Skip to content

"ඉස්සර මේ ගම්වල වගා නොකරපු දෙයක් නෑ.  ඒත් මේ වෙන කොට හැම කෙනෙක්ම තමන්ගේ වගාවන් අතහැර දාලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ වන අලි කරදරය. දැන් අවුරුදු 10 ක් විතර වෙලාවේ ඉදලා අපි මේ කරදරය විදිනවා. මුලින්ම ගමට ආවේ අලි තුන් දෙනයි. මේ වෙන කොට අලි 70 කට ආසන්න ගානක් ගමේ ඉන්නවා. රාත්‍රී කාලයට නම් කොහොමත් එළියට බහින්න බෑ. අලියා කොතන ඉන්නවාද දන්නේ නැති නිසා. දැන් දැන් අලි දවල් කාලයටත් ගමට එන්න පටන් අරගෙන. මේ වෙන කොට අපේ ගමේ මිනිස්සු 07 දෙනෙකුව අලි ගහලා මරලා දාලා තියනවා....." මේ දුක් ගැනවිල්ල අපි සමග කියා සිටියේ ආණමඩුව - මහකුඹුක්කඩවල ප්‍රදේශයේ ජීවත් වන ජනතාවයි. නිරන්තර ගම් වදින වන අලින් නිසා ඔවුන් ජීවිතයත් මරණයත් අතර සිටින බවක් පෙනෙන්ට ඇත.

මහකුඹුක්කඩවල ප්‍රදේශයේ ජීවත් වෙන්නේ බහුතරයක් ගොවීන්. ඔවුන් විවිධ වගාවන් කරනවා. ඇතම්මු ගොඩ බෝග වගා කරන විට තවත් පිරිසක් කුඹුරු අස්වද්දනවා. ගොඩ බෝග සහ කුඹුරු අස්වද්දන පිරිසක්ද ඒ අතර වෙයි.

මේ සියළුම දෙනා එක හා සමානව වර්තමානයේදී වන අලි තර්ජණයට මුහුණ දී සිටී.

පසුගිය 16 වෙනිදා පෙරවරු 9.00 ට පමණ මහකුඹුක්කඩවල - පුනවිටිය ගමට කඩා වැදුණු වන අලියෙක් නිවසකට පහර දී අලාභ හානි සිදු කර තිබුණි. මුලින්ම නිවසේ එක් බිත්තියක් කඩා දමා ඇති වන අලියා පසුව තවත් කාමරයකට පහර දී එයද කඩා දමා ඇත. එතනින් නොනැවතී ඇති වන අලියා මුළුතැන් ගෙයි වහළයද කඩා දමා ඇති ආකාරයක් දක්නට ඇත. නිවසට පහර දී හානි කළ වන අලියා පසුව නිවස තුළ තිබූ "වී" මළු කීපයක් රැගෙන ගොස් ඇත. මේ නිවසේ පදිංචිව සිටින්නේ උපතින්ම කථන ආබාධයක් සහිත අඹු - සැමි යුවලක්ය. සිද්ධිය වන වේලාවේ ඔවුන් මහකුඹුක්කඩවලට ගොස් සිට ඇත. ඒ අස්වැසුම ප්‍රතිලාභී කටයුත්තක් සදහාය.

"මේ ගෙදර ඉන්නේ මගේ බිරිදගේ සහෝදරයා සහ එයාගේ බිරිද. ඒ දෙන්නාටම කථා කරන්න බෑ. මල්ලිලාගේ ගේ පැත්තෙන් ආපු ශබ්දය මොකක්ද කියලා බලන්නයි මම ආවේ. මම එනකොට අලියා ගේ ඇතුළට ඔළුව දාගෙන මොනවා හරි හොයනවා. මෙච්චර කාලයකට අලියෙක්ව ළගටම දැක්කේ එදා තමයි. මම දුවලා ගිහිං ගේ ළග තියන අඹ ගහකට නැග්ගා. පස්සේ ගමේ තවත් කීප දෙනෙක් ආවට පස්සේ අපි අලියාව එලවලා දැම්මා. ගේ ඇතුලේ තිබුණු වී මල්ලක් අරගෙන තමයි අලියා ගියේ....." සිද්ධියට මුහුණ දුන් අජිත් ප්‍රසන්න මහතා අප සමග කියා සිටියේය.

පුනවිටිය ගමේ පදිංචිකරුවෙකු වන ආර්.එච්.එම්.ටිකිරි බණ්ඩා මහතාද අපට හමු විය. හෙතෙම මෙසේ කියා සිටියේය.

"දැනට අවුරුදු 10 කට විතර කලින් අලි තුන් දෙනෙක් මේ පැත්තට ආවා. වල්පාළුව රක්ෂිතයේ තමයි මේ වන අලින් නැවතුනේ. අපි ඒ වෙලාවේ වගකිව යුතු අයට කිව්වා මේ අලි ටික එලවලා දෙන්න කියලා. ඒත් වැඩක් වුනේ නෑ. මේ වෙන කොට අලි 70 ක් විතර ඉන්නවා. එදා අපි කියපු වෙලාවේ අලි ටික එලවලා දුන්නා නම් මේ හානිය අද වෙන්නේ නෑ. මේ වෙන කොට අපේ පැත්තේ කිසිම කෙනෙක් වගා කටයුතු කරන්නේ නෑ. මොකද අලින්ගෙන් බේරා ගන්න බැරි නිසා. කුඹුරු අස්වද්දන්න බෑ ඇවිත් කාලා විනාශ කරලා යනවා. පොල්, කෙසෙල් වගා කරන්න බෑ ඇවිත් කාලා දානවා. මහකුඹුක්කඩවල හිටපු අලි ටික දැන් දැන් ආරච්චිකට්ටුව, පල්ලම කියන පැති වලටත් යන්න පටන් අරගෙන තියනවා. පසුගිය දවසක ආරච්චිකට්ටුව - අඩිප්පල තියන වත්තක පොල් ගස් 100 කට වැඩි ප්‍රමාණයක් අලි පැනලා කඩලා කියලා ආරංචි වුණා.

පසුගිය කාලයේ මේ අලින්ව එළවන්න කටයුතු කලා. දවස් දෙකක් තුනක් විතර අලි එලවන වැඩේ කලා. එච්චරයි. එලෙව්වා කියන අලි ආපහු ගමට ආවා. අලි එළවන්න ආපු අය ආපහු යන්න ගියා. මේ වෙන කොට අපේ පැත්තේ 07 දෙනෙකුව අලි ගහලා මරළා දාලා තියනවා. හෙට අනිද්දා වෙන කොට අපිවත් මරලා දායිද දන්නේ නෑ. පසුගිය කාලයේ නම් අලියා කැලෑවේ ඉදලා එළියට ආවේ රාත්‍රී කාලයේ විතරයි. ඒත් දැන් දවල්ටත් ඇවිත් හානි කරලා යනවා. දරුවෙකුට පාසලකට යන්න විධීයක් නෑ. පාන්දර ජාමේ රැකියාවකට යන්න බෑ. මොකද අලියා කොතන ඉන්නවාද දන්නේ නැති නිසා. මේ කරදරය කවදා ඉවර වෙයිද කියලා අපිට නම් හිතා ගන්න බෑ....." හෙතෙම කියා සිටියේය.

ඩබ්ලිව්.එම්.ජයරත්න මහතා කාලයක් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ අයෙකි. මේ වන විට විශ්‍රාම ලබා සිටින ඔහු ගොවිතැන් කටයුතු තම ජීවිකාව කරගෙන ඇත.

"මගේ කෙසෙල් වගාව සම්පූර්ණයෙන්ම ඉවරයි. ඔක්කොම ටික අලි කාලා දැම්මා. ඒ විතරක් නෙමෙයි පොල් ගස් ඔක්කොම අලි ඇවිත් කඩලා දාලා විනාශ කරලා තියෙන්නේ. පොල්, කෙසෙල් විතරක් නෙමෙයි තේක්ක ගස් වලටත් අලි දැන්  හානි කරන්න පටන් අරගෙන තියනවා. අලි කරන මේ විනාශයට මොකක් හරි ස්ථීර විසදුමක් දෙන්න කියන එකයි අපි කියන්නේ. ගමට එන අලියෙක් එලවලා දාන්න වෙඩිල්ලක් වත් අපිට හම්භ වෙන්නේ නෑ. ඒකත් අපිම හොයා ගන්න ඕනේ. හෙට අනිද්දා වෙන කොට අපිට වෙන්නේ අලින්ට ගම බාර දීලා දරු පැටව් එක්ක වෙන පළාතකට යන්න වෙන එකයි."

මේ ආකාරයට අපට හමුවූ සෑම දෙනෙකුම කියා සිටියේ වසර 10 කට වැඩි කාලයක් තිස්සේ වන අලින් නිසා තමන් මුහුණ දී තිබෙන තත්ත්වයයි.

මහකුඹුක්කඩවල සහ අවට ගම් වලට කඩා වදින වන අලින් පලවා හැරීමේ වැඩ සටහනක් මීට වසර 05 කට පමණ පෙර ක්‍රියාත්මක වූ බවක් අපේ මතකයේ ඇත. මේ අලි පලවා හැරීමේ කටයුත්ත දේශපාලකයින් කීප දෙනෙකු තමන්ගේ වාසියට හරවා ගෙන සිටි බවක්ද මතකයේ ඇත. නමුත් ඒ අලි එළවීම ලත් තැනම ලොප් වී ගොස් ඇත. මන්ද අලි එළවා දැමීම සදහා ක්‍රමවත් වැඩ පිළිවෙළක් වෙනුවට ඔවුන් සතුව තිබුනේ දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණක් පමණක් වූ නිසාය.

කොහොම හරි ඒ වැඩෙන් දේශපාලකයින් ගොඩ ගියේය. අලි තාමත් ගමේය. ගම්මු උදේ හවස සුසුම්ලමින් ජීවත් වන්නේ මරණ සහතිකයද අතේ තබාගෙනය.

Latest