Skip to content

එක් අතකට ගෝඨාභය හිටියනම් හොඳයි කියලත් ගොවියො කියනවා

ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යනු විශේෂයෙන් එළවළු වගාව ප්‍රධාන ජීවනෝපාය කරගත් බහුතර ගොවි ජනතාවක් වෙසෙන ප්‍රදේශීය ලේකම් කොඨාශයක් වන අතර විශේෂයෙන් මේ දිනවල මහ කන්නයේ එළවලු අස්වැන්න ලැබෙමින් පවතී. එහිදී වම් බටු, අල , බෝංචි , අමු මිරිස් සහ ගෝවා ආදී සියලු එළවළු අස්වැන්න විශේෂයෙන් කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය තුළ මේ වනවිට කාට හෝ, කීයකට හෝ අලෙවි වීම සඳහා දැඩි තරඟයක නිරතවෙමින් සිටී.

මෙවැනි පසුබිමක් තුළ ප්‍රදේශයේ සමහර ගොවි මහත්වරුන්ගේ අදහස වන්නේ එක් අතකින් ගෝඨාභය සිටියානම් හොඳය යන වගය. එයට හේතු වශයෙන් ඔවුන් දක්වන්නේ මෙවන් අදහසකි.

රසායනික පොහොර තහනම් කිරීම සහ පැවති ඉන්ධන හිඟයත් සමඟ කෙසේ හෝ වගා කරගන්නා ලද සිය එළවළු අස්වැන්න සඳහා ඉතා හොඳ මිළක් පැවති බවත් මේ වන විට සිය එළවළු අස්වැන්න සමහර දිනයන්හී විකුණාගත නොහැකි තත්වයට ද පත්ව ඇති බවය. වර්තමානයේ රසායනික පොහොර යෙදවුමක් ලෙස වගාවට යෙදීම ගැටළුවක් නොමැති අතර සැලකියයුතු යුතු ප්‍රමාණයකින් පොහොර මිළ ගණන්ද පහත ගොස් ඇත. නමුත් වගාව සඳහා පොහොර පමණක්ම යොදන්නේ නම් පවතින මිළ ගොවියන්ට කිසිසේත්ම ගැටළුවක් නොවන බව ගොවියන්ගේ අදහස වන අතර රසායනික පොහොර මිළ ගණන් පහත ගියද බීජ වර්ග, කුලීකරුවන්ගේ දෛනික වැටුප, ප්‍රවාහන ගාස්තුව, කෘමි නාශක, වල් නාශක, වගාව සඳහා යොදන විටමින් වර්ග, ආදී වෙනත් යෙදවුම්වල මිළ ගණන් තවදු සැලකියයුතු ලෙස පහත ගොස් නොමැති බැවින් පවතින මිළ ගණන් යටතේ එළවළු අලෙවි කිරීම ගොවියන් හට විශාල පාඩුවක් බව ගොවියන්ගේ අදහසය.

මේවන විට ගෝවා අලෙවිකරගත නොහැකි තත්වයකට පත්ව ඇති අතර සාමාන්‍යයෙන් 2023/ 04/ 08 . 09. 10 යන දිනයන් තුළදී කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ගෝවා කිලෝවක මිළ රුපියල් 35 ක් පමණ වී ඇත. මෙම මිලට ද අලෙවිකර ගැනීම සඳහා ගොවියන්ට ඉතා වෙහෙසක් දැරීමට සිදුව ඇති අතර බෝංචි අලෙවියේද විශාල විෂමතාවන් පෙන්නුම් කර ඇත. රුපියල් 70 සිට රුපියල් 200 දක්වා දින දෙකක පමණක් කාල පරාසයක බෝංචි කිලෝවක මිළ ගණන් වෙනස්වීම හේතුකොටගෙන සාධාරණ මිළකට අලෙවිකරගැනීමේදී ගොවියන් විශාල ගැටළුවකට පත්ව වී ඇත.

මෙලෙස වගාවන් සඳහා යොදන පිරිවැය ස්ථාවර මට්ටමක තිබියදී පෙරලා ලැබෙන ලාභය අවම වීම සහ එම අවමවීම  තුළත් විෂමතාවන් පෙන්වීම හේතුකොටගෙන ගොවියන් දැඩි අසීරු තත්වයකට පත්ව ඇත. නව අවුරුදු සමයේ  දින දෙක තුන තුළ එළවළු මිළ ගණන් ඉහළ ගියද අවුරුදු සමය නිමාවීමත් සමග එළවළු මිළ ගණන් නැවත පහළ යනු ඇතැයි ගොවියන්ගේ අපේක්ෂාවයි.

චම්පික ලක්ෂ්මන් - ඌවපරණගම සිට

Latest