Skip to content

එංගලන්ත⁣ය බිහිකළ හොඳම පන්දුයවන්නිය ජාත්‍යන්තර පිටියට සමු දෙයි!

එංගලන්ත⁣ කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හොඳම පන්දු යවන්නිය ලෙස සැලකෙන දකුණත් වේග පන්දු යවන ක්‍රීඩිකා කැතරින් ෂිවර්-බ්‍රන්ට් සිය වසර 19ක ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතයයෙන් සමු ගැනීමට තීරණය කර ඇත. 37 හැවිරිදි කැතරින් ටෙස්ට්, එක්දින සහ ටී20 තරග 267 කදි එංගලන්ත කාන්තා කණ්ඩායමට සිය සේවය ලබා දී ඇති අතර ඇය දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 335 කි. එය ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටියේදි පන්දු යවන්නියක් වාර්තා කළ දෙවැනි වැඩිම කඩුළු සංඛ්‍යාවයි. ඉන්දීය ක්‍රීඩිකා ජූලන් ගෝස්වාමි වැඩිම ජාත්‍යන්තර කඩුළු බිඳ හෙලීමේ වා⁣ර්තාවට හිමිකම් කියන්නීය.

කාන්තා එක්දින ජාත්‍යන්තර තරගවලදි කැතරින් දවාගෙන ඇති කඩුළු 170 සහ විස්සයි විස්ස තරගවලදි දවාගෙන ඇති කඩුළු 114 එංගලන්ත පන්දු යවන්නියක් එම ඉසව් දෙකේදිම දවාගෙන ඇති වැඩිම කඩුළු සංඛ්‍යාවයි.

ජාත්‍යන්තර තරගවලදි ලකුණු 1,800ක් ලබා ගැනීමට සමත් වන කැතරින් තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ලෙස නම් කළ හැකිය.

2009 වසරේ කාන්තා විස්සයි විස්ස කිරුළ එංගලන්තයට ලබා දීමට ප්‍රමුඛ මෙහෙයක් ඉටු කළ කැතරින් අවසන් මහා තරගයේදි නවසීලන්තයට එරෙහිව ලකුණු 6 කට කඩුළු 3ක් දවාගනිමින් අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානයටද හිමිකම් කීමට සමත් විය.

එසේම ඇය දෙවතාවක්ම කාන්තා එක්දින ලෝක ශූරතාව දිනූ එංගලන්ත කණ්ඩායම නියෝජනය කිරීමේ වාසනාවද හිමි කරගැනීමට සමත් වූවාය.

Latest