"එක්ස්ප්‍රස් පර්ල්" නෞකා විනාශය සහ ඒ සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීම සදහා මේ වන තෙක් ගෙන ඇති ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවදානය යොමු වී ඇත. එම කාරක සභාවේ සභාපති පාර්ලිම්න්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම සභාව රැස්වී ඇත.
එක්ස්ප්‍රස් පර්ල් නෞකා විනාශය සහ ඒ සම්බන්ධ ව වන්දි ලබා ගැනීම සඳහා වු ක්‍රියාමාර්ගවල වර්තමාන ප්‍රගතිය සම්බන්ධයෙන් කාරක සභාව විසින් මෙහිදී විමසන ලදී. අධිකරණ අමාත්‍යවරයා සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඒකාබද්ධ ව ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අනුව සිංගප්පුරුවේ නැව් හිමිකරුවන්ගේ නීති නියෝජිතයින් සහ රක්ෂණ නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීම සඳහා මෙරට නියෝජිත කණ්ඩාමක් නම් කරන ලද බවත් කාරක සභා අවස්ථාවට සහභාගි වී සිටි නිලධාරීහු පැවසූහ. නීතිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් එම කණ්ඩායමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන් දෙදෙනෙක්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්, ‘මීපා’ ආයතනයේ (සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ) සභාපති, වෙරළ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති අතිරේක ලේකම්වරයෙක්, ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ද ඇතුළුව අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කරන ලද අතර ඔවුහු ජුලි මාසයේ 18-19 දින දෙක සිංගප්පුරුවේදී රැස් වී ඉදිරිපත් කරන වන්දි මුදල සම්පිණ්ඩනය කර ඇති ආකාරය පිළිබඳව සාකච්ඡා කරන ලදී.
දැනට අතුරු හිමිකම් ඉල්ලීම් 13ක් ඉදිරිපත් කර තිබුණ ද එයින් 04කට පමණක් මුදල් ලැබී ඇති නිසා ඉතිරි අතුරු ඉල්ලීම් සඳහා මුදල් ලබාගන්නා ආකාරය සාකච්ඡා කරන ලද බවත් ඉදිරිපත් කරන ලද අතුරු හිමිකම් ඉල්ලීම් අංක 5, 6, 7, 8 සඳහා ඉතාම කෙටි කාලයකින් වියදම් ගෙවීමට ද ඊට අමතරව 13 දක්වා වන අතුරු ඉල්ලීම් සඳහා වන ගෙවීම් ලබාදීමට ද මෙම සාකච්ඡාවලදී එකඟතාවයකට එළඹෙන ලදී. සිංගප්පුරු අධිකරණයේ පනවා ඇති නඩු සදහා බාධාවක් නොවන පරිදි මෙම සාකච්ඡා පවත්වා අවසානයේදී ඒකාබද්ධ නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට ද මෙහිදී තීරණය කර ඇත.
සිංගප්පුරුවේ නඩුව පැවරීමේ කටයුතු නීතිපති දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන බැවින් මෙම කාරක සභාවට නීතිපති දෙපාර්තමේන්තුවට සහභාගී වන ලෙස දැනුම් දී තිබුණි. දැනට මෙම නඩු කටයුත්ත විභාග වෙමින් පැවතීම හේතුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කාරක සභාවට සහභාගී වී ඒ සඳහා අදහස් දැක්වීමට නොහැකි බව දන්වා තිබුණි. එබැවින් නඩුවේ වර්තමාන තත්ත්වය පිළිබඳ තොරතුරු කාරක සභාව හමුවේ ප්‍රකාශ නොවීය.
මීපා ආයතනය විසින් පත්කර තිබු එක්ස්ප්‍රස් පර්ල් නෞකා විනාශය සම්බන්ධව වන්දි තක්සේරු කිරීමේ පරිසර ඇගයීම් කමිටු සාමාජිකයින්ට මේ වර්ෂය සඳහා පත්වීම් ලිපි ලබා නොදීම සහ ඔවුන් සිදු කරන ලද පරිසර ඇගයීම් කටයුතු වෙනුවෙන් වසර 2ක් ගත වුවද, මෙතෙක් නිසි පරිදි ගෙවීමක් සිදු නොකිරීම සම්බන්ධයෙන් ද කාරක සභාව සිය අවධානය යොමු කරන ලදී. මෙහිදී මීපා ආයතනය පවසා සිටියේ මීට පෙර මේ ආකාරයේ පරිසර ඇගයීමක් සිදු කර නොතිබු බැවින් එවැනි පුර්වාදර්ශයකින් තොරව ගෙවීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යම් කාලයක් ගත වු බවත් දැනට අදාල ගෙවීම් සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බැවින් ඉදිරියේදී කොටස් වශයෙන් ගෙවීම් කටයුතු කළ හැකි බවත්ය.
එසේම ආංශික අධීක්ෂණ කාරක සභා විසින් පාර්ලිමේන්තුව වෙත 2023 ජුලි මස 21 වන දින ඉදිරිපත් කරන ලද “එම්.වී.එක්ස්ප්‍රස් පර්ල් අනතුර සහ වන්දි ලබා ගැනීම” සම්බන්ධයෙන් වන කාරක සභා වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන්ද කාරක සභාව සිය අවධානය යොමු කරන ලද අතර එම නිර්දේශ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය ඔක්තෝබර් මස පළමුවන සතියේ කැඳවීමට නියමිත ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමට ඉදිරිපත් කරන ලෙස නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම්ට සහ මීපා ආයතනයේ සභාපතිට උපදෙස් දෙන ලදී.
කාරක සභා සාමාජිකයන් වන වරුණ ලියනගේ, අකිල එල්ලාවල, තිලක් රාජපක්ෂ සහ නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සහභාගිවී සිටියේය.
