Skip to content

සිංහයන් ගැන මේ දේවල් දන්නවාද?ලෝකයේ සිටින සිංහයන් ආරක්ෂා කළ යුතුයි.

සිංහයින් යනු පෘතුවියේ වඩාත්ම ආකර්ශනීය මෘගයින්ය. ඔවුන් නූතන යුගයේදී වනයේ ශේෂව සිටින චමත්කාරජනක මෙගාෆවුනාවන් ගෙන් කොටසකි. සිංහයා තරම් රාජකීයත්වය, නිර්භීත බව, ධෛර්ය සහ රණකාමීත්වය සඳහා සංඛේතයක් ලෙස නිරූපණය කල වෙනත් සත්වයෙකු නොමැති බව පැවසිය හැකිය.

ඔවුන් අග්‍ර විලෝපිකයින්ය. එයින් අදහස් වන්නේ ඔවුන් සියළු සතුන්ව දඩයම් කරන නමුත්, ඔවුන්ව දඩයමට ලක් නොවන බවයි. Panthera leo යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන සිංහයා, felidae පවුලේ දෙවැනි විශාලතම ජීවමාන සාමාජිකයා වේ.

පලමු වැනියා වන්නේ ව්‍යාඝ්‍රයාය. එසේ වුවද විද්‍යාත්මකව තහවුරු කරන ලද බරම ව්‍යාඝ්‍රයා සහ බරම සිංහයා අතර ඇත්තේ කිලෝග්‍රෑම් 11 ක වෙනසක් පමනි. පිරිමි සිංහයෙකුගේ සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 190 වන අතර සිංහදේනුවකගේ සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 126 කි. සිංහයා felidae පවුලේ එකම සමාජීය සත්වයා වන අතර, විශාල ප්‍රමාණයේ ගොදුරු දඩයම් කිරීමේදී සාමූහිකව ක්‍රියා කිරීමේ දක්ෂයින්ය.

සිංහයා යනු කෙටි වටකුරු හිසක්, පුළුල් පපුවක් සහ ශක්තිමත් උරහිස් මාංශපේෂී සහිත පැන්තෙරා ගණයේ බළලෙකි. ඔවුන්ගේ සිරුරේ 58.8% ක ප්‍රතිශතයක් මාංශපේශි වන අතර එය සියළුම ක්ෂීරපායී සතුන් අතර ඉහලම මාංශපේෂී ප්‍රතිශතය වේ. දැනට සොයාගෙන ඇති පැරණිතම සිංහ පොසිල ටැන්සානියාවේ ඕල්ඩුවායි ජෝර්ජ් ප්‍රදේශයෙන් වාර්තා වන අතර ඒවා වසර මිලියන 2 කට වඩා පැරණිය. අදින් වසර මිලියන 3.1 සිට වසර මිලියන 1.96 දක්වා කාලය තුල සිංහයා සහ කොටියා (panthera pardus) පුරාණ ජගුවර් විශේෂයකින්, වෙනම විශේෂ දෙකක් ලෙස අපසරනය වන්නට ඇතැයි සැලකේ.

වසර දස දහසකට පෙර අවසන්වූ හිම යුගයේදී සිංහයින් අප්‍රිකාවේ සිට යුරෝපය, සයිබීරියාව, මධ්‍යම සහ දකුණු ආසියාවටත්, ඇලෙස්කාව හරහා උතුරු ඇමරිකාවටත්, අනතුරුව දකුණු ඇමරිකානු මහද්වීපයේ පැටගොනියානු ප්‍රදේශ වලටත් සංක්‍රමණය විය. මේ අනුව ඉතිහාසය පුරාවටම සිංහයින් ගේ පා සලකුණු සටහන් නොවූයේ ඕස්ට්‍රේලියානු මහද්වීපයේ සහ ඇන්ටාක්ටිකා මහද්වීපයේ පමනකි. මෙම පුළුල් ව්‍යාප්තිය දෙවැනි වන්නේ සියළුම ගොඩබිම් පෘෂ්ඨවංශික ජීවී විශේෂ අතරින් මිනිසාගේ ව්‍යාප්තියට පමනි. නමුත් අද වන විට ඔවුන්ට එම ඓතිහාසික අධිරාජ්‍යයෙන් 90% ක්ම අහිමිවී ඇත.

සිංහයින් ගේ වඳවී ගිය උප විශේෂ කිහිපයක් පොසිල වාර්තා තුලින් හඳුනාගත හැකිය.

1. Panthera leo sinhaleyus

මෙම විශේෂය රත්නපුර කුරුවිට ප්‍රදේශයෙන් සොයාගත් සිංහයෙකුගේ දතක පොසිලයකින් හඳුනාගෙන ඇත. ඔවුන් අදින් වසර 39,000 කට ඉහතදී වඳවී ගොස් ඇත.

2. Panthera leo fossils

නූතන සිංහයින්ට වඩා ප්‍රමාණයෙන් විශාලවූ මෙම සිංහයින් මධ්‍ය ප්ලයිස්ටොසීන ⁣යුගයේ සිට ⁣යුරෝපයේ ජීවත්වී ඇත. ඔවුන් දන්නා විශාලතම felidae ,විශේෂ වලින් එකකි.

3. Panthera leo spelaea

මධ්‍ය සහ අග ප්ලයිස්ටොසීන ⁣යුග වලදී මධ්‍යම ආසියාව, යුරේසියාව සහ සයිබීරියානු ප්‍රදේශ වල වාසය කර ඇත. සමාන්‍යයෙන් නූතන සිංහයින්ට වඩා 12% ක් ප්‍රමාණයෙන් විශාලය.

4. Panthera leo atrox

ඇමරිකානු සිංහයා යනුවෙන් හඳුන්වන මෙම උප විශේෂය, ඇලෙස්කාව, උතුරු අමෙරිකාව සහ දකුණු ඇමරිකාවේ පැටගෝනියාව වැනි ප්‍රදේශ වල වාසය කර ඇත. ඔවුන් නූතන සිංහයින්ට වඩා 25% ප්‍රමාණයෙන් විශාල වන අතර වාර්තාගත විශාලතම felidae විශේෂ කිහිපයෙන් එකකි.

වර්තමානය වන විට සිංහ උප විශේෂ දෙකක් හඳුනාගෙන ඇත.

1. Panthera leo leo

උතුරු සිංහයා ලෙස හඳුන්වන මෙම උප විශේෂයට මධ්‍යම අප්‍රිකාව සහ ඉන්දියාවේ ගීර් ජාතික වනෝද්‍යානයේ ජීවත්වන සිංහයින් ඇතුලත්ය. ඔවුන් සාමාන්‍යයෙන් දකුණු සිංහයාට වඩා ප්‍රමානයෙන් කුඩා වුවද, වඳවී ගිය දැවැන්ත බාබේරි සිංහයින් අයත් වන්නේ මෙම උප විශේෂයටය.

2. Panthera leo melanochaita

දකුණු සිංහයා ලෙස හඳුන්වන මෙම උප විශේෂය, නැගෙනහිර සහ දකුණු අප්‍රිකානු රටවල වාසය කරයි. අදවන විට ශේෂව සිටින සිංහයින්ගෙන් 80% කට වඩා වැඩි කොටසක් අයත් වන්නේ මෙම උප විශේෂයටය. වඳවී ගිය කේප් සිංහයින් අයත් වන්නේද මෙම උප විශේෂයට ය.

අප්‍රිකානු සැවානා පරිසර පද්දතිය තුල අග්‍ර විලෝපිකයාගේ භූමිකාව ඉටුකරන සිංහයින් ඉතා වැදගත් ජීවී විශේෂයකි. ශාක භක්ෂකයින්ගේ ගහනය පාලනය කිරීමටත්, ඒ හරහා පරිසර පද්ධතියේ තිරසාර පැවැත්ම තහවුරු කර ගැනීමටත්, ආහාර දාමය ක්‍රමවත්ව පවත්වා ගැනීමටත් සිංහයින් අතිශය වැදගත් කාර්ය භාරයක් ඉටුකරනු ලබයි. 1960 දශකය වන විට 100,000 කට අදික සංඛ්‍යාවක් පැවති අප්‍රිකානු සිංහ ගහනය අද වන විට 23,000 දක්වා පහත වැටී ඇත.

වනාන්තර ප්‍රදේශ විනාශ කිරීම හේතුවෙන් වාසස්ථාන අහිමිවීම, ගොදුරු හිඟවන විට පශු සම්පත් වලට පරදීම හේතුවෙන් ගෝත්‍රික ජනතාව සමග ගැටුම් ඇතිවීම. මිත්‍ය විශ්වාස මුල් කරගත් ආසියාතික වෛද්‍ය ක්‍රම සඳහා ව්‍යඝ්‍රයින්ගේ අස්ථි වෙනුවට ආදේශකයක් ලෙස සිංහ අස්ථි භාවිතා කිරීම වැනි හේතූන් රාශියක්, සිංහයින් මුහුණ පා ඇති තර්ජන අතර වේ. මෙම තර්ජන වලට පිළිතුරු සෙවීම සහ සිංහයින්ව රැක ගැනීම සඳහා ලෝකවාසී ජනයා දැනුවත් කිරීම ලෝක සිංහ දිනය සැමරීමේ අරමුණ වී ඇත.

හැට වසරක් ඇතුලත සිංහයින් ගේ ගහනය 75,000 කින් අඩුවී ගියේ නම්, ඉතිරි සිංහයින් 23,000 විනාශ වීමට අවශ්‍ය වන්නේ කෙතරම් කෙටි කාලයක්ද ? වසර දහස් ගණනක් තිස්සේ මානව ශිෂ්ඨාචාරයේ කලා නිර්මාණ, සාහිත්‍යය සහ පුරාවෘත්ත හැඩකල සත්වයා, මෘගයින්ගේ රජු ලෙස සම්භාවනාවට පත් මෙම අපූර්වතම සත්වයා මුළුමනින්ම වඳවී ගියහොත්, මිහිතලයේ චමත්කාරය සැනින් වැනසී යනු නොඅනුමානය.

Latest