Skip to content

එලෝන් මස්ක් Twitter CEO කමෙන් ඉවතට !

එලෝන් මස්ක්, Twitter හි ප්‍රධාන විධායක නිලධාරී (CEO) තනතුරෙන් ඉවත් වන බවට ඊයේ දින (මැයි 11) twitter පණිවිඩයක් මගින් දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව තවදුරටත් ඔහු ආයතනයේ විධායක සභාපති (Executive chairman) තනතුර දරමින් නිෂ්පාදන සහ තාක්ෂණික අංශයන් කළමනාකරණයට යොමු වන බව එහි සදහන්. නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කාන්තාවක් පත්වීමට නියමිත අතර ඇය කවුරුන්දැයි තවමත් ප්‍රකාශයට පත්වී නැත.

මෙම ප්‍රකාශයත් සමග ටෙස්ලා සමාගමේ කොටස් 2% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. එයින් නිරූපණය වන්නේ ආයෝජකයින්ට මෙම තනතුරු මාරුව පිළිබදව ඇති පැහැදීමයි. Twitter හි හිමිකාරීත්වයත් සමග ටෙස්ලා සමාගම කෙරෙහි අඩු අවදානයක් යොමු වන බවට ඔවුන් පෙර සිටම අදහස් දැක්වූවා. අප්‍රේල් මාසයේදී ටෙස්ලා සමාගමේ ප්‍රගතිශීලී කොටස්කරුවන් පිරිසක් විසින් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය වෙත ලිපියක් මගින් දැනුම් දුන්නේ, එලෝන් විසින් ටෙස්ලා සමාගමට මීට වඩා වැඩි ප්‍රමුඛතාවයක් ලබා දි කටයුතු කරනු ඇති බවට සහතික කරන ලෙසයි. එනිසා මෙයද එලෝන්ගේ ඉවත්ව යාමට හේතුකාරක වන්නට ඇති.

ගිය වසරේ ඔක්තෝබර් මස සම්පූර්ණයෙන්ම twitter තමන්ගේ හිමිකාරීත්වයට ගැනීමත් සමග එහි වූ ප්‍රධාන නිලධාරීන්ද ඇතුළුව විශාල සේවක පිරිසක් ඉවත් කරමින් කැපීපෙනෙන වෙනස්කම් රාශියක් සිදුකරන්නට එලෝන් මස්ක් විසින් කටයුතු කරනු ලැබුවා. එමෙන්ම එලෝන්ගේ ආගමනයත් සමග twitter හි අරටුව බදු වූ වෙළද ප්‍රචාරණයන්ටද විවිධ ගැටලු නැගෙන්නට විය. ආයතන ගණනාවක්, ඔවුන් විසින් twitter තුළ මුදල් ගෙවා සිදුකරන ප්‍රචාරණයන්ට තිත තිබන්නේ මෙම සමාජ ජාලය තුළ ප්‍රචණ්ඩකාරී භාෂා භාවිතයේ සිදුවූ වර්ධනයත් සමගයි.

මෙම බහින කලාව නිසාවෙන් එලෝන් විසින් twitter හි සාමාන්‍ය පරිශීලකයින්ට නොලැබෙන පහසුකම් ලබාගන්නට හැකිවන පරිදි Twitter blue නමින් මුදල් ගෙවා ලබාගත හැකි සේවාවක් හදුන්වාදෙනවා. ඒත් සමග විශේෂ පුද්ගලයින්ගේ ගිනුම් වෙත ලබාදී තිබුණු නිල් පැහැති "legacy" සලකුණ ඉවත් කිරීමටද පියවර ගන්නේ එය මුදල් ගෙවා ලබාගත යුත්තක් බව තරයේ පෙන්වාදෙමිනි.

තවද එලෝන් විසින්, විවිධ මතභේදාත්මක ප්‍රකාශයන් නිසාවෙන් twitter තහනමකට ලක්ව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි පරිශීලකයින්ට නැවත එය භාවිතයට අවස්ථාව සලසා දුන්නේ twitter යනු විවෘතව තම අදහස ප්‍රකාශ කිරීමට ඇති අවකාශයක් බව සදහන් කරමිනි.

අවසානයේ, එලෝන් විසින් ගත් මෙම තීරණය ආයතනයටත් ඔහුටත් යහපත් එකක් වනු ඇතැයි මාගේ විශ්වාසයයි.

Latest