විවාහ වන ඕනෑම යුවළකගේ අරමුණ ජීවිත කාලය පුරාවට ම සිය සහකරු – සහකාරිය සමඟ සතුටින්, සමාදානයෙන් ජීවත් වීම යි. කෙසේ නමුත් වර්තමාන සමාජ, ආර්ථික මෙන් ම ආකල්පමය තත්ත්වයන් හමුවේ විවාහ වී ඉතා කෙටි කලක් තුළ වෙන් වන අයද බොහෝ ය. සතුට, සාමය සහ ආදරය නොලැබෙන අයකු සමග ජීවත් වීමට වඩා වෙන් වීම වඩාත් සුදුසු වුවත් ජීවිත කාලය පුරාවට ම පවතින සෙනෙහස පිරි විවාහයකට කවුරු නම් අකැමැති වේ ද?
එදා මෙදා තුර බ්‍රිතාන්‍ය රාජකීය ඉතිහාසයේ දීර්ඝත ම කාලයක් පැවැති විවාහය ලෙස සැලකෙන්නේ දෙවැනි එළිසබෙත් රැජනගේ සහ එඩින්බරෝහි ආදිපාද පිලිප් කුමාරයාගේ විවාහය යි. එය වසර 74ක් තිස්සේ එනම් පිලිප් කුමරුගේ අභාවය තෙක්ම නොවෙනස් ව පැවතුනි. 1947 වසරේ දී විවාහ වූ ඔවුන් දෙදෙනා 2021 වසරේ පිලිප් කුමරු මිය යන තෙක් ඉතාමත් ආදරයෙන් ජීවත් වූ නිසා ම ඔවුන්ගේ ආදර කතාව ලොව පුරා කතාබහට ලක් වූ ඉතා මනරම් ආදර කතාවක් විය.
කුඩා කල පටන් ඇති වූ ප්‍රේම සම්බන්ධයක ප්‍රතිපලයක් ලෙස සිදු වූ එළිසබෙත් කුමරියගේ සහ පිලිප් කුමාරයාගේ විවාහය දුක-සැප සහ නින්දා-ප්‍රශංසා හමුවේ නොවෙනස් ව පැවැතියේ සැබෑ ආදරය කිසිදු බාධකයක් හමුවේ නොවෙනස් ව පවතින බව මොනවට පසක් කරමිනි. මෙම ලිපිය මගින් හෙළිකෙරෙන්නේ ඔවුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය ආරම්භ වූ අයුරු සහ විවාහ ජීවිතය පිළිබඳ ව බොහෝ දෙනෙක් නොඇසූ කරුණු කිහිපයක් පිළිබඳව යි.

නව යොවුන් වියේදීම පෙමින් බැඳුණු එළිසබෙත්-පිලිප් යුවළ
පෙම්වතුන් බවට පත් වීමට පෙර අවස්ථා කිහිපයකදීම එළිසබෙත් කුමරියට සිය ඥාති සොහොයුරකු වූ පිලිප් කුමරු හමු වී ඇත. එයින් සුවිශේෂිවූ අවස්ථා දෙකක් ගැන ඔවුහූ නිරන්තරයෙන් සිහිපත් කලාහුය. ඒ 1934 වසරේ දී පැවැති ඇගේ මාමා කෙනකුගේ විවාහ මංගල්‍යය උත්සවයට සහ 1937 වසරේ ඇගේ පියා හයවැනි ජෝර්ජ් ලෙස රාජ්‍යත්වයට පත් වූ අවස්ථාවට පිලිප් කුමරු සහභාගී විමය.
ඒ අයුරින් කිහිප විටක්ම මුණගැසී ඇති ඔවුන් දෙදෙනා අතර ආදරයක් ඇති වන්නේ 1939 වසරේ දී ය. ඒ වන විට එළිසබෙත් කුමරියගේ වයස අවුරුදු 13ක් වූ අතර පිලිප් කුමරු 18 වැනි වියේ පසුවිය. වරක් රජ පවුලේ සාමාජිකයන් රාජකීය නාවික විද්‍යාලයේ සංචාරයක යෙදුණු අතර ඒ වන විට නාවික විද්‍යාලයේ පුහුණුවන නාවිකයින් බොහෝ දෙනෙකු පැපොල සහ කම්මුල්ගාය වැලඳී රෝගාතුරව සිටියෝය. එසේ රෝගීවී සිටි නාවික හමුදා නිලධාරීන් අතර පිලිප් කුමරු ඉතා නිරෝගී ව සිටිම රාජකීයයන්ගේ මහත් අවධානයට ලක්වූ කරුණක් විය.

එම සංචාරය අතරතුර ඔහුට එළිසබෙත් කුමරිය සහ ඇගේ සොහොයුරිය වූ මාග්‍රට් කුමරිය සමඟ කතාබස් කිරීමට නිරතුරුව ම ඉඩ කඩ ලැබිණි. ඔහුගේ මාමා කෙනකු වූ ලුවිස් මවුන්ට්බැට්න් සාමිවරයා පිලිප් කුමරු ඔවුන් දෙදෙනා වෙත තව තවත් සමීප කිරීමට ක්‍රියා කළේ ය. එම සංචාරය අතරතුර පිලිප් කුමරුගේ ක්‍රීඩා හැකියාව දුටු එළිසබෙත් කුමරිය ඔහු පිළිබඳ ව වඩාත් පැහැදුණු බව කියැවේ. එළිසබෙත්-පිලිප් ආදර කතාවේ ආරම්භයේ සිදු වූයේ එම සංචාරය අතරතුර බව පසුකාලීන ව ඔවුන් විසින්ම පවසා තිබිනි.

වසරක් පුරාවට රහසක් ව පැවති විවාහ ගිවිස ගැනීම
දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වූ කාලයේ පිලිප් කුමරු සහ එළිසබෙත් කුමරිය අතර ලිපි හුවමාරුව පටන් ගැනී තිබේ. ඊට අමතර ව නත්තල් උත්සවය වැනි අවස්ථාවලදී පිලිප් කුමරු වින්ඩ්සර් මාළිගයටද පැමිණියේ ය. ඔහු නාවික හමුදාවේ සේවය කරන කාලය තුළ සෑම විට ම එළිසබෙත් කුමරියගේ ඡායාරුපයක් ළඟ තබා ගත් අතර කුමරියත් ඔහුගේ ඡායාරුපයක් ඇගේ කාමරයේ ගිනි උදුන මත තබා තිබිණි.
වර්ෂ 1946 දී පිලිප් කුමරු, තමා සමඟ විවාහ වන්නැයි එළිසබෙත් කුමරියගෙන් ඉල්ලීමක් කළේ ය. ඒ වන විටත් ඔහු සමඟ විවාහ වීමට සිතින් තීරණය කර සිටි කුමරිය ඇයගේ මව්පියන්ගේ අවසරය හෝ නොගෙන ඊට එකහෙලාම සිය කැමැත්ත ප්‍රකාශ කළා ය. සිය දියණියගේ තෝරා ගැනීම පිළිබඳව මනා අවබෝධයකින් සිටි ජෝර්ජ් රජු ඊට කැමැත්ත දුන් නමුත් ඒ වන විට ඇයට වයස අවුරුදු 20ක් පමණක් බැවින් තවත් වසරක් ගත වන තුරු විවාහ ගිවිස ගැනීම ප්‍රසිද්ධ නොකරන ලෙස නව යුවළට උපදෙස් දුන්නේ ය. ඒ නිසා 1946 දී සිදු වූ ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම ප්‍රසිද්ධ කළේ 1947 ජූලි 9 දින දී ය.

විවාහය වෙනුවෙන් බොහෝ දේ කැප කළ පිලිප් කුමරු
එළිසබෙත් කුමරිය සමඟ විවාහ වීමට, ග්‍රීසියේ සිහසුනට තිබූ උරුමය සහ වෙනත් නම්බු නාම ගණනාවක් අත්හැරීමට පිලිප් කුමරුට සිදු විය. ඉන් අනතුරුව ඔහු බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බවට පත් විය. ඒ වන විට එංගලන්ත සභාව (Church of England) ද ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයකු ලෙස පිළිගෙන තිබිණි. තමන් සහ එළිසබෙත්ගේ විවාහයට සිය සොහොයුරියන්ට ඇරයුම් නොකර සිටීමට ද පිලිප් කුමරුට සිදු විය. ඊට හේතුව පිලිප් කුමරුගේ සොහොයුරියන් තිදෙනා ම ඒ වන විටත් ජර්මානු ජාතිකයන් සමඟ විවාහ වී සිටීමය.
රාජකීය විවාහ මංගල්‍යය 1947 නොවැම්බර් 20 දින සිදු විය. එදින ම ඔහුට ‘එඩින්බරෝ හි ආදිපාද’, ‘මෙරියෝනෙත් හි අර්ල්වරයා’ සහ ‘ග්‍රීන්විච් හි බාරොන්’ යන රාජකීය නාමයන් පිරිනැමීමට එළිසබෙත් කුමරියගේ පියා වූ හයවැනි ජෝර්ජ් රජු කටයුතු කළේ ය.
විවාහය සිදු වූ දින ම එළිසබෙත් කුමරියගේ ඉල්ලීම පරිදි දුම්පානය නතර කිරීමට ද පිලිප් කුමරු තීරණය කළේ ය. සිය පියා දුම්පානයට ඇබ්බැහි වී තිබීම පිළිබඳ ව කනගාටුවෙන් සිටි එළිසබෙත් කුමරිය විවාහයට පෙර පටන් දුම්පානය නතර කරන ලෙස පිලිප් කුමරුගෙන් කිහිප විටක්ම ඉල්ලීම් කර තිබිණි.
විවාහයෙන් අනතුරු ව මධුසමය ගත කරන අතරතුර ඇය සිය මව්පියන්ට පිලිප් කුමරුන් පිළිබඳ ව ලියා යැවූ ලිපියක මෙසේ සදහන්ව තිබිනි.
“අපි වසර ගණනාවක් තිස්සේ එකිනෙකාට අයිතිව සිටි යුවළක් මෙන් කාලය ගත කලෙමු. පිලිප් සැබැවින්ම සුරදුතයෙකි”

පිලිප් කුමරුන්ට වෙනස් ම ජිවිතයකට හැඩ ගැසීමට සිදු වීම
බලාපොරොත්තු නොවූ මොහොතක සිදු වූ එවකට 56 හැවිරිදි වියේ පසු වූ ජෝර්ජ් රජුගේ හදිසි අභාවය නිසා එළිසබෙත් කුමරිය සිහසුනට පත් වූ අතර ඒ සමඟ නාවික හමුදාවෙන් ඉවත්ව ‘රාජකීය වල්ලභයා’ ලෙස වගකීම් රැසක් දරන්නට පිලිප් කුමරුන්ට සිදු විය. එපමණක් නොව රාජකීය නීති රීති ගණනාවක් අනුව කටයුතු කරන්නට ඔහුට සිදු වූ අතර සිය ජිවිතයේ සිදු වූ මෙම අනපේක්ෂිත හැරවුම පිළිබඳ ව ඔහු වරෙක විස්තර කළේ මේ අයුරිනි.
“මං හිතුවේ මට නාවික හමුදාව තුළ ඉදිරි ගමනක් තියේවි කියලා. නමුත් ‘එළිසබෙත්’ සිහසුනට පත් වීමත් සමඟ ඒ බලාපොරොත්තුව සම්පුර්ණයෙන්ම අත්හැර දමන්නට මට සිදු වුණා. කිසිම තෝරාගැනීමක් තිබුණේ නැහැ නාවික හමුදාව හැර යාම හැරෙන්නට. අපිට කැපකිරීම් කරන්න සිදු වුනා. ඒ නිසා මං ඒ වෙනස භාර ගත්තා. මට හැකි පමණින් ඒ වගකීම් ඉටු කරන්න මං සෑම විට ම උත්සහ කළා”
එළිසබෙත් කුමරිය රාජ්‍යත්වයට පත් වීමත් සමඟ පිලිප් කුමාරයාගේ මාමා වූ "ලුවිස් මවුන්ට්බැට්න්" විසින් "මෙතැන් පටන් මවුන්ට්බැට්න් පවුල සිහසුන දරනු ඇත" යනුවෙන් නිවේදනයක් නිකුත් කළේ ය. (මවුන්ට්බැට්න් පෙලපත යනු ජර්මානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පෙළපතකි.) එය අසා කෝපයට පත් වූ එළිසබෙත් රැජන ගේ මිත්තණිය වූ "මේරි රැජන" සහ එවකට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් චර්චිල් වහා ම රාජකීය යුවළ කැඳවා ඔවුන්ට දැනුම් දුන්නේ එළිසබෙත් රැජන සහ ඇගේ අනුප්‍රාප්තිකයන් සෑම විට ම ‘වින්ඩ්සර් පෙළපතේ’ සාමාජිකයන් ලෙස සිහසුන දැරිය යුතු බව යි.
මේ නිසා තරමක් කනගාටුවෙන් සිටි පිලිප් කුමරු ඔහුගේ මිතුරන්ට පවසා තිබුණේ තමන්ගේ ම දරුවන්ට තම පෙළපත් නාමය ලබා දීමට නොහැකි මහා බ්‍රිතාන්‍යයේ සිටින එකම පුද්ගලයා තමා විය හැකි බව යි.

එළිසබෙත් රැජන පිලිප් කුමරු හැඳින්වූයේ ‘මගේ ශක්තිය’ යනුවෙනි
1957 වසරේ දී එළිසබෙත් රැජන විසින් සිය සැමියා මහා බ්‍රිතාන්‍යයේ කුමාරයකු ලෙස නම් කළා ය. එමෙන්ම ඔවුන්ගේ දරුවන්ට සහ අනිකුත් අනුප්‍රාප්තිකයන්ට ‘මවුන්ට්බැට්න්-වින්ඩ්සර්’ යන වාසගම භාවිත කිරීමට අවසරය ලබා දීම තුළින් තම දරුවන්ට තමන්ගේ වාසගම ලබාදීමට නොහැකි වීම නිසා පිලිප් කුමරු තුළ පැවති කනගාටුදායක සිතිවිල්ල දුරු කරන්නට ඇය උත්සහ කළා ය. කෙසේ වෙතත් රාජකීය නියමයන්ට අනුව මහා බ්‍රිතාන්‍යයේ රජ පවුල සෑම විටම ‘වින්ඩ්සර්’ නමින් හඳුන්වන බැවින් ඇගේ උත්සාහය සාර්ථක වූයේ නැත.
1997 නොවැම්බර් 20 වැනිදා ඔවුන්ගේ 50 වැනි විවාහ සංවත්සරයේදී එලිසබෙත් රැජින අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ කීර්තිමත් අමුත්තන් දුසිම් ගනනක් ඉදිරියේ ලන්ඩනයේ උත්සව ශාලාවේදී දීර්ග කතාවක් කළේය. එහිදී ඇය සිය සැමියා පිළිබඳව මෙසේ පැවසුවාය.
“ඔහු පහසුවෙන් ප්‍රශංසා පිළිගන්නා අයකු නොවේ. නමුත් සරලව ම කියතොත් ඔහු සෑම විට ම ‘මගේ ශක්තිය’ වෙමින් මා සමඟ රැඳී සිටියි. මම, රාජකීය පවුල, මේ රට සහ තවත් බොහෝ රටවල් අපි සිතන තරමට වඩා බොහෝ සෙයින් ඔහුට ණයගැතියි. එය මෙතෙක් අවබෝධ කරනොගත් යම් අයකු සිටී නම් ඔවුන් කෙදිනක හෝ එය අවබෝධ කරගනු ඇත”.

එයින් වසර 24 කට පසු රාජකීය පවුල නිවේදනය කළේ පිලිප් කුමරු වයස අවුරුදු 99 දී සාමකාමීව 2021 අප්‍රේල් 9 වන දින උදෑසන වින්ඩ්සර් මාලිගයේදී අභාවප්‍රාප්ත වූ බවයි. එසේම එළිසබෙත් රැජිනද 96 වසක් ආයු වැළඳීමෙන් අනතුරුව 2022 සැප්තැම්බර් 8 වෙනිදා සිය වල්ලභයා අනුගමනය කලාය.