් පිලෝෆෝබියාවේදී සිදුවන්නේ ආදරය කිරීමටම බිය වීමය.

විශේෂයෙන් මානසික වෛද්‍යවරුන් පවසන්නේ ආදර භීතිකාව පවතින්නේ කීයෙන් කී දෙනෙකුට ද යන්න හඳුනාගැනීම ඉතාම අපහසු බවය. එම නිසා වෛද්‍යවරුන් පවසන්නේ තමන්ට මෙම රෝගය ඇතිදැයි තමන්ම සිතා බැලිය යුතු බවය. නමුත් බොහෝ විට මිනිසුන් තමන්ට එම රෝගය ඇතිදැයි සිතා බැලීමට නොයන අතර එමෙන්ම තමන්ට එම රෝගය පවතිනවා යැයි පිළි ගැනීමට ද ඉදිරිපත් නොවේ.

ඇමෙරිකාවේ ෆෝබියාවන් පිළිබඳව සිදුකරන ලද පර්යේෂණයකින් දක්වන්නේ එරට වැඩිහිටියන් දස දෙනෙකුගෙන එක් අයකු සහ තරුණ තරුණියන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු කුමන හෝ ෆෝබියාවකින් පෙලෙන බවත් ඉන් තරුණයින් අතර පිලෝෆෝබියා ප්‍රධාන වන බවත් ය.

නැවතත් පවසන්නේ පිලෝෆෝබියා යනු ආදරය කිරීමට ඇති බියයි. නමුත් පෙනෙන පෙනෙන තැන ලෝකයේ ආදරය කිරීමට පක්ෂ සහ ආදරය සොයා යන මිනිසුන් දකින්නට ලැබෙන විට ආදරයට භියතාවයක් දක්වන මිනිසුන් ද සිටින්නේ යැයි දැනගත් විට ඔබට කිසියම් පුදුමසහගත හැඟීමක් පහළ වන්නට ඉඩ ඇත. නමුත් එවැනි පුද්ගලයින් ද ලෝකයේ සිටින බව අප මතක තබා ගත යුතුය. නමුත් ලෝකයේ බොහෝ පුද්ගලයින් හට විවිධ සමාජ ආර්ථික හේතු සාධකයන් නිසා ආදරය කිරීමට බියක් ඇති වීම සාමාන්‍ය සංසිද්ධියක් වන අතර එය පිලෝෆෝබියාවක් ලෙස නම් කිරීමටනම් ආදරයට අධික භීතිකාවක් පැවතිය යුතුය.

Philophobia යන වචනය ගත විට මෙහි කොටස දෙකක් හඳුනාගත හැකිය. පළවන කොටස වන්නේ Philos යන්නය. එහි අර්ථය ආදරය වන අතර ඊ ළඟ කොටස වන Phobos යන්නෙහි අර්ථය භීතිකාවයි. මෙම ද්විත්වයම සලකන්නෙ ග්‍රීක වචන ලෙසය.

අතීත අත්දැකීම්, කම්පනසහගතව ආදර සම්බන්ධතා බිඳ වැටීම, අවිශ්වාසය, පාවාදීම, සිත් තැවුලට පත්වීම, තමන්ට ලෝකය සහ මිනිස් සම්බන්ධතා කෙරෙහි පවතින ආකල්පය,  මා පිය සම්බන්ධතාවන්ගේ සහ මිත්‍ර සම්බන්ධතාවන්ගේ යම් යම් ගැටළු, සම්බන්ධතාවලදී නිතරම කනස්සල්ලට පත්වීම, ආදී හේතු සාධක නිසා යමෙකුගේ මානසික හැඟීම් කැළඹීමකට පත්විය හැකි අතර  ආදරය සම්බන්ධයෙන් අනියත අතාර්කික නිදන්ගත බියක් ඇතිවිය හැකි බව මානසික වෛද්‍යවරුන්ගේ අදහසයි. මේ නිසා ආදර භීතිකාවට කිසිදු ප්‍රවේණිගත ජාන සම්බන්ධතාවයක් නොමැත.

කුඩා අවධියේදී සිය දෙමාපියන් විසින් අතැහැර දැමූ පුද්ගලයකු වැඩිවියට පැමිණීමේදී ද අන් අය සම්බන්ධයෙන් සිය විශ්වාසය අතහැර දැමීමට පුළුවන. නැතිනම් ළමා වියේදී අතහැර දැමීම හෝ නොසළකා හැරීම හෝ අපයෝජනයට ලක්වීම ද පිලෝෆෝබියාව සඳහා හේතුවක් විය හැකිය. නැතිනම් කාලයක් තිස්සේ උත්සාහ කළද ආදරයක් සොයා ගැනීමට නොහැකි වීම ද මෙයට හේතුවක් විය හැකිය.

මෙම රෝගී තත්වය සෑම කෙනෙකු තුළම එක හා සමාන ලෙස පෙනෙන්නේ නැත. යම්කිසි පුද්ගලයින් අනියම් පෙම් සම්බන්ධතාවලට කැමැත්තක් දක්වනවා යැයි සිතමු. නමුත් ඔහු හෝ ඇය ආදරය ප්‍රකාශ කිරීමට යන්නෙ නැත. තමන් අනෙකාට ආදරය කරනවා යැයි පිළිගැනීමට යන්නේ ද නැත. මෙවැනි තත්වයකින් ද පෙන්නුම් කරන්නේ පිලෝෆෝබියා තත්වයක් බව වෛද්‍යවරුන්ගේ අදහසයි. එපමණක් නොව ඔවුන් පවසන්නේ එවැනි පුද්ගලයින් තවත් අයෙකුට " මම ඔබට ආදරය කරනවා " යැයි ප්‍රකාශ කරනවිට දහදිය දැමීම හෝ ක්ලාන්තය දැමීම සිදුවන බවය.

පිලෝෆෝබියාවේ රෝග ලක්ෂණ ගත්විට මෙම භීතිකාවෙන් පෙළෙන පුද්ගලයින් සෑම විටම සමීප සම්බන්ධතා නොපවත්වා ගැනීමට උත්සාහ දරයි. පුද්ගලයකුට ආදරය කිරීමට හැකි සෑම අවස්ථාවක් ම වලක්වා ගැනීමට උත්සාහ දරයි. ප්‍රේම සම්බන්ධයක් ගත් විට එය අණතුරක් හෝ තර්ජනයක් බව නිතර සිතයි. එමෙන්ම ප්‍රේම සම්බන්ධතා පිළිබඳව සිතන විට දී හෝ ප්‍රේම කරමින් සිටින යුවලක් දුටු විට ඔක්කාරය, වමනය, දහදිය දැමීම, කලාන්තය ඇති වීම සහ හෘද ස්පන්දනය වැඩිවීම සිදුවිය හැකිය. එමෙන්ම නිතරම හුදෙකලාවේ සිටීමට ප්‍රියතාවයක් දක්වයි.

කෙසේ නමුත් මෙය පුද්ගලානුබද්ධ මානසික රෝගයක් බැවින් මෙය හඳුනා ගැනීම ඉතාම අපහසු බව වෛද්‍යවරුන්ගේ මතයයි. එමෙන්ම මෙම භීතිකාවෙන් පෙලෙන පුද්ගලයන් එකවිට ඉහත රෝග ලක්ෂණ සියල්ල පෙන්නුම් නොකිරීමත්, රෝග ලක්ෂණ ද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වීමත් හේතුකොටගෙන මෙම හඳුනා ගැනීම තවත් අපහසු කර ඇත. මෙහි ඇති භයානකත්වය වන්නේ පිලෝෆෝබියාවෙන් පෙලෙන්නෙකු නිතරම සාංකාවෙන් සිටින බැවින් එය පුද්ගලයන්ගේ ගුණාත්මක බවට විශේෂයෙන් බලපෑමය.

ආදර භීතිකාව හඳුනා ගැනීමේ සම්පූර්ණ වගකීම පැවරෙන්නේ තනි තනි පුද්ගලයින්ටය. ඔබට මෙවැනි රෝගයක් පවතින්නේ යැයි ඔබ හඳුනාගතහොත් ඉන් මිදීමට කළ හැක්කේ කුමක් ද ?

ප්‍රධාන වශයෙන්ම සිදුකළ හැක්කේ ආදරය විශ්වාස කිරීම සහ එයට මුහුණ දීමට ශක්තියක් ඇතිකර ගැනීමය. වෙන කිසිදු දෙයක් කිරීමට නැත. මෙම ශක්තිය ඇතිකර ගැනීම සඳහා ඔබට පොත් කියවිය හැකිය. භාවනාවද උපයෝගී කර ගැත හැකිය. මනෝ චිකිත්සාව, මෝහනය, නිතරම ආදරයේ සහ එහි ඇති ගුණාත්මක බව සිතීම, නව මිනිස් සම්බන්ධතා ඇතිකර ගැනීම ආදී ක්‍රම අනුගමනය කළ හැකි බව වෛද්‍යවරුන්ගේ නිර්දේශයයි.

Latest