Skip to content

රජයේ රැකියා බලා නොසිට විදේශ විනිමය උපයන ආදර්ශමත් තරුණයා

රජයේ විශ්ව විද්යාලයකින් උපාධියක් ලබා රජයේ රැකියාවක්ම පමණක් බලාපොරොත්තුවෙන තරුණ තරුණියන්ට මහගු ආදර්ශයක් ලබා දෙමින් තම හැකියාවෙන් රටට විදේශ විනිමය උපයන තරුණයෙකු පිළිබඳ පුවතක් මහනුවර කටුගස්තොට ප්‍රදේශයෙන් වාර්තා වේ.

නමින් සුචීන්ද්ර දිලුම් සංජීව වන මොහු මොරටුව විශ්ව විද්යාලයේ මෝස්තර නිර්මාණය පිළිබඳ උපාධියක් ලබා කලක් මෙරට ප්‍රකට ඇඟලුම් ආයතනයක ප්‍රධාන මෝස්තර නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කොට ඇත. මේ වන විට එම රැකියාවෙන් ඉවත්ව ස්වයං රැකියාවක නිරතවන දිලුම් එළවළු සහ පලතුරු විජලනය කොට අපනයනය කරමින් තම ව්‍යාපාර කටයුතු සිදු කරනු ලබන තරුනයෙකි.

යුරෝපීය හා මැද පෙරදිග මෙන්ම ආසියානු කලාපයේ අපනයන වෙළඳපොළ ඉලක්ක කොටගනිමින් නිපදවන විජලනය කළ පලතුරු අතර අඹ, පැපොල්, වරකා, කෙසෙල්, අන්නාසි, කාමරංගා ඇතුළු මෙරට පහසුවෙන් ලබා ගත හැකි පලතුරු රැසක් වන අතර පොලොස්, බිම්මල්, කොහිල මෙන්ම විවිධ එළවලු සහ පලා වර්ගයන්ද වෙයි.

එමෙන්ම දිවුල් කිරි, නිල් කට්රොල් මල් හා තෙබු පානය, බිම්මල් පානය, කිතුල් පැණි මිශ්‍ර කිතුල් තලප හා දූරියන් පානය මැද පෙරදිග මෙන්ම ජපානය ඇතුළු ආසියානු රටවලද අතිශයින් ජනප්‍රියව විශාල ඉල්ලුමක් පවතින බව සුචීන්ද්ර පවසයි.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ හා තායි ශ්‍රී ආයතන වලින් මෙම කර්මාන්තය පිළිබඳ මූලික අධ්‍යාපනය ලබා ඇති සුචීන්ද්ර තම හැකියාවන් නවීන තාක්ෂණය හා මුසුකොට මෙම කර්මාන්තය වඩාත් දියුණු තත්ත්වයට පත් කොට ඇත. විදේශ වෙළෙඳපොළ පමණක්ම ඉලක්ක කොට රසකාරක කිසිවක් නොමැතිව ස්වභාවික ආකාරයෙන් විජලනය කොට නිෂ්පාදිත මෙම ආහාර පාන සඳහා යුරෝපීය රටවල විශාල ඉල්ලුමක් පැවතුනද එම ඉල්ලුම සපුරාලීම තරමක් අපහසු කාරණයක් වී ඇති බව හෙතෙම පවසයි.

පළතුරු මිශ්ර චොක්ලට් නිෂ්පාදනය කිරීම සඳහා මේ වන විට පර්යේෂණයක නිරතව සිටින සුචීන්ද්ර තම නිෂ්පාදන මෙරට සුපිරි වෙළඳ සැල් සඳහා නිකුත් කිරීමටද බලාපොරොත්තුවෙන් සිටී.

Latest