Skip to content

ලෝකයේ දේශගුණ වෙනස්වීම් සඳහා බලපාන ස්වාභාවික හේතු සාධක ගත් විට සූර්ය ලප, යමහල් විදාරණය සහ ලැව් ගිණි යන ප්‍රධාන හේතු සාධක හැරුණුවිට අනෙකුත් හේතු සාධක ද්විත්වය වන්නේ එල් නිනෝ සහ ලා නිනාය. මෙම වචන දෙක ගත්විට සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ පොදු සමාජයට වඩාත් හුරු පුරුදු වචන දෙකක් වශයෙන් හඳුනාගත නොහැකි නමුත් භූගෝල විද්‍යඥයින්, දේශගුණ විද්‍යඥයින් සහ කාළගුණ විද්‍යඥයින් නිතර නිතර අවධානයෙන් පසුවන වචන දෙකක් වශයෙන් එල් නිනෝ සහ ලා නිනා හැඳින්විය හැකිය.

සාගරයේ ඇතිවන එල් නිනෝ සහ ලා නිනා යන මෙම සිදුවීම් දෙක ගත්විට එය වසර ගණනකට මහද්වීප ගණනාවක කාළගුණය මෙන්ම දේශගුණයද වෙනස් කිරීමට තරම් බලයක් ඇති සංසිද්ධි දෙකක් වශයෙන් හඳුනාගත හැකිය. ලෝකයේ දේශගුණය තීරණය වීමේදී සාගර සහ ගොඩබිම්වල ව්‍යාප්තිය විශේෂයෙන් බලපාන බැවින් සහ මෙම එල් නිනෝ සහ ලා නිනා සාගරයේ ඇතිවන බැවින් දේශගුණය වෙනස්වීම සඳහා මේවා ප්‍රභල බලපෑමක් සිදු කරයි. එල් නිනෝ ( El - Nino ) වශයෙන් සරලව හැඳින්වෙන්නේ ෆැසිපික් සාගරය මතුපිට සෑම වසර 3-5 කට වරක් විශාල උණුසුම් ජල මතු පිටක් නිර්මාණය වී වසරක් හෝ ඊට වැඩි කාලයක් පුරා එම තත්වය පැවතීමය.

සාමාන්‍යයෙන් El - Nino තත්වයකදී පේරු සහ ඉක්වදෝර රාජ්‍ය අවට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා වායු පීඩනයේ සහ සුළං සංසරණ රටාවේ ඇතිවන වෙනස්කම් El - Nino හට ගැනීමට හේතුවන අතර මෙය සාමාන්‍යයෙන් නත්තල් සමයේ සිදුවන ක්‍රියාවලියක් බැවින් ක්‍රිස්තු දරුවා යන නමින් ද හඳුන්වයි. එල් නිනෝවකදී සිදුවන්නේ පෘථිවියේ අන්තගාමී කාළගුණ තත්වයක් ඇති වී පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යෑමය. ගෝලීය සුළං සංසරණ රටාව ගත්විට සාමාන්‍යයෙන් සුළං හමන්නේ වැඩි පීඩනයේ සිට අඩු පීඩනය දක්වා වන අතර සුළං සෑම විටම හමා යන්නේ කිසියම් තැනක අඩුවක් පිරවීමටය. El - Nino තත්වයකදී ෆැසිපික් සාගරයේ මතුපිට අධික උෂ්ණත්වයක් ඇතිවීම නිසා එහි අඩු පීඩනයක් හටගන්නා අතර ( අධික උෂ්ණත්වය හේතුවෙන් වාතය රත් වී ඉහළ නගන බැවින් එහි ඇති වන්නේ අඩු පීඩනයකි ) එම අඩුව පිරවීමට වැඩි පීඩන කේන්ද්‍රවල සිට සුළං හැමීම සිදු වේ.

බොහෝ විට මෙම El - Nino ක්‍රියාවලියේ බලපෑම නිසා අවට ගොඩබිම්වල ඇති ජල වාෂ්ප අඩු පිඩනය වෙත ඇදී යෑම සිදුවන අතර මේ නිසා ප්‍රධාන වශයෙන් ඉක්වදෝරය සහ පීරු රාජ්‍ය අවට මහ වැසි ඇති වීමටත් ලෝකයේ කලාපීය වශයෙන් අනෙකුත් රටවලටත් නියං තත්ව ඇතිවීමට සහ ලැව්ගිණි ඇතිවීමට විශාල අවස්ථාවක් ඇත. El - Nino හේතුවෙන් ග්‍රාහීය සුළං සංසරණ රටාවේ වෙනස්වීම් හට ගනී. ගොඩබිම්වල වාෂ්පීකරණය අධික වේ. ලෝකයේ එක් ප්‍රදේශයකට නියඟයක් ද තවත් ප්‍රදේශයකට අධික වර්ෂාපතනයක් ද ක්‍රියාත්මක වන අතර ජලය ප්‍රසාරණය වීම නිසා සාගර තරංගවල වේගය අධික වේ. එම නිසාම වෙරළ කාදනය ද අධික වන අතර ග්ලැසියර් කලාප දියවීමට ලක් වේ. එමෙන්ම ගොඩබිම් තුළ ලැව්ගිණි සඳහා අවශ්‍ය පරිසරය සෑදීම ද මෙම El - Nino ක්‍රියාවලිය මඟින් සිදු කරයි.

ලෝකයේ මෑත කාලීනව සිදු වූ El - Nino සංසිද්ධි පිළිබඳව සළකා බලන්නේ නම් 2006 සැප්තැම්බර් මස ආරම්භ වූ මෙම සංසිද්ධිය 2007 දක්වා ක්‍රියාත්මක වී ඇත. 2009 ජනවාරි මස සහ පෙබරවාරි මස උච්ඡතම අවස්ථාවට පත් වූ El - Nino ව ජූනි මසදී වඩාත් බලවත් වී 2010 මැයි මස දක්වා ක්‍රියාත්මක වී ඇත. එල් නිනෝව පිළිබඳව ඉතා පුළුල් ලෙස අධ්‍යයනය කර ඇති විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ නැගෙනහිර ෆැසිපික් සාගරයේ සිදුවන මෙම විශාල උණුසුම් වීම දුරස්ථව පිහිටි මහද්වීපිවල කාළගුණයේද පුළුල් වෙනස්කම් ඇති කිරීමට බලපාන බවය. එම නිසා වසර අග එළඹීමට නියමිත මෙම තත්වය පිළිබඳව රටක් වශයෙන් අපද අවධානයට ලක් කළ යුතුව ඇත.

ලෝක කාළගුණ විද්‍යා සංගමය සිය නවතම යාවත්කාලීන කිරීම් අනුව පවසන්නේ මෙම වසර අග භාගයේදී El - Nino තත්වයක් ඇතිවිය හැකි බවය. මෙම වසරේ මැයි සිට ජූලි මස දක්වා El - Nino ව 60% ක් දක්වා වර්ධනය වන බවත් ජූනි සහ අගෝස්තු මාසයන් වලදී 70 % ක් දක්වා සහ සැප්තැම්බර් මස වන විට මෙම තත්වය 80 % දක්වා වර්ධනය විය හැකි බව ලෝක කාළගුණ විද්‍යා සංගමය පුරෝකතනය කර ඇත.

එම නිසා ශ්‍රී ලංකාව වශයෙන් අප මේ සම්බන්ධව අවධානය යොමුකළ යුත්තේ කලාපීය වශයෙන් අපට ද එහි බලපෑමට නතු වීමට සිදුවන නිසාවෙනි. විශේෂයෙන් 1982-1983 වර්ෂවලදී රටෙහි ඇති වූ දැඩි නියං තත්වයට ද බලපා ඇත්තේ නැගෙනහිර පැසිෆික් සාගරයේ ඇති වූ මෙම එල් නිනෝ තත්වයක් වන අතර එම නිසා රටෙහි දිස්ත්‍රික්ක බොහොමයක් උග්‍ර ජල හිඟයකට ද මුහුණ පා ඇත. 2009 - 2010 කාලයේදී ඇති වූ එල් නිනෝ තත්වය හේතුවෙන් 2012 අග භාගය දක්වා ශ්‍රී ලංකාවට බලපෑම් ඇති වී ඇති අතර  එමෙන්ම 2016 වර්ෂයේ දිස්ත්‍රික්ක කිහිපයකට ඇති වූ නියං තත්වයකට ද විශේෂයෙන් බලපා ඇත්තේ මෙම එල්නිනෝ තත්වයක් ය.

එල් නිනෝ සංසිද්ධිය ඇතිවන කාලය ගත් විට එය ශ්‍රී ලංකාවට ඊසානදිග මෝසම සාක්‍රීයවන කාලයයි. ඉහත රූපයේ දැක්වෙන ආකාරයට එල් නිනෝ තත්වයකදී පේරු සහ ඉක්වදෝර රාජ්‍ය අවට අධික උණුසුම හේතුවෙන් අඩු පීඩයනයක් හට ගන්නා බැවින් එම අඩුව පිරවීමට අනෙකුත් මහද්වීපවල සිට සුළං හමා යන බැවින් එම කාල වකවානුව තුළදී ශ්‍රී ලංකාවට හැමීමට නියමිත ඊසානදිග සුළංවලට ද යම්කිසි බලපෑමක් ඇති වේ. එය රටේ දිස්ත්‍රික්ක කිහිපයක වර්ෂාපතනයට ද බලපෑම් සිදුකරන බැවින් විශේෂයෙන් ඊසානදිග මෝසමෙන් පෝෂණය වන්නාවූ දිස්ත්‍රික්කවල කෘෂිකර්මාන්තයට, පානීය ජල අවශ්‍යතාවයට සහ ජල විදුලි බලය කෙරෙහි බලපෑම් ඇති කළ හැකිය.

කෙසේ නමුත් සෑම එල් නිනෝ තත්වයකින්ම දැඩි බලපෑම් ඇතිවන බව ඉඳුරාම ප්‍රකාශ කළ නොහැකි නමුත් මෙවැනි තත්වයක් වර්ෂ අවසානයේදී අපට අපේක්ෂ කළ හැකිය. එපමණක් නොව ඒ සඳහා තවත් මාස කිහිපයක් ද ඉතිරිව පවතී. එබැවින් රටක් වශයෙන් පෙර සූදානමකට යෑම සඳහා අපට ප්‍රමාණවත් කාලයක් පවතින අතර එවැනි තත්වයකට මුහුණදීම සඳහා නිසි වැඩපිළිවෙළක් පෙර සිටම සකස් කරන්නේ නම් එවැනි තත්වයකදී ආපදා කළමණාකරණය වඩාත් පහසු වනු ඇත.

Latest