Skip to content

ශ්‍රී ලංකාවේ අලි - මිනිස් ගැටුම සහ නූතන විසඳුම්

පෘථිවියේ ප්ලයෝසීන යුගයේ අලි ඇතුන් නිර්මාණය වූ බවට විශ්වාස කෙරෙන අතර එහෙයින් අලි ඇතුන් ද අපත් සමඟ කාලයත් සමග එකට ජීවත් වූ සත්ව කොට්ඨාශයක් බවට පිළිගත හැකිය. තවද මෙයින් වසර ලක්ෂ ගණනකට පෙර පෘථිවියේ වඳ වූ බොහෝ සත්ව වර්ග සේම අලි ඇතුන් ද වඳ වී යෑමේ තර්ජනයට ලක් වූ සත්ව කොට්ඨාසයක් ලෙස සැළකේ. අලියා යනු දැනට මිහිමත ජීවත්වන විශාලතම ශාක භක්ෂක සත්වයා වන අතර එම සත්වයා ජීව විශේෂ දෙකක් වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ පෙන්වා දිය හැකිය. එනම් අප්‍රිකානු අලියා (Loxodonta Africana) සහ ආසියානු අලියා (Elephas maximus ) වශයෙනි.

අප්‍රිකානු අහද්වීපයට අයත් රටවල වනාන්තර ආශ්‍රිතව අප්‍රිකානු අලින් ව්‍යාප්ත වී ඇති අතර ආසියානු අලියා ආසියාවේ රටවල් 13 කට සීමා වී ඇත. ආසියානු අලි ගහනය  40000 කට අධික නොවන බව පර්යේෂකයන්ගේ අදහස වේ.  චීනය, ඉන්දියාව, මියන්මාරය, ලාඕසය, ශ්‍රී ලංකාව වැනි රටවල සහ සුමාත්‍රා බෝර්නියෝ වැනි දූපත් ආශ්‍රිතව ද ආසියානු අලින් ව්‍යාප්තව ඇති අතර මින් වැඩිම ආසියානු අලි ගහනයකට ඉන්දියාව හිමිකම් කීව ද වැඩිම වන අලි ගහන ඝණත්වයකට හිමිකම් කියනුයේ ශ්‍රී ලංකාවයි. Elephas maximus maximus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ වාසය කරන අලි විශේෂය ආසියානු අලි විශේෂයට අයත් උප විශේෂ හතරෙන් එකකි. ආසියානු අලියා ජාත්‍යන්තර රතු දත්ත පොතේ අන්තරායට ලක් වූ සත්වයකු ලෙස ජාත්‍යන්තර රතු දත්ත පොතටද ඇතුළත් වී ඇත.

පර්යේෂකයින් දක්වන ආකාරයට 1951 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ අලි ගහනය 1500 ක් පමණ වී ඇත. ඉන් පසුව 1969 දී 1600 - 2200 අතර සංක්‍යාවක් ද, 1978 දී 2000 - 2500 අතර සංක්‍යාවක් ද , 1990 දී 2700 - 3000 අතර සංක්‍යාවක් ද වී ඇත. මෙසේ ව්‍යාප්ත වී ඇති අප රටෙහි අලි ඇතුන් ප්‍රධාන වශයෙන් කුල 10 කට වර්ග කර ඇත.  එනම් කාලවක (ශරීරය කළු පැහැතිය, ඇස් දුඹුරු පැහැතිය, හොඬයේ මුළ පලල් ය) , ගංගෙය (හිස විශාලය, පාද පළල් මෙන්ම වැඩි උසකින් යුක්තය, නිය විශාලය, හොඬය දිගය), පන්දර (හිස දිගටි ස්වාභාවයකින් යුක්ත වන අතර පළල් ය, ශරීරය තද kalu කළු පැහැයෙන් යුක්තය, හොඬයේ මුළ පලල් ය), තම්බර (සාමාන්‍ය ප්‍රමාණයේ හිසකි, දිග වලිගයක් ඇත, වේවැල් ආකාරයේ දළ යුගලයක් ඇත), පිංගල ( හිස විශාලය, ඇස් දිගුය, හොඬය ආරම්භයේ පලල් ය), ගන්ධ (හිස මෙන්ම හොඬය ද කුඩාය, දඟර සහිත වල්ගයක් හිමිය, රෝම සහිත ඝණ සමක් ඇත, වහා කිපෙන සුළුය) , මංගල (හිස, පාද, කන්, නිය, ආදී සියල්ල විශාලය, වල්ගය බිම ස්පර්ශ කරයි, කරුණාබරය) , හේමා (ශක්තිමත් දිගටි උල් හිසකි, ස්ථුල පාද සහ ශරීරයකින් යුක්තය, නිය රත් පැහැතිය), උපෝසත (මධ්‍යම ප්‍රමාණයෙව් හිසක් සහ කන් පිහිටයි, ශක්තිමත් දිගු පාද සහ හොඬයක් ඇත. ශරීරය ලා පැහැතිය), චද්දන්ත (දිගටි ඇස් සහ රන්වන් පැහැති ශරීරයකින් යුක්තය, දිගු පාද සහ හොඬයක් ඇත, ලිංගය හා වල්ගය පොළොව ස්පර්ශ කරයි)  ආදී වශයෙනි.  මේ ආකාරයට අලියා යන සත්වයා පිළිබඳව කෙටියෙන් හඳුනාගත හැකි අතර අලි - මිනිස් ගැටුම පිළිබඳව සාකච්ඡා කිරීමේදී මෙම හඳුනා ගැනීම ද අත්‍යාවශ්‍ය  යැයි සිතමි.

ශ්‍රී ලංකාවේ මානව - වන සත්ව ගැටුම් පිළිබඳව වර්තමානයේ දැඩි ලෙස සමාජ කතිකාවතක් නිර්මාණය වීම සඳහා බලපා ඇති ප්‍රධාන හේතු සාධකයක් වී ඇත්තේ පවතින රිලවුන් පිළිබඳ ප්‍රශ්නයයි. එසේ වූවද රිලා - මිනිස් ගැටුම යනු මානව - වන සත්ව ගැටුම් ක්ෂේත්‍රයේ දැකගත හැකි වත්මන් ප්‍රවණතාවයකි. නමුත් අතීතයේ පටන් මේ දක්වා දෛනිකව සමාජ කතිකාවතට භාජනය වූ මාතෘකාවක් වන්නේ අලි - මිනිස් ගැටුමයි. එම නිසාම අලි - මිනිස් ගැටුම යනු ශ්‍රී ලංකාව තුළ කිසිදා වයස්ගතවන සහ කතිකාවතෙන් ඉවත්වන මාතෘකාවක් නොවන බව කීම වඩාත් සාධාරණ වේ.

වර්තමානය වන විට අලි - මිනිස් ගැටුම ශ්‍රී ලංකාව තුළ තවදු නිසි විසඳුමක් නොමැති අති විශාල ගැටළුවක් බවට පත්ව ඇති අතර සෑම වර්ෂයකම සමස්ථ ශ්‍රී ලංකාව පුරාවටම මිනිස් ජීවිත 100-150 ත් අතර ප්‍රමාණයක් අලින් විසින් මරණයට පත් කරයි. එමෙන්ම මිනිසුන් විසින් වර්ෂයකට අලින් 20 ක් පමණ ඝාතනය කරනු ලබයි.  ශ්‍රී ලංකාව ආසියානු අලි ගහන ඝණත්වය අතින්  ඉහළම රටක් ලෙස සැළකිය හැකි අතර අප රට තුළ ජනගහන ඝණත්වය ද ඉහළ බැවින් අලි - මිනිස් ගැටුමක් නිර්මාණය වීම ස්වාභාවිකය. දිනෙන් දින ඇතිවන ජන ඝහනයේ වර්ධනයත් සමග මෙම ගැටළුව ද දිනෙන් දින උග්‍ර වන බැවින් අලි - මිනිස් ගැටුම කළමණාකරණය කිරීම වර්තමානයේ මහත් අභියෝගයක් ගෙන දෙන කරුණක් වී ඇත.

ශ්‍රී ලංකාවේ අලි - මිනිස් ගැටුම ප්‍රධාන අවස්ථා දෙකක් යටතේ අපට හඳුනාගත හැකිය. එනම් නිදහසට පෙර අවධිය සහ නිදහසින් පසු අවධිය වශයෙනි. නිදහසට පෙර අවධියේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමය තුළ අලියා සහ මිනිසා අතර අරගලයක් නිර්මාණය වී ඇති අතර එම කාලය තුළදී වැවිලි භෝග සඳහා උඩරට ප්‍රදේශ තුළ මහා පරිමාණයෙන් වනාන්තර එළිපෙහෙලි කරන්නට විය. මෙ නිසා උඩරට වනාන්තර ප්‍රදේශවල සිටි අලි ඇතුන්ට සිය වාසස්ථාන අහිමි වීමෙන් ඔවුන් කුඩා රංචු වශයෙන් වියළි කලාපයට සංක්‍රමණය වීමත් සමග ශ්‍රී ලංකාවේ අලි - මිනිස් ගැටුම උත්සන්න විය. තවද නිදහසට පෙර අවධියෙ අලි ඇතුන් විශාල පිරිසක් දඩයම් කිරීමට මෙන්ම අපනයනය කිරීම සඳහා ද යොදාගන්නට විය. ඉතිහාස වාර්තාවල දැක්වෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ සිටි පරිපාලන නිළධාරියකු වූ මේජර් රොජස් නමැති පුද්ගලයා අලි ඇතුන් 1400 කට වඩා ඝාතනය කළ බවය. මේ අනුව නිදහසට පෙර අවධියේ පටන්ම අලින් සහ මිනිසුන් අතර එතෙක් පැවති යහපත් සම්බන්ධතාවය දෙදරා ගොස් ගැටුමක් නිර්මාණය වීමේ මූල බීජ වැපිරෙන්නට විය.

නිදහසින් පසුද ශ්‍රී ලංකාවේ අලි - මිනිස් ගැටුම සීඝ්‍රයෙන් වර්ධනය වන්නට වූ අතර ඒ සඳහා බලපෑ ප්‍රධාන හේතු සාධකය වී ඇත්තේ මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආරම්භ වීමත් සමඟ මහා පරිමාණ වශයෙන් කෘෂිකාර්මික සංවර්ධනයක් සිදුවීම සහ ගොවි ජනපද නිර්මාණය වීමය. යටත් විජිත සමයෙන් පසු ආරම්භ වූ සංවර්ධන ව්‍යාපෘතීන් සහ වගා බිම් සඳහා වනාන්තර එළි පෙහෙළි කිරීමේදී අලින්ගේ වාස භූමි සහ ඔවුන්ගේ ක්‍රියා කලාපයන් නිසි ලෙස අධ්‍යයනය කර නොමැති බවත් සහ එම නිසා අලි - මිනිස් ගැටුම තිව්‍ර වී ඇති බවද පර්යේෂකයින්ගේ අදහසයි. එහි ප්‍රතිඵලයක් ලෙස වනාන්තර භූමි ප්‍රදේශ කෘෂිකාර්මික භූමි ප්‍රදේශ බවට පරිවර්තනය වූ අතර එවිට වියළි කලාපීය ප්‍රදේශවල ද වන අලින් සඳහා පැවති වාසභූමි ක්‍රම ක්‍රමයෙන් හීන වන්නට විය.  එම නිසා අවතැන්වන අලි ඇතුන් වාසස්ථාන සහ ආහාර හිඟයත් සමග ගොවිබිම් සහ මානව ජනාවාස විනාශ කරමින් ලාංකීය මානව ප්‍රජාව සමග ගැටෙන්නට විය.

වර්තමානය වන විට විල්පත්තුව අභය භූමිය සහ හබරණ රක්ෂිතය ආශ්‍රිතව සිදුවන අලි හුවමාරුව හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය ආශ්‍රිතව දැඩි ලෙස වන අලි ගැටුම් උත්සන්න වී තිබේ. සියඹලන්ගමුව රක්ෂිත ප්‍රදේශයේ සිටින වන අලින්ගේ සංක්‍රමණ හේතුවෙන් ගල්ගමුව ප්‍ර්‍රදේශ තුළද අලි - මිනිස් ගැටුම දැකගත හැකිය. එමෙන්ම වස්ගමුව ජාතික වනෝද්‍යානය, මින්නේරිය සහ ගිරිතලේ වැනි රක්ෂිත ප්‍රදේශවල සිදුවන අලි සංක්‍රමණ හේතුවෙන් මාතලේ සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලද අලි තර්ජන උත්සන්න වී ඇත. ලාහුගල ජාතික වනෝද්‍යානයේ වෙසෙන අලි ඇතුන් සංක්‍රමණය වීම හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කය ආශ්‍රිතව ද යාල සහ උඩවලව වැනි ජාතික වනෝද්‍යානවල අලි ඇතුන්ගේ සංක්‍රමණ හේතුවෙන් මොණරාගල , සූරිය වැව, තණමල්විල, හම්බන්තොට වැනි ප්‍රදේශ ආශ්‍රිතව ද අලි - මිනිස් ගැටුම නිර්මාණය වී ඇත. මේ අනුව ශ්‍රී ලංකාව පුරාම අලි - මිනිස් ගැටුම වසංගතයක් සේ පැතිරී ඇති ආකාරය හඳුනාගත හැකිය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 2016 දී නිකුත් කරන ලද වාර්තාවේ දැක්වෙන පරිදි 2011 දී සිදු කරන ලද දීප ව්‍යාප්ත අලි සමීක්ෂණයට අනුව මෙරට වන අලි ගහනය 5,849 ක් ලෙස ඇස්තමේන්තු ගතකර ඇත. වර්ග කිලෝමීටර් 65,610 ක භූමි ප්‍රමාණයකින් යුක්ත දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව තුළ ජනගහනය මිලියන 22 ක් පමණ ජීවත් වන අතර ඒත් සමගම මෙවැනි අලි ගහනයක් පවත්වාගෙන යෑම මහත් අභියෝගයක් ලෙස පෙන්වාදිය හැකිය. එම අභියෝගය තව දුරටත් තිව්‍ර වන්නේ අප රටේ වන ගහනය මුළු භූමි ප්‍රමාණයෙන් 29.7% ක් තරම් සීමා සහිත වීමත් සමගය. එමෙන්ම මුළු අලි ගහනයෙන් 95% ක් පමණ වියළි කලාපීය වනාන්තරවලට සීමා වීම ද අලි - මිනිස් ගැටුමට ප්‍රභල සාධකයක් වී ඇත. ස්වාභාවික හේතූන් මත මිය යන අලි සංක්‍යාවට සාපේක්ෂව විශාල අලි සංක්‍යාවක් අලි - මිනිස් ගැටුම හේතුවෙන් වාර්ෂිකව මිය යනු ලබයි. ස්වාභාවිකව හෝ වේවා ගැටුම හේතුවෙන් හෝ වේවා ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව මිය යන අලි සංක්‍යාව 279 ක් තරම් ඉහළ අගයක් ගෙන ඇත. එසේම වන අලින් පහර දීමෙන් වාර්ෂිකව මිය යන මිනිසුන් සංක්‍යාව 88 ක් පමණ වේ. තවද වන අලි පහරදීමෙන් මිනිස් ශාරීරික හානි 70-80 අතර ප්‍රමාණයක් මේ වන විට වාර්ෂිකව වාර්තා වන අතර දේපළ හානි 1,000 කට අධික වේ.

මෙසේ හඳුනාගත හැකි අලි - මිනිස් ගැටුම සඳහා ශ්‍රී ලංකාවේ දීර්ඝ කලක පටන්  යොදාගාන්නා ලද්දේ විදුලි අලි වැට, පැල් රැකීම, වෙඩි දැමීම වැනි සාම්ප්‍රදායික ක්‍රමවේදයන් වන අතර කාලයත් සමග සිදුකරණ ලද පර්යේෂණ මගින්ද යෝජනා කර සිටියේ එතෙක් භාවිත කරණු ලැබූ අලි වැට වෙනුවට එල්ලෙන අලි වැටක් භාවිත කිරීම, දිය අගල් කැපීම, වගා භූමි වටා කටු සහිත ශාක වගා කිරීම, අලි මංකඩ අවහිර නොකිරීම, මී මැසි පාලනය, සංවර්ධන ව්‍යාපෘති වලදී අලින් සඳහා කොරිඩෝස් ඉදි කිරීම ආදී ක්‍රමවේදයන් වන අතර නමුත් මෑත කාලයේදී ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ද සිදුකරණ ලද පර්යේෂණ මඟින් අලි - මිනිස් ගැටුම සඳහා තාක්ෂණික විසඳුම් කිහිපයක් Modern Solution for Human Elephant Conflict යනුවෙන් D.T.S. Wijesekera, M. C. S. T Amarasinghe, P.N. Dassanaike ඇතුළු පිරිස විසින් දක්වන පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් වේ.

එනම් GPS තාක්ෂණය යොදා ගනිමින් අලින් නිරීක්ෂණය කිරීම යෝජනා කර ඇති අතර අලින් නිර්වින්දනය කරමින් ඔවුන් හට GPS කර පටියක් පැළඳ වීම හරහා ඔවුන් පිළිබඳව නිරීක්ෂණය කළ හැකිය. මෙය පෙර අණතුරු ඇඟවීමේ ක්‍රියාවලියක් වශයෙන් ද යොදා ගත හැකි අතර සාම්ප්‍රදායික විදුලි වැට, එල්ලෙන විදුලි වැට සහ ඊට පසුව වර්තමානයේ සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන විදුලි වැටක් ද පර්යේෂකයින් යෝජනා කර සිටී. විශේෂත්වය වන්නේ මෙම වැටෙහි අලින් බිය ගැන්වීම සඳහා අධි ධාරිතාවයකින් යුත් විදුලි පන්දම් සවිකර තිබීමත් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වීමත් ය. එමෙන්ම අලියකු විසින් වැට කැඩුවේද යන්න හඳුනා ගැනීම සඳහා ආරක්ෂණ පද්ධතියට පණිවිඩ නිකුත් වීමද සිදු වේ.

ඊට අමතරව අලින් හඳුනා ගැනීම සඳහා රැහැන් රහිත සංවේදක ජාලයක් පිළිබඳව ද පර්යේෂකයින් යෝජනා කර සිටින අතර  Integrated long range IR beam , Microwave radar sensor detection,  Geophone seismic sensor detection වැනි ක්‍රම මේ සඳහා යෝජනා කර සිටී. එම ක්‍රමවේදයන් පිළිබඳව දළ අවබෝධයක් පහත සඳහා රූප සටහන් මඟින් හඳුනාගත හැකි අතර මෙම ක්‍රම මඟින් මූලික වශයෙන් අලින් හඳුනා ගැනීම, අලින් බිය ගැන්වීම සහ පූර්ව අණතුරු ඇඟවීම අපේක්ෂා කර ඇත.

මේ ආකාරයට පර්යේෂණ මඟින් නව විසඳුම් කිහිපයක් යෝජනා කර සිටින අතර මේවා බොහොමයක් තවදු ක්‍රියාත්මක වී නැත. විශේෂයෙන් මෙම නවීන විසඳුම් ක්‍රියාත්මක කිරීමේදීද පැන නගින ගැටළු කිහිපයක් පිළිබඳව පර්යේෂකයින් දක්වන අතර උදාහරණ ලෙස නවීන විදුලි වැට සඳහා කිලෝමීටරයකට ඇමෙරිකන් ඩොලර් 3,000 ක් පමණ වියදම්වන බැවින් ශ්‍රී ලංකාව වැනි රටකට එය ඉතා විශාල මුදලකි. නමුත් සාම්ප්‍රදායික ක්‍රම සහ නවීන ක්‍රම සමග මුසු වූ ප්‍රවේශයක් මඟින් අලි - මිනිස් ගැටුම සඳහා තිරසාර විසඳුම් සෙවීම කඩනමින් කළ යුතුව ඇත.

Latest