බර රාත්තල් 88 ක් දක්වා වැඩිය හැකි පෙන්ගුයින් විශේෂ අතුරින් විශාලතම සත්ත්වයින් වශයෙන් හඳුන්වනු ලබන Emperor පෙන්ගුයින් විශේෂයට මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින ගෝලීය උෂ්ණත්වය හමුවේ පැවැත්ම සඳහා යම් තර්ජනයක් එල්ල වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා විසින් පෙන්වා දී තිබේ. එයට හේතු වී ඇත්තේ ඇන්ටාක්ටිකානු මුහුදේ අයිස් ස්ථරය පෙර නොවූ විරූ මට්ටමකින් පහළ බැසීමයි.
ඇන්ටාක්ටික් අර්ධද්වීපයට බටහිරින් බෙලිංෂවුසන් මුහුදේ විශ්ලේෂණය කරන ලද emperor පෙන්ගුයින් ජනපද පහෙන් හතරක කිසිදු පැටවෙකු මෙකී මුහුදු අයිස් ස්ථර විශාල වශයෙන් අහිමි වීම හමුවේ දිවි ගලවා ගැනීමට සමත් වී නැත. Nature Communications Earth & Environment අධ්‍යයනයකට අනුව මෙම කරුණු අනාවරණය කොට ගෙන ඇති බව ද මාධ්‍ය වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වේ.
ඉහත වාර්තාවට අනුව ගෝලීය උෂ්ණත්වය හමුවේ මෙම අභිජනන අසාර්ථකත්වය වාර්තාගත පළමු සිදුවීම මෙය වන අතර, 2100 වන විට emperor පෙන්ගුයින් ජනපදවලින් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් වඳවී යාමේ අවධානම පිළිබඳවද කාරණා ඉස්මතු කර ඇත. 2018 සිට 2022 දක්වා චන්ද්‍රිකා ඡායාරූප භාවිතා කරමින්, අභිජනන සමයේදී මෙම ජනපද වල සිදු කරන ලද නිරීක්ෂණයන් අනුව දළ වශයෙන් යුගල 630 සිට 3,500 දක්වා විශාලත්වයකින් යුක්තව පැවති emperor පෙන්ගුයින් සතුන්; 2022 වන විට දී බලපා ඇති දේශගුණික විපර්‍යාස හමුවේ සැලකිය යුතු මට්ටමකින් ගහණය වීම පහත වැටීම සිදුව ඇත.