Skip to content

ඉතිහාසය වෙනස්කල එමිරේට්ස් ගුවන් සේවය

එමිරේට්ස් සමූහය 2022-23වාර්ෂයන්හි සිය වාර්තාව එළි දක්වමින් එම සමූහයේ ඉතිහාසයේ වඩාත් ලාභදායිම වසර බවට වාර්තා කර ඇත.

පසුගිය වසරේ (2021- 22) අලාභයක් වාර්තා කළද එමිරේට්ස් ගුවන් සමාගම ද වාර්තාගත ලාභයක් මෙවර වාර්තා කර ඇති  ආකාරයක් පෙන්වා දෙයි.

2023මාර්තු 31දායින් අවසන් වූ මූල්‍ය වසර සඳහා එමිරේට්ස් සමූහය ඩිරාම් බිලියන 10.9ක (ඇමරිකානු ඩොලර් බිලියන 3.0 ක) ලාභයක් ලැබීමට සමත් වූ අතර, ඊට පෙර මූල්‍ය වසර සඳහා සමූහය ඩිරාම් බිලියන 3.8 ක (ඇමරිකානු ඩොලර් බිලියන 1ක) අලාභයක් වාර්තා කිරීම විශේෂත්වයක් වෙයි.

මේ අනුව එමිරේට්ස් සමූහයේ සමස්ත ආදායම 81%කින් වර්ධනය වී ඩිරාම් බිලියන 119.8ක් (ඇමරිකානු ඩොලර් බිලියන 32.6ක්) වීමද කැපීපෙනෙන සිදුවීමක්ව ඇත.

මේ පිළිබඳව එමිරේට්ස් සමූහයේ සහ එමිරේට්ස් ගුවන් සමාගමේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරී ශීක් අහ්මඞ් බින් සයීඞ් අල් මක්ටුම් මහතා පවසා සිටියේ මෙවැන්නකි.

ශීක් අහ්මඞ් බින් සයීඞ් අල් මක්ටුම් මහතා

‘මෙවැනි වාර්තාගත කාර්යසාධනයක් පිළිබඳව අප ආඩම්බර වනවා. මෙවැනි තත්ත්වයක් ලබා ගැනීමට එක්සත් අරාබි රාජධානියේ නියෝජ්‍ය ජනාධිපති සහ අගමැති මෙන්ම ඩුබායිහි පාලකයා වන ශීක් මොහොමඞ් බින් රශීඞ් අල් මක්ටුම් මහතාගේ නායකත්වය ප‍්‍රධාන සාධකයක් වුණා. එතුමාගේ මගපෙන්වීම සහ සහාය නොතිබුණා නම් අද එමිරේට්ස් ප‍්‍රමාණයෙන් අඩක් වන්නට තිබුණා.”

එමිරේට්ස් සමූහය සලකා බලන වසර තුළ සිය සේවක සංඛ්‍යාව 20%කින් එනම් 102,379 දක්වා ඉහළ නැංවූ අතර සමූහයේ සේවක මණ්ඩලයේ  ජාතීන් 160ක් නියෝජනය කිරීමද විශේෂ වෙයි.

2022-23 වසර තුළ එමිරේට්ස් සමූහය නව ගුවන් යානා, උපකරණ, පහසුකම් සහ නව තාක්ෂණය සඳහා ඩිරාම් බිලියන 7.2 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 2 ක්) ආයෝජනය කොට ඇති අතර එමිරේට්ස් ගුවන් සමාගමේ සමස්ත ගුවන් මගීන් සහ භාණ්ඩ ප‍්‍රවාහන ධාරිතාව 32%කින් 2023 වසරේ දී වර්ධනය විය.

2023 මාර්තු 31 වනදා වන විට එමිරේට්ස් ගුවන් සමාගමේ ජාත්‍යන්තර ජාලය මහද්වීප හයක ගමනාන්ත 150කින් සමන්විත විය. මූල්‍ය වසර සඳහා එමිරේට්ස් ගුවන් සමාගමේ මුළු ආදායම ඩිරාම් බිලියන 107.4ක් (ඇමරිකානු ඩොලර් බිලියන 29.3ක්) වූ අතර එය පෙර වසරට සාපේක්ෂව 81%ක වර්ධනයකි. ගෝලීය කෝවිඞ් වසංගතයට පසු ජාත්‍යන්තර ගමන් සීමා ඉවත් කිරීම හේතුවෙන් එමිරේට්ස් ගුවන් සමාගම ඩිරාම් බිලියන 10.6ක (ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක) ලාභයක් වාර්තා කිරීමට සමත්විය. ඊට පෙර වසර තුළ ගුවන් සමාගම ඩිරාම්  බිලියන 3.9ක (ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක) අලාභයක් වාර්තා කළේය.

2022-23වසර තුළ එමිරේට්ස් ගුවන් සමාගම ගුවන් මගීන් මිලියන 43.6ක් ප‍්‍රවාහනය කොට ඇති අතර මේ ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ ප‍්‍රවාහන අංශය වන එමිරේට්ස් ස්කයිකාගෝ එමිරේට්ස් ගුවන් සමාගමේ ආදායමෙන් 16%කට දායක වී ඉන් ඩිරාම් බිලියන 17.2ක (ඇමරිකානු ඩොලර් බිලියන 4.7 ක) ආදායමක් වාර්තා කොට ඇත.

Latest