රජය ගෑස් මිල රු.6000සිට දෙදහස් ගණනකට අඩු කර තිබුණද ආපනශාලා සහ බේකරි හිමියන් එම සහනය ජනතාවට ලබා නොදෙන බව ගෑස් මිල අඩු කිරීම පිළිබද අදහස් දක්වමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් රජය අවධානය යොමුකළ යුතුවන බවයි විතානගේ මහතා සඳහන් කරන්නේ.
දැන් ගෑස් මිල අවස්ථා තුනකදී අඩුකර තිබෙන නමුත් මෙහි වාසිය ලබා ගත යුත්තේ පාරිභෝගික ද එහෙම නැත්නම් වෙළෙඳ ව්‍යාපාරිකයාද යන්න තීරණය කළ යුතුව ඇති බව ඔහු අවධාරණය කරයි.
''පාරිභෝගිකයාට කිසිදු සහනයක් නැහැ. බේකරි හිමියන්ට සහ වෙළඳ හිමියන්ටයි දැන් සහන ලැබෙන්නේ. මෙම ගෑස් මිල අඩු කරන්නේ වෙළඳ හිමියන්ට ද මෙන්ම බේකරි හිමියන්ට ද ජනතාවට සහන මිලට නිෂ්පාදන ලබා දීමට. නමුත් රුපියල් 6000 ට වැඩි වෙච්ච අවස්ථාවේ පාරිභෝගික නිෂ්පාදනවල තිබුණ මිල තමයි අදටත් මේ රටේ තිබෙන්නේ. අපි රජයට නැවත නැවතත් කියන්නේ පාරිභෝගිකයන්ට මේ සහනය ලබාදීමට කිසියම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. අවස්ථා තුනක නෙමෙයි අවස්ථා 10 ක ගෑස් මිල අඩු කරත් මේ වාසිය පාරිභෝගිකයාට ලැබෙන එකක් නැහැ. මේ රටේ විශාල පිරිසක් වෙළඳසල්වලින් ආහාර ලබා ගන්නවා. ඒ වගේම පාසල් ළමුන්ට උදෑසන ආහාර ලබා ගන්නවා. කවදාවත් සහනයක් ලැබෙන්නේ නැහැ කොපමණ ගෑස් මිල අඩු වුණත්. නමුත් මිල වැඩි වෙන හැම වතාවකදිම මෙම නිෂ්පාදනවල මිල හිතූ හිතූ ආකාරයට ඉහළ දැම්මා. අද රෑ 12 වෙද්දි ගෑස් මිල අඩු වුණත් හෙට උදෑසන නිෂ්පාදනවල මිල එලෙසමයි. මේ පිළිබඳව රජය දැඩිව කටයුතු කළ යුතුයි මේ සහනය ජනතාවට ලබාදීම සඳහා.'' යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.