Skip to content

එල් සැල්වදෝරයේ පාපන්දු ක්‍රීඩාංගනයක ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්‍ෂයට​.

ඇලන්සා රසිකයින් විසින් තෙරපුමේ සජීවී ඡායාරූප සම්ප්‍රේෂණය කළේය. (මූලාශ්‍රය: 1News)


එල් සැල්වදෝරයේ අගනුවර වන සැන් සැල්වදෝරයේ පාපන්දු ක්‍රීඩාංගනයක ඇති වූ තෙරපීමක් හේතුවෙන් පුද්ගලයන් 9 දෙනෙකු මිය ගොස් ඇති බව එරට​ බලධාරීහු පවසති. මියගිය අය අතර පිරිමි පුද්ගලයන් හත් දෙනකු සහ කාන්තාවන් දෙදෙනකු වන අතර මියගිය සියලු දෙනාම වයස අවුරුදු 18 ට වැඩි බව පොලිසිය පවසයි. දේශීය කණ්ඩායම වන Alianza සහ FAS කණ්ඩායම අතර පැවති තරඟයක් අතරතුර මෙම තත්වය​ ඇති වී ඇති අතර පසුව තරඟය නවතා දමන ලදි.

ගේට්ටු වසා දැමීමෙන් පසු රසිකයින් විශාල පිරිසක් එම ස්ථානයට ඇතුළු වීමට උත්සාහ කිරීමෙන් පසුව මෙම ව්‍යවසනය සිදුව ඇති බව වාර්තා වේ. ඇතැම් රසිකයින් ව්‍යාජ ප්‍රවේශපත්‍ර අලෙවි කර ඇති බවට නිලධාරීන් විශ්වාස කරන අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බවද සදහන්. ප්‍රාදේශීය මාධ්‍ය විසින් බෙදා හරින ලද දර්ශන වල සදහන්ව ඇත්තේ ක්‍රීඩාංගනයේ පිවිසුමේ ඇති බාධක කඩා දැමීමට ක්‍රීඩා ලෝලීන් උත්සාහ කරන ආකාරයයි.

එල් සැල්වදෝරයේ සිවිල් ආරක්‍ෂක අංශයේ Luis Alonso Amaya පවසා ඇත්තේ පුද්ගලයන් 500 කට පමණ වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති අතර බොහෝ දෙනෙක් රෝහල් ගත කර ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍ය Francisco Alabi පැවසුවේ තුවාල ලැබූවන්ගෙන් වැඩි දෙනෙකුගේ තත්ත්වය ස්ථාවර බවත් රෝහල්වලින් මරණ කිසිවක් වාර්තා වී නොමැති බවත්ය. සැල්වදෝර්හි පාපන්දු සම්මේලනය ප්‍රකාශ කර සිටින්නේ ඉරිදා දින පැවැත්වීමට නියමිතව තිබූ සියලුම ජාතික මට්ටමේ පාපන්දු තරඟ අත්හිටුවන බවයි. සිදු වූ දේ පිලිබදව කණගාටු වන අතරම​ විපතට පත් වූවන්ගේ පවුල්වලට සහය පළ කරන බව ද වැඩිදුරටත් සඳහන් විය.

ක්‍රීඩාංගනයේ වැතිර සිටින තුවාල ලැබූ රසිකයෙකු වෙත ප්‍රථමාධාර ලබා දෙන අයුරු.

Latest