Skip to content

සිහින විශ්ලේෂණය ( Dream Analysis )

සිහින නැතිනම් හීන යනු කිසිදු වයස් භේදයකින්, කුල භේදයකින්, ජාති භේදයකින් සහ ආගම් භේදයකින් තොරව සියලුම මනුෂ්‍ය ජීවීන් හට පොදු වූ අපූර්ව දෙයකි. ලාංකීය සමාජයේ නම් සිහින ආශ්‍රයෙන් ගොඩැගුණු විවිධ මතිමතාන්තර දක්නට ලැබෙන අතර ඉන් කිහිපයක් නම් අප බොහෝවිට ඉටු කර ගැනීමට අපහසු යැයි සිතන බලාපොරොත්තු සඳහා සිහින යන නම ලබා දේ. " ඒවා ඉතිං හීන තමයි " යනුවෙන් බොහෝ විට පවසන්නේ එසේ ඉටුකරගැනීමට අපහසු යැයි සිතන බලාපොරොත්තු වෙනුවෙනි.

එමෙන්ම කවදා හෝ ඉටු නොවන බලාපොරොත්තු සඳහා දවල් සිහින යන නම ලබා දේ. දිවා කාලය තුළ දකින කිසිදු සිහිනයක් කිසිදා සැබෑ නොවන බව ලාංකිකයන් වන අපගේ විශ්වාසයයි. එපමණක් නොව ඉතා දිගු කාලයක් බලාපොරොත්තුවෙන් සිටි විශේෂ යමක් සාක්ෂරාත් කර ගැනීමට හැකි වූ විට ද " හීනයක් හැබෑ වුනා වගේ " යැයි පවසයි. ඉන් නොනැවතී අප ඉතාමත් ප්‍රිය ඕනෑම යමක් සිහිනෙන් හෝ පෙනේවා යැයි ප්‍රාර්ථනා කරති. ගැඹුරු සිතෙහි තැන්පත් වී ඇති දේ සිහිනෙන් පෙනෙන බවට විශ්වාස කරති. සිහින තුළින් තම ජීවිතය කියවා ගැනීම උත්සාහ කරති. අප සිහින පලාපල විමසන්නේත් ඒ වෙනුවෙන් වෙනම පුද්ගලයින් සැදී පැහැදී සිටින්නේත් එම නිසාය.

මේ ආකාරයට සිහින යනු අපගේ එදිනෙදා ජීවිතයත් සමඟ තත්පරව සම්බන්ධ වී ඇති අපූර්ව දෙයක් වන අතර සිහින යන්නට පොදුවේ පිළිගත් මතය වන්නේ , නින්දේදී ඇතැම් අවධීන් තුළ නිරායාසයෙන් මනසේ ඇතිවන රූප, අදහස්, හැඟීම් සහ සංවේදනා සිහින වන බවත් සමාන්‍යයෙන් සෑම සිහිනයක්ම මිනිත්තු පහේ සිට විස්ස දක්වා පවතින බවත් ය. නමුත් නුතන මනෝ විද්‍යාවේ පියා වන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පවසන්නේ සිහින යනු බලාපොරොත්තුවක් ඉටුවීම බවය. එනම් සිහින යනු අවරෝධනය කරන ලද අපේක්ෂා පූර්ණත්වයට පත් කිරීමේ මාධ්‍ය බව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ අදහස වන අතර මනෝවිදාවේදී මනෝ ප්‍රතිකාර තුළදී ද රෝගීන් දුටු සිහින පිළිබඳව ද විශේෂ අවධානයකට ලක් කරයි.

සිහින පිළිබඳව සාකච්ඡා කිරීමේදී විශේෂ කරුණක් වන්නේ මිනිසුන් සිහින ආශ්‍රයෙන් තම වර්තමානය හෝ අනාගතය කියවා ගැනීමට උත්සාහ කිරීමයි. එබැවින් දුටු සිහිනයක අර්ථය කුමක්දැයි යන්න වටහා ගැනීමට අප කොයි කවුරුත් බොහෝ ප්‍රිය කරති. එම නිසා එක් එක් ක්‍රම අනුගමනය කරමින් සිහින විශ්ලේෂණය කිරීමට විශේෂිත වූ පුද්ගලයින් ද සිටින අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ ගුවන්විදුලිය තුළද යම් යම් වැඩසටහන් වලදී ඉඩහසර වෙන්කර දී ඇත. නමුත් සිහින විද්‍යාත්මකව විශ්ලේෂණය කර ගැනීම සඳහා සිග්මන්ඩ් ප්‍රොයිඩ් විසින් වඩාත් හොඳ ප්‍රවේශයන් සපයා දී ඇත. සිහින විශ්ලේෂණය කිරීම ප්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදයේ එක් මූලික සංකලයක් ද වන අතර වර්ෂ 1900 දී ඔහු " සිහින තේරුම් ගැනීම " යනුවෙන් ග්‍රන්ථයක් ද රචනා කර ඇත.

ඕනෑම පුද්ගලයකු දකින ඕනෑම සිහිනයක අනිවාර්යයෙන්ම ප්‍රධාන කොටස් දෙකක් අන්තර්ගත වේ. ප්‍රකට සන්ධාරය හා අප්‍රකට සන්ධාරය එම කොටස් දෙකයි. ප්‍රකට සන්ධාරය යනු තමන් දුටු සිහිනය පිළිබඳව විස්තර කිරීමේදී ගොඩනැගෙන් භාහිර කතා වස්තුවයි. සිහිනයක ඇතුළත සැඟවුණු ගැඹුරු අර්ථය අප්‍රකට සන්ධාරය නම් වේ. සිහින විශ්ලේෂණයේදී, නැතිනම් සිහින පලාපල කීමේදී සිදුකරණුයේ මෙම අප්‍රකට සන්ධාරය එළෙපෙහෙලි කර ගැනීමයි. අප්‍රකට සන්ධාරය මඟින් සිදුකරණුයේ අවරෝධිත ඉච්ඡාවන් සංකේත අනුසාරයෙන් ප්‍රකට සන්ධාරය වෙත ලබා දීමය. මේ අනුව සිහිනයක ගැඹුරු යථාර්තය හෙවත් සත්‍ය සැඟව ඇත්තේ අප්‍රකට සන්ධාරයේ ය.

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් දක්වන පරිදි සිහින විශ්ලේෂණය කිරීම සිදුකරන ඕනෑම අයකු නැතිනම් සිහින පලාපල කියන ඕනෑම අයකු පළමුව සිහිනයක ප්‍රකට සන්ධාරය අධ්‍යයනය කර දෙවනුව එහි අර්ථ සොයා අප්‍රකට සන්ධාරය වෙත යා යුතුය. එනම් සංකේතවල සැඟ වී ඇති අදහස් අර්ථකතනය කරමින් සිහින අර්ථ නිරූපණය කළයුතු වේ. සිග්මන්ඩ් ප්‍රොයිඩ් විශ්වාස කර ඇත්තේ මේ හරහා පුද්ගලයකුගේ මනස තේරුම්ගත හැකි බවය. එමෙන්ම ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන අන්දමට සිහින විශ්ලේෂණය කිරීමටනම් මනෝවිශ්ලේෂණවාදය පිළිබඳ විශේෂ පළපුරුද්දක් අවශ්‍ය වන අතර මේ සඳහා අවම වශයෙන් වසර දෙකකවත් පුහුණුවක් ලැබිය යුතුය.

සිහින වශයෙන් මතුවන්නේ කෙනෙකුගේ අවිඥාණයේ තැන්පත් වූ අභිලාෂ , අවශ්‍යතා, භීතීන්  සහ ලිංගික ආසාවන් හෝ ආක්‍රමණශීලී හැඟීම් ය. (  අවිඥාණය යනු ආවේගයන් මුසු සිතුවිලි සහිත පුද්ගලයකුගේ සාමාන්‍ය සම්ප්‍රජානනයෙන් එපිට මනසේ නිදන්ගතව පවතින සිතුවිලි, ආවේග සහ අපේක්ෂාවන් ය ) එමෙන්ම සිහින මඟින් අවිඥාණයෙන් සවිඥාණයට විවිධ සකේත අනුසාරයෙන් පණිවිඩ ලබා දෙනු ඇත. (  සවිඥාණය යනු පුද්ගලයාගේ මතකයෙහි, අවධානයෙහි හා සංජානනයෙහි පවතින සිතුවිලි සහ තොරතුරුවලින් සමන්විත උඩු සිතයි ) මේ අනුව සිහින යනු පුද්ගලයකුගේ අවිඥාණය වටහා ගැනීමට ඇති ඉතාමත් හොඳ මාවතකි.

පුද්ගලයකුගේ අවිඥාණයේ සිරගතවී ඇති ද්‍රව්‍ය පහසුවෙන් සිහින ඔස්සේ ඉදිරියට පැමිණෙන අතර අවරෝධනය වූ අපේක්ෂා පූර්ණත්වයට ගෙන ඒමේ අවශ්‍යතාව මෙසේ සිහින හරහා ඉදිරිපත් වන සිග්මන්ඩ් ප්‍රොයිඩ්ගේ අදහසයි. ඇතැම් විට සංකේතාත්මකව සිහින මගින් දිස්වන දේ ලිංගික අවශ්‍යතා පෙන්වා දෙන බව ප්‍රොයිඩ් පවසන අතර උදාහරණ වශයෙන් යෂ්ඨියක්,ගසක කඳක්, පිහියක්, කිණිස්සක්, සහ කුඩයක් සිහින වලදී සංකේතවත් කරණුයේ පුරුෂ ලිංගයයි. පෙට්ටි, මංජුසා, රාක්ක, අල්මාරි සහ උඳුන් ආදිය සංකේතවත් කරණුයේ ස්ත්‍රී ලිංගයයි. එහෙත් සෑම සිහිනයක්ම ලිංගිතත්වය පදනම් කරගත් සිහිනම නොවන බවද සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ අදහසයි.

සිහින වනාහී පුද්ගල බලාපොරොත්තු ඉටුවීමක් ලෙස සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සිය මනෝවිශ්ලේෂණවාදයේදී විග්‍රහ කර ඇත. සිහිනක අප දකින දෙයට වඩා ගැඹුරක් පවතින බව ඔහු අනාවරණය කොට ඇත. ප්‍රොයිඩ් අදහස් කරණුයේ පුද්ගලයාගේ අවිඥාණයේ තැන්පත් වී ඇති ආසාවන් සිහින හරහා ඉෂ්ඨ කරගන්නා බවය.

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට අනුව සිහිනයක් තේරුම් ගැනීමටනම් එය කොටස්වලට කඩා විග්‍රහ කරගත යුතුය. එලෙස සිහිනයක් කඩාගත හැකි කොටස් කිහිපයක් පවතින අතර බොහෝ විට අප දකින සිහින කිසියම් අවුල් හෝ පැටකුම් ස්වාභාවයක් දරණු ලබයි. සිහිනයේ සමහර සිද්ධි අඩුවෙන් සහ සමහර සිද්ධි වැඩියෙන් ද පෙනෙන අවස්ථා ඇත. සමරවිට සිහිනයේ සිද්ධි හෝ කොටස් එකිනෙකට මාරු වේ. පෙර කී සන්ධාරය සහ අප්‍රකට සන්ධාරය අතර මෙසේ කොටස් මාරුවිය හැකිය. සමහරවිට පුද්ගලයින් සිහිනයක් දැක අවදිවූවාට පසුව තමන් දුටු සිහිනයේ අඩුපාඩු පුරවාගෙන කිසියම් නිශ්චිත කතාන්දරයක් ගොඩනගා ගැනීමට උත්සාහ දරයි. සිග්මන්ඩ් ප්‍රොයිඩ් මේ එක් එක් සිහිනයක් කොටස් සඳහා මනෝවිශ්ලේෂණවාදයේදී විවිධ නාමයන් ලබා දී ඇති අතර අවසාන කොටසට ඔහු සංකේතකරණය යන නම ලබා දී ඇත.

සංකේතකරණය යනුවෙන් අදහස් කෙරෙන්නේ අප්‍රකට සන්ධාරයට අයත් යම් යම් දෑ සංකේත මාර්ගයෙන් ප්‍රකට සන්ධාරයට පමුණුවාලීමය. එක් එක් පුද්ගලයාගේ අපේක්ෂණ නියෝජනය කෙරෙන සංකේත ඔහුගේ අවිඥාණයේ පවතිනු ඇත. ජීවත්ව සිටි කාලයේ අම්මාට සලකන්න බැරිවූයේ යැයි පසුතැවෙන පුද්ගලයකුට මළ පෙරේතියක් හෝ සිඟන්නියක සේ සංකේතානුසාරයෙන් අම්මා සිහිනයෙන් පෙනෙන්නට පුළුවන.

සිග්මන්ඩ් ප්‍රොයිඩ් පැවසූ පරිදි සිහින විශ්ලේෂණය කිරීමටනම් මනෝවිශ්ලේෂණවාදය සම්බන්ධයෙන් ඉතා හොඳ දැනුමක් තිබිය යුතුය සහ අවම වශයෙන් වසර දෙකක පළපුරුද්දක් තිබිය යුතුය. නමුත් මේ දක්වා සිහින විශ්ලේෂණය පිළිබඳව ගෙනහැර දැක්වූ කරුණු වඩාත් හොඳින් තේරුම් ගනිමින් සහ ඒ පිළිබඳව සුළු අධ්‍යයනයකින් පසුව වූවත් සිහිනය දුටු අය සමග නිදහසේ සාකච්ඡා කිරීමෙන් එම සිහිනයට පදනම් වූ පසුබිම සහ එහි සැඟවුණු තැන් සොයා යමින් සිහිනය යම්තාක් දුරකට හෝ අර්ථකතනය කිරීමට ඔබටද හැකිවනු ඇත.

ආශ්‍රිත මූලාශ්‍ර : " සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදය " - මහාචාර්ය රොනල්ඩ් අබේපාල

Latest