Skip to content

දුම්රිය හරස් මාර්ගයක් ඉල්ලා මදවයිත්තිකුලම ජනතාව විරෝධතාවයක.

ප්‍රතිසංස්කරණය කරන වවුනියාව අනුරාධපුර දුම්රිය මාර්ගය හරහා සිය ගම්මානය වෙත ගමන් කිරීමට දුම්රිය හරස් මාර්ගයක් ලබාදෙන ලෙසට ඉල්ලා වවුනියාව මදවයිත්තිකුලම ජනතාව ඊයේ(14) විරෝධතාවයක නිරතවිණ.

විරෝධතාවයට එක්වූවන් පැවසූවේ වසර ගණනාවක් සිට තම ගම්මාන වෙත ගමන් කිරීමට දුමිරිය හරස් මාර්ගයක් තිබු බවත්, වර්තමාන දුම්රිය මාර්ග සංවර්ධනය හරහා අදාළ දුම්රිය හරස් මාර්ගය වසා දමා ඇති බවයි.

සිය ගම්මාන වෙත ගමන් කිරීමට පැරණි දුමිරිය හරස් මාර්ගය පැවති ස්ථානයෙන් දුම්රිය හරස් මාර්ගයක් නොලැබුණහොත් ගම්වාසීන්ට කිලෝමීටර තුනක පමණ දුරක් ගෙවා විකල්ප මාර්ග හරහා යාපනය නුවර ප්‍රධාන මාර්ගයට ගමන් කිරීමට සිදුවන බැව් විරෝධතාකරුවන් පැවසූහ.

එලෙස සිදුවුවහොත් ගම්වාසීන්ට මහත් අපහසුතාවයට පත්වන බවත්, පැරණි දුම්රිය හරස් මාර්ගය පැවති ස්ථානයෙන් නව දුමිරිය හරස් මාර්ගයක් ලබාදුනහොත් තමන්ට පහසුවෙන් යාපනය නුවර ප්‍රධාන මාර්ගය වෙත ගමන් කිරීමට හැකියාවල් ලැබෙන බවද ගම්වාසීන් පවසති.

එහෙත් දුමිරිය මාර්ග ප්‍රතිසංස්කරණ නිළධාරීන් පැවසූවේ නව දුම්රිය මාර්ග සංවර්ධන සැළසුම අනුව මදවයිත්තිකුලම ගම්මානයට ගමන් කිරීමට දුම්රිය හරස් මාර්ගයක් සැළසුම් කොට නොමැති බවයි.

එබැවින් නව දුම්රිය හරස් මාර්ගයක් ගම්මානය වෙත ලබාදීමට හැකිවක් නොමැති බවද දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ නිළධාරීන් පැවසූහ.

ගම්වාසීන් පැවසූවේ තමන්ට පහසුවෙන් වවුනියාව වෙත පිවිසීමට වන දුමිරිය හරස් මාර්ගයක් ලබාදෙන ලෙසයි.

ගම්වාසීන් ප්‍රතිසංස්කරණය කරන දුමිරිය හරස් මාර්ගයේ වාඩි වි විරෝධතාවයට එක්ව සිටියහ.

විරෝධතාවය වෙනුවෙන් ප්‍රදේශයේ ආගමික නායකයින්ද එක්ව සිටියහ.

Latest