Skip to content

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළත් සේවක අර්ථ සාධක අරමුදලට අත තියන්න එපා - මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ

ලෝකයේ ණය අර්බූදයකට ලක්වූ රටවල් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් රජයේ ණය බර අඩුකර ගෙන තිබෙන අතර ශ්‍රී ලංකාව එය සිදුකිරීමේදී සේවක අර්ථ සාධක අරමුදලට අත නොතැබිය යුතු වන බව  කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.

ආර්ථික අර්බුදය හේතුවෙන් සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභ 50% කින් අඩුවී තිබෙන බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සෙසු මූල්‍ය ආයතන වලින් ලබාගත් මුදල් පමණක් ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතු වන බවත් මහාචාර්යවරයා සඳහන් කරයි.

දුනුසිංහ මහතා පවසන පරිදි රජය විසින් සිදුකිරීමට බලාපොරොත්තු වන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් මූල්‍ය ආයතන කඩාවැටීමක් සිදු නොවන බව සඳහන්.

''ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක් තමයි ණය තිරසාර කිරීම. ණය අර්බුදයට ලක්වෙච්ච රටවල් මේ ආකාරයට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා රජයේ ණය බර අඩුකරගන්නවා. මම හිතන්නේ නෑ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් දේශීය මූල්‍ය ආයතන කඩා වැටෙනවා කියලා. ලංකාවට හැකියාවක් තියෙනවා මූල්‍ය ආයතනවලට හානියක් නොවන ආකාරයට කරගන්න. විදේශිකයින් ගෙන් ණය කපාහැරීම කරනවා නම් සාධාරණයක් තියෙනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමත්. සේවක අර්තසාධක අරමුදල මගින් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම නොකළ යුතුයි. ආර්ථික අර්බුදය මත සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභ 50% කින් අඩුවෙලා. අනිත් මූල්‍ය ආයතන වලින් ලබාගත් මුදල් පමණක් ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතුයි. රටේ ජනතාව යම් යම් ක්ෂේත්‍රවල  ඇතිවෙලා තියෙන වේදනාව සමානව බෙදාගත යුතු වෙනවා. මේක කළේ නැත්නම් රජය අරගෙන තියෙන ඉහළ බදු ගෙවන්න තව බදු වැඩිකරගන්න වේවී. අපි තීරණයකරන්න ඕන වැඩිපුර බදු ගෙවනවද කියලා. මම දකින්නේ නෑ කිසිසේත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් මූල්‍ය ආයතන කඩාවැටෙයි කියලා.
මූල්‍ය ආයතනවලට දැරිය හැකි මුදලකට තමයි ප්‍රතිව්‍යුහගත කිරීම කරන්නේ.

රජයේ භාණ්ඩාගාර බිල්පත් අරගෙන තියෙන අය උත්සාහ කරනවා මේක නවත්වන්න. මොකද ඔවුන්ට වෙන අලාභය නිසා. ඔවුන් දීර්ඝ කාලීනව ලබල තියෙන ලාභය නිසා. ඔවුන්ගේ ලාභය නිසයි ඔවුන් මේ බිල්ලා මවන්නේ. රජයට ණය දෙන සුපිරි පැළැන්තිය තමයි මේක කරන්නේ. පොළී අනුපාතය වැඩිවීමක් තියෙනවා. පහුගිය කාලයේ රජයට අධික පොළියට ණය ලබාදුන්නා. ඔවුන් දැනටමත් අවධානම පියවගෙන අවසන්.'' යනුවෙන් දුනුසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ

Latest