Skip to content

දියසෙන් කුමාරයෙක් ගැන හිතන්නේ ඇයි ?

ලෝකයේ එක් එක් කාලවලදී අනාගතය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති අනාගත වැකි එහෙම නැතිනම් ප්‍රොපසීස් බොහොමයක් අප මූලාශ්‍ර තුළින් අසා ඇත. ඉන් ලෝක විනාශය පිළිබඳව අනාගත වැකි සියළුම ශිෂ්ඨාචාර තුළින් අපට නිරීක්ෂණය කළ හැකි අතර දියසෙන් කුමාරයා පිළිබඳව සාකච්ඡා කිරීමට ප්‍රථම ඔබගේ මොළයට ලාභයක් වීම සඳහා එම ප්‍රොපසීස් කිහිපයක් ගෙනහැර දැක්වීම වටී යැයි මට සිතේ.

එහිදී මායාවරුන්ගේ එක අනාගත වැකියක් වූයේ 2012 දෙසැම්බර් මස 12 වන දා ලෝක විනාශය සිදුවන බවය. නමුත් මේ සම්බන්ධයෙන් යම් යම් මත ගැටුම් ද පවතින අතර  2012 වර්ෂයේ ලෝක විනාශය සිදුවන්නේදැයි මායාවරුන් සැබවින්ම කීවද යන්න ප්‍රශ්නකාරීය. 2012 වර්ෂයෙන් මායාවරුන්ගේ කැලැන්ඩරය නිමා වන අතර එම නිසා 2012 වර්ෂයේදී ලෝක විනාශය සිදුවන්නේ ද නැතිනම් 2012 වර්ෂයේදී ලෝක විනාශය සිදුවීම ආරම්භ වන්නේ ද, එම නිසා 2012 න් පසු දෙයක් මායාවරුන් සඳහන් නොකලේද  යන ප්‍රශ්න පවතී.

මායාවරුන්ගේ දින කැලැන්ඩරය

පද්මසම්භව නම් වජ්‍රයාන බෞද්ධ දර්ශනයේ ගුරුවරයකු සඳහන් කරන්නේ කෙදිනක හෝ ලෝක විනාශය සිදුවන බව සහ එය සිදුවීමට පෙර ලෝකයේ අලුත් තරුවක් අහසේ පෑයීම, යුද්ධයක් සහ සාගතයක් ඇති වීම, ලෝකයේ ප්‍රධාන නගර කඩාගෙන වැටීම, මිනිසුන්ගෙන් බහුතරයක් විනාශ වීම වැනි ලක්ෂණ පහළ වන බවය. ඔය අතර ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ හෝපි ගෝත්‍රිකයින් පවසන්නේ මීට පෙර ලෝක විනාශ හතරක් සිදු වූ බව සහ එළඹීමට නියමිතව ඇත්තේ අවසන් ලෝක විනාශය බවය.

යුදෙව් ආගමිකයින් විශ්වාස කරන්නේ මෙසයියා වරයකු නැවත ජෙරුසලම ගොඩනගනු ඇති බවය. කතෝලික ආගමේ ඔවුන්ගේ මෙසයියා වූ ජීසස් නැවත පැමිණෙනු ඇතැයි විශ්වාස කරන අතර ඉස්ලාම් ආගමේ mahdi නම් අයෙක් පැමිණ අඳුර නැති කරනු ඇතැයි විශ්වාස කරයි. හින්දු ආගමේ කල්කි පැමිණේ යැයි විශ්වාස කරන අතර බෞද්ධ දර්ශනයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහල වේ යැයි විශ්වාස කරයි. කෙසේ නමුත් මේ සියළු විශ්වාසයන් අතර වර්තමානයේ නම් ගොඩනැගෙන අනාගත වාක්‍යයක් වන්නේ AI තාක්ෂණය හේතුවෙන් මතු දිනෙක ලෝකය විනාශ වන බවය.

මේ ලෝක විනාශය ගැන ඇති ප්‍රොපසීස් ය. ඔය අතර ලෝකයේ එක් එක් ජන කණ්ඩායම්වලට සීමා වූ අනාගත වැකි නැතිනම් ප්‍රොපසීස් ද ඇත. ඉන් ප්‍රධාන එකක් වන්නේ තම වර්ගයා, තම ජාතිය ලෝකය ඉදිරියේ බැබලවීම සඳහා ඉතා බලසම්පන්න කුමාරයෙක් පහළ වන්නේය යන්නය. ලෝකයේ එක් එක් කලාපවල විවිධ ජන කොටස් අතර මෙසේ විශ්වාසයක් පවතින බව අපට හඳුනාගත හැකි අතර ශ්‍රී ලංකාවේ ඒ අනුව පවතින විශ්වාසය වන්නේ දියසෙන් කුමාරයෙක් පිළිබඳව පවතින විශ්වාසය සහ රාවණා රජු නැවත පහළවීම පිළිබඳ විශ්වාසයයි.

ඉන් දියසෙන් සංකල්පය ශ්‍රී ලංකාව තුළ ඉතා තදින් මුල්බැසගෙන ඇති සෙයක් පෙනෙන්නට තිබේ. විශේෂයෙන් දියසෙන් කුමාරයා පිළිබඳව අපට නිතර නිතර අසන්නට ලැබෙන්නේ මැතිවරණයක් ආසන්න වන විටදී වන අතර එයට හේතුව නම් ඉදිරිපත් වන මැතිවරණ අපේක්ෂකයින් දියසෙන් කුමාරයාට අඳින බැවිනි. නැතිනම් රටේ මහජනතාව විසින් ඔහුව දියසෙන් කුමාරයාට අන්දන බැවිනි.

කෙසේ නමුත් කාලයෙන් කාලයට නිශ්චිත අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ අනිවාර්යයෙන්ම එන මාතෘකා කිහිපයක් අපට හඳුනාගත හැකි අතර ඉන් කිහිපයක් දක්වන්නේ නම් දකුණේ නායකයෙකු උතුරේ සංචාරය කළ විට අනිවාර්යයෙන්ම මාතෘකාව වන්නේ 13 ය.  උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වූ වහාම ශ්‍රී ලංකාවේ මාතෘකාව වන්නේ නවක වදයය. ජනාධිපතිවරණයක් ළං වූ වහාම මාතෘකාව වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීමය. ඒ අකාරයට ජනාධිපතිවරණයක් ළං වූ වහාම එන තවත් මාතෘකාවක් ලෙස දියසෙන් කුමාරයා හඳුනාගත හැකි අතර මේ එකදු මාතෘකාවකින්වත් අපට ගැළවීමක් නැත. සිතන්න, දැං කවුරුන් හෝ දියසෙන් කුමාරයෙක් ගැන කතා කරනවා ද? නැත. ඒවා නිශ්චිත අවස්ථාවලදී වාසියට එන මාතෘකා වන බව ඔබට තේරෙන්නේ ද?

කෙසේ වෙතත් මේ මේ නිශ්චිත අවස්ථාවලදී අපට තලු මැරීමට ලැබෙන දියසෙන් නම් සංකල්පය පිළිබඳව නිසිලෙස  තේරුම් බේරුම් කරගෙන සිටීම වැදගත් යැයි සිතෙන්නේ තවත් මාස කිහිපයකින් ජනාධිපතිවරණයක් පැවතේ යැයි අප විශ්වාස කරන බැවිනි. මෙය කල් තියා හරිහැටි තේරුම් බේරුම් කරගෙන සිටියේ නම් ඒ ඒ අවස්ථාවලදී ඒ ඒ සිද්ධි නිසිලෙස තේරුම් ගැනීමට ද අපටද හැකිවනු ඇතැයි මා සිතමි. නමුත් එක් දෙයක් පවසනු කැමැත්තෙමි.

දියසෙන් නම් සංකල්පය මා කිසිලෙසකත් ප්‍රතික්ෂේප නොකරමි. මන්ද එවැනි බලසම්පන්න කුමාරයෙක් පහළ වී ශ්‍රී ලංකාව සමෘද්ධිමත් කරනවානම් මාද එක එල්ලේ එයට කැමති වන බැවිනි. නමුත් මා මෙහිදී උත්සාහ කරණුයේ දියසෙන් නම් සංකල්පය පිළිබඳව වඩාත් පුළුල්ව ලෝකයත් සමඟ සාකච්ඡා කිරීමට වන අතර එම සාකච්ඡාවෙන් පසු ඕනෑම කතාවක තමන් තනිව සිතාගත යුතු කතාව ඔබට සිතාගත හැකිය.

කව්ද මේ දියසෙන් කුමාරයා ?

කෙටියෙන්ම පවසන්නේ නම් දියසෙන් කුමාරයා යනු අපගේ බලාපොරොත්තුවකි. මතු යම් දිනෙක මේ ශ්‍රී ලංකාවේ පහළ වන සහ ශ්‍රී ලංකාව සමෘද්ධිමත් සහ බලසම්පන්න කරන බලාපොරොත්තුවේ කුමාරයෙකි.

මෙහි ඉතාහසය දෙස බලන්නේ නම් මූලාශ්‍රවල සඳහන් වන්නේ මෙම විශ්වාසයේ ඉතිහාසය කෝට්ටෙ යුගය දක්වා දිවයන බවය. කෝට්ටේ යුගයේ හයවැනි පැරකුම්බා රජු වර්ණනා කරමින් ලියැවුණු ප්‍රශස්ති ග්‍රන්ථයක් වන පැරකුම්බා සිරිතේ මෙම දියසෙන් සංකල්පය ප්‍රථමයෙන් ම අපට මුණගැසෙන අතර ඒ පහත සඳහන් අයුරිනි.

" කියග මගිය එනු කොහි සිටැ දදැ සමනොළ ගොසිනා
නොය කියමුතු එදිගැ බමුණැ සුමන සුරිඳු විසිනා
ගිය කලැ දෙදහස් පන්සිය රජකු එතැයි දියනා
කියවිණි නන්වැසිය එනම් පැරකුම් රජු මෙදිනා "

ශ්‍රී පාදය වන්දනා කිරීමට ගොස් පැමිණෙන බමුණකු සහ මගියකු අතර ඇතිවන සංවාදයක් ඉහත කවියෙන් විස්තර කෙරෙන අතර එයින් අපට අවබෝධ කරගත හැක්කේ අතීතයේ සිටම දියසෙන් කුමාරයා මෙරට පාලකයින් හට ආරූඩ කර ඇති වගය. කවියෙන් කියැවෙන ආකාරයට බුද්ධ වර්ෂ දෙදහස් පන්සීයේදී හයවන පරාක්‍රමබාහූ දියසේන නමින් පුනර්භවය ලබයි. විද්වතුන් පවසන්නේ කවියෙහි එන දියනා යන පදයෙන් පසු කාලයේ දියසෙන් යන නම සෑදී ඇති වගය.

ඉන් පසුව මහනුවර යුගයට පැමිණෙන විට මෙම දියසෙන් නම් සංකල්පය විකාශනය වීම ඇරඹුණු වග මූලාශ්‍රවල දැක්වෙන අතර එම කාලයේදී ත්‍රිපිටකයට අයත් නොවන සුමන සූත්‍රයේ සඳහන් වන්නේ බුද්ධ වර්ෂ 2500 දී දියසෙන් කුමරයා නමින් රජ කෙනෙකු ලංකාවේ පහළ වී මුළු ලොවම තම වසංගයට ගන්නා බවය. නමුත් බුද්ධ වර්ෂ 2500 ඉක්මවා ගොස් මේ වන විට ශතවර්ශයක් පමණ ගත වීද ඇත. කෙසේ නමුත් මෙම සූත්‍රය පසු කාලීනව ලියැවුණු එකක්ය යන්න කීමට සාධක ද සුමන සූත්‍රයෙන් හමුවන බව විද්වතුන් දක්වයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ නිදහස් සටන් පැවති කාල වකවානුව තුළදී නැවතත් මෙම දියසෙන් සංකල්පය ප්‍රභලව මතුවන්නට වූ අතර 1930 ගණන්වල සිදු වූ භූමිකම්පාවක් පිළිබඳව ගෙනහැර දක්වමින් පියදාස සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ එම භූමි කම්පාව දියසෙන් කුමාරයාගේ  උපත නිසා සිදු වූ බවක් ය. සමාන්‍යයෙන් එතැන් සිට මෙරට දේශපාලඥයෝ දියසෙන් කුමාරයාට අඳින්නට වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඩී. එස් සේනානායක දියසෙන් කුමාරයා වන බවට ඔහුගේ නමෙහි මුල් අකුරු ගෙන ප්‍රචාරණයක් එවකට දියත් වූ බව ද ඉතිහාසය කියයි. විශේෂයෙන් මෙම ප්‍රචාරණයේ මුල්තැනගෙන කටයුතු කර ඇත්තේ පිලිප් ගුණවර්ධන සහ සී. ඩබ්ලිව් . ඩබ්ලිව් කන්නන්ගර යන වග ද ඉතිහාස මූලාශ්‍රවල දැක්වෙන කරුණකි.

එතැන්සිට විශේෂයෙන් මහින්ද රාජපක්ෂ සහ මෑතක ගෝඨාභය රාජපක්ෂ දක්වා දේශපාලඥයෝ දියසෙන් කුමාරයාට අඳින්නට විය. එසේ ඇන්දේ නැතිනම් ජනතාව එකතු වී අන්දන්නට විය. ( වරෙක මහින්ද රාජපක්ෂගේ දෛවඥයා වූ සුමනදාස ප්‍රකාශ කරන්නට වූයේ දියසෙන් කුමරා යනු ඩී. ඒ. රාජපක්ෂගේ බාල පුතා වන බව සුමනදාසගේ පියා ඔහුට පවසා තිබූ බවය. සැලකියයුතුයි :- මූලාශ්‍රවල දැක්වෙන පරිදිය )

කෙසේ නමුත් දේශපාලඥයින් පමණක් නොව වෙනත් වෙනත් පුද්ගලයින් ද තමන් දියසෙන් කුමාරයා වන බව ඇතැම් ඇතැම් අවස්ථාවලදී ප්‍රකාශ කරන්නට වූ අතර උදාහරණ වශයෙන් දක්වන්නේ නම් ටිප් ටොප් නමින් දන්තාලේපයක් හඳුන්වා දුන් සහ ටිප් ටොප් සිල්වා නමින් ප්‍රසිද්ධ වූ පුද්ගලයා සහ මෑතක තමන් දියසෙන් යැයි හඳුන්වා දුන් ඇතැම් ඇතැම් ස්වාමීන්වහන්සේලා දැක්විය හැකිය. වරෙක ධම්මික පැණිය හේතුවෙන් කෑගල්ලේ ධම්මික යන අය ද දියසෙන් කුමරා හට අඳින්නට සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය දියසෙන් කුමරා ලෙස ඔහුව අන්දන්නට උත්සහයක නිරතවනුද අපට එකල නිරීක්ෂණය කළ හැකි විය.

ඉදිං එසේ ශ්‍රී ලංකාවේ විකාශනය වූ මෙම දියසෙන් සංකල්පය දැනුදු රට තුළ විටින් විට මතුවන අතර ජනාධිපතිවරණ කාල සීමා මෙහිදී මතුව පෙනේ. ඒ ඇසුරින් අපට ද අනාගත වාක්‍යයක් කිව හැකිය. එයනම් ඉදිරි ජනාධිපතිවරණයකදී වජිර අබේවර්ධන විසින් රනිල් වික්‍රමසිංහ දියසෙන් කුමාරයා ලෙස ද නම් කිරීමට ද ඉඩ ඇත යන වගය. සමහරවිට ඔහු දක්වන අදහස් දෙස බැලූ විට ජනාධිපතිවරණයක් පැමිණීමම අවශ්‍ය වන්නේ නැත. හෙට අනිද්දාම එසේ ප්‍රකාශ කළ හැකිය.

ඉතිං මේ දියසෙන් සංකල්පය තියෙන්නේ ලංකාවේ විතර ද?

නැත. ලෝකයේ විශේෂ කලාපවල ඒ ඒ කලාපයන්ට ආවේණික වූ දියසෙන් කුමාරයෙක් පිළිබඳ සංකල්පයක් ඇත. විශේෂයෙන් දකුණු ආසියාවේ, උප සහරා අප්‍රිකාවේ සහ ලතින් ඇමෙරිකානු කලාපයේ.  එම කලාපවල ද විශේෂත්වයක් හඳුනාගත හැකි අතර ඉදිරියේදී ඒ පිළිබඳව සාකච්ඡා කරන බැවින් සැබවින්ම මෙම දියසෙන් සංකල්පයක් පිළිබඳව අප සිතා සිටින්නේ ඇයිද යන වග එවිට වැටහෙනු ඇති සේම මෙම ලිපියේ වැදගත්ම කොටස වන්නේ ද එයයි.

යට දැක් වූ කලාප තුනේ දියසෙන්ලා ගැන ලිපියේදී ප්‍රධාන වශයෙන් ඉදිරියට සාකච්ඡා කරන අතර මන්ද ප්‍රධාන වශයෙන් මෙම සංකල්පය මුල්බැසගෙන ඇත්තේ එම කලාප තුනේය. නමුත් ඉන් පිටතට ගොස් බලන්නේ නම් එංගලන්තයේ ද මෙවැනි සංකල්පයක් පවතින බව හඳුනාගත හැකි අතර එක් අතකින් එය වඩාත්ම සමීප වන්නේ අපගේ රාවණා සංකල්පයට ය.

එංගලන්තයේ එන ජනප්‍රවාදයක් වන්නේ ආතර් රජු පිළිබඳ ජනප්‍රවාදයයි. ඔවුන් විශ්වාස කරන්නේ ආතර් රජු මේ වන විට සිටින්නේ නින්දක බවත් මතු දිනක යුද්ධයකදී එංගලන්තය පරදින්නට ඔන්න මෙන්න තිබියදී ආතර් රජු නැවත නින්දෙන් නැගිට එන බවත් ය. එසේම ජර්මනියේ රජ කළ මහා ෆෙඩ්‍රික් රජු ද මතු යම් දිනෙක උත්ථානය වී ජර්මනිය ආරක්ෂා කරන බව ඔවුන් කියයි.ශ්‍රී ලංකාවේ පවතින රාවණා පිළිබඳ සංකල්පය ද මේ ආකාරමය. නමුත් ඔවුන් මේ වන විට නිදා සිටින්නේ කොහිද? ආතර් රජුට හෝ ෆෙඩ්‍රික් රජුට හෝ රාවණා රජුට හෝ නින්දෙන් නැගිටීමට හාදුවක් දෙන්නේ කව් ද? කවදා ඒ හාදුව  දෙයිද?.

ඉදිං කෙසේ නමුත් අපට වැදගත් වන්නේ ලතින් ඇමෙරිකානු කලාපයේ, උප සහරා අප්‍රිකානු කලාපේ සහ දකුණු ආසියානු කලාපයේ ඇති දියසෙන් සංකල්පය පිළිබඳව ය. මෙම කලාප තුනේ දියසෙන් කුමාරයා පිළිබඳව සංකල්පය ඉතා මාරාන්තික ලෙස හඳුනාගත හැකිය.

Pueblo indians

ලතින් ඇමෙරිකානු කලාපය ගත් විට එහි සිටි ප්‍රභල ගෝත්‍රයක් ලෙස ඉන්කායාමා ශිෂ්ඨාචාරයට නෑකම් කියන Pueblo indians නම් ගෝත්‍රය හඳුනාගත හැකිය. ඉදිං 16 වන සත වර්ෂයේදී ඔවුන් අයත් වූ ප්‍රදේශය පාලනය කර ඇත්තේ ස්පාඤ්ඤ ජාතිකයින් වන අතර මේ කාලය තුළදී ශ්‍රී ලංකාවේ මෙන් දියසෙන් කුමාරයෙක් පහළවීම පිළිබඳ සංකල්පය එම ගෝත්‍රය තුළ පැවතුණා යැයි සැලකේ. ඔය අතර පසු කාලීනව එම ගෝත්‍රයේ පෝ පෙයි නම් නායකයකු පහළවන අතර පැබ්ලෝ ඉන්දියන්ස් ගෝත්‍රය විශ්වාස කරන්නට වූයේ ඔවුන්ගේ දියසෙන් කුමාරයා පෝ පෙයි බවය.

පෝ පෙයි

ඉන්දියාවේ නග්පූර් ගෝත්‍රයේද දියසෙන් කතාවක් ඇත. මොවුන්ද යුරෝපීය ජාතීන් හේතුවෙන් දැඩි පීඩනයකට ලක්ව සිටි අතර ඉදිං ඔවුන් අතරද සිය ගෝත්‍රය ඉහළට ගැනීම සඳහා දියසෙන් කුමාරයෙක් ඉදිරියේදී පහළවන බවට මතයක් ස්ථාපිත වී තිබුණි. ඔය අතර ලංකාවේ මෙන් කෙනෙකු මමයි දියසෙන් යනුවෙන් පවසා නග්පූර් ගෝත්‍රය 1832 කෝල් නග්පූර් කැරැල්ල සඳහා කැඳවාගෙන යන්නට විය.

කෙසේ නමුත් තමන් දියසෙන් යැයි පැවසූ පුද්ගලයා සේම විශාල ගෝත්‍රිකයින් සංක්‍යාවක් කැරැල්ලේදී මරණයට පත් වූ බව ද ඉතිහාසය කියන අතර මේ ආකාරයට සහරා කාන්තාරයෙන් පහළ ඇති අප්‍රිකානු රටවල විවිධ ගෝත්‍ර අතරද දියසෙන් කුමාරයෙක් පහළවීම පිළිබඳ විශ්වාසයක් පවතින බව විද්වතුන් අදහස් දක්වමින් කියා සිටී.

දියසෙන් කුමාරයෙක් පහළ වෙනවා යැයි සිතන මේ කලාප තුන ටිකක් එකිනෙකට සමානයි වගේ නේද?

සැබවින්ම ඔව්. මෙම කලාප තුනම එකිනෙකට සමාන වන්නේ ඒවායේ පොදු ලක්ෂණ රාශියක් අපිට නිරීක්ෂණය කළ හැකි බැවිනි. පළවන එක නම් කලාප තුනම සංවර්ධනය අතින් ගත් විට ලෝකයේ අනෙකුත් කලාපවලට සාපේක්ෂව පවතින්නේ ඉතාමත් පහළ තැනකය. සමහරවිට ඉන්දියාව එහෙම නෑනේ යැයි ඔබට කිව හැකිය. නමුත් ලංකාව එහෙමනේ. ලංකාවත් දකුණු ආසියාවෙනේ. ඇරත්
ඉන්දියාව ආර්ථික වශයෙන් දියුණු වූයේ මෑත කාලයකනේ.

ලිපිය ආරම්භයේ සඳහන් කළ ආකාරයට ශ්‍රී ලංකාවේ නම් දියසෙන් සංකල්පයට ඉතා දිගු ඉතිහාසයක් ඇත. එය සැබෑවකි. නමුත් එය පුළුල් වශයෙන් විකාශනය වී මුල් බැස ගන්නේ පසුකාලීනව වන අතර එය මතකයේ තියා ගනිමින් ලිපියෙහි ඉදිරියට යමු. කලාප තුනේ පවතින තවත් විශේෂත්වයක් වන්නේ මෑතක් වන තුරුම මෙම කලාප තුන පැවතියේ වැඩවසම් ක්‍රමයක් සහිත කලාප වශයෙනි. සාමාන්‍යයෙන් 19 වන සහ 20 වන සියවස් වලදී මෙම කලාප  වැඩවසම් ක්‍රමයෙන් මිදුණත් ඔවුන්ට වැඩවසම් මානසිකත්වයෙන් මිදීමට හැකියාවක් ලැබී නැත.

වැඩවසම් ක්‍රමය තුළදී විශේෂයෙන් පාලකයා මහා බලසම්පන්න කෙනෙකුය. ඔහුට දෙවියන්ගෙන් හිමි වූ බලයක් ඇත. ඔහුට යටත් විය යුතුය. ඔහු තවත් එක් පුද්ගලයකු නොව විශේෂ වරප්‍රසාද ලත් අයෙකිය. ආදී වශයෙන් ගොඩනැගුණු මතයක් වූ අතර වැඩවසම් ක්‍රමය නිමා වූවත් එම මානසිකත්වය තවදු මේ කලාප තුනෙහි මිනිසුන්ගේ ජන මනසින් නික්ම ගොස් නැත. පාලකයන් සහ පාලිතයන් අතර එදා ඇතිකරන ලද වෙනස තවදු වෙනසක් නැති තැනකට පත් කර ගැනීමට සාමන්‍ය මිනිසුන්ට නොහැකි වී ඇත.

එමෙන්ම බලය ඇත්තේ සමාජයේ ඉහළ පැලැන්තියේ පුද්ගලයින් මත යැයි වැඩවසම් ක්‍රමය තුළ ගොඩනගා තිබූ මතය නෑ එය එසේ නොවේ යනුවෙන් පසුකාලීනව හෝ වෙනස් කර ගැනීමට නොහැකිවීමේ ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය මහ ජනතාව අදට ද සිතන්නේ ඔවුන් කිසිදු බලයක් නැති පුද්ගලයින් ලෙසය. කාට හෝ යටත්ව සිටීමේ ආශාව තවදු දුරස් වී නැත. ඉදිං ඔවුන් දිගින් දිගටම සිතා සිටින්නේ කොහේ හෝ සිටිනා දියසෙන් කුමාරයෙක් පැමිණ තමන් පවතින තත්වයෙන් ඔසවා තබනු ඇති බවට විනා තමන්ම ඒ සඳහා උත්සාහ කළ යුතුය යනුවෙන් නොවේ.

එතකොට ලෝකයේ මෙම කලාප තුන ඇර වෙනත් කලාපවල විශේෂයෙන් යුරෝපය දියසෙන් කුමාරයෙක් ගැන හිතන්නෙ නැත්තෙ ඇයි

යුරෝපය ගත්විට ලෝකයේ අනෙක් කලාපවලට සාපේක්ෂව  ඉතා ඉක්මනින් වැඩවසම් ක්‍රමය බිඳ වැටෙන්නට වූ අතර සාමාන්‍යයෙන් මධ්‍යතන යුගයේ මැද භාගය වන විට ක්‍රමය බිඳ වැටුණා යැයි විද්වතුන්ගේ මතයයි. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ 13 වන ශත වර්ෂයේ මැද භාගය පමණ වන විට යුරෝපය පුරා පැතිරී ගිය black death නම් වසංගතයෙන් මිනිසුන් විශාල ප්‍රමාණයක් මිය යෑමයි. මූලාශ්‍රවල දැක්වෙන්නේ කිණිතුල්ලන් හේතු වූ මෙම වසංගතයෙන් එවකට යුරෝපයේ මිනිසුන්ගෙන් 30-60% අතර ප්‍රමාණයක් මරණයට පත් වූ බවය.

එහි ප්‍රතිඵලයක් ලෙස අවම වශයෙන් සිටින වැඩකරන ජනතාවගේ ඉල්ලුම ඉහළ ගොස් ඇති අතර එම නිසා තව දුරටත් පාලකයින් හට සිතූ සිතූ ආකාරයට මහ ජනතාව මත බලය පැතිරවීමට නොහැකි වී ඇත. එමෙන්ම වැඩවසම් ක්‍රමය බිඳ වැටී කෙටි කාලයකින් යුරෝපය පුරා විද්‍යාවේ සහ තාක්ෂණයේ සීඝ්‍ර දියුණුවත් සමග දැනුම් සංකල්ප මහ ජනතාව අතරට ද වේගයෙන් සංක්‍රමණය වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් සබුද්ධික ජනතාවක් ලෙස ගොඩනැගුණු බව විද්වතුන්ගේ අදහසයි. එහි උච්චතම අවස්ථාවක් ලෙස ඔවුන් දක්වන්නේ ප්‍රංශ විප්ලවයයි.

නමුත් යුරෝපයේ මේ කටයුතු මෙලෙස සිදුවන විට ඉහත දැක් වූ කලාප තුනෙහි මෙම විපර්යාසයන් සිදු වී ඇත්තේ ඉතා මන්දගාමී අයුරින් වර්ෂ ගණනාවක් තුළය. වැඩවසම් ක්‍රමයෙන් මිදී බලය ලත් සහ සබුද්ධික ජනතාවක් ලෙස නැවත උපන් යුරෝපීය ජාතිකයින් ඉන් පසුව සිදු කරන්නේ මෙම කලාප වලට සංක්‍රමණය වී තම බලය පැතිරවීමය. ඉතිං මෙම කලාපවල බලය පැතිරවීම සඳහා යුරෝපීය ජාතීන් එහිදීද භාවිත කරන ලද්දේ ඔවුන් ඉතා හොඳින් පුහුණු කර ඇති වැඩවසම් ක්‍රමයමය. ඉදිං එහි ප්‍රතිඵලයක් ලෙස කලාප තුනේ මිනිසුන්ට නැවතත් වැඩවසම් ක්‍රමයටම හුරු වන්න්ට වී ඇත.

ශ්‍රී ලංකාව ගතහොත් රජකුගෙන් පාලනය වී කාලයක් වැඩවසම් ගති ලක්ෂණ පුහුණු කල අපට යුරෝපීය ජාතීන්ගේ පැමිණීමෙන් පසුව ද වැඩවසම් ලක්ෂණම පුහුණු කරන්නට විය. කෙසේ වෙතත් පසු කාලයේ නිදහස ලබා සර්වජන ඡන්ද බලය, මානව හිමිකම්, ව්‍යවස්ථාව, විධිමත් පාලන පද්ධතියක් ආදී නොයෙකුත් දේ අපට ලැබුණද අප කාලයක් තිස්සේ පුහුණු කළ අපගේ වැඩවසම් මයින්ඩ් සෙට් එක අපට දුරු කර ගැනීමටනම් නොහැකි වී ඇත.

සිතන්න. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ සිට මේ දක්වා පාලනය කල පාලකයින් සම්බන්ධයෙන් . ඔවුන් බොහෝ විට රදල පැලැන්තියේ උදවියයි. පවුල් දෙක තුනකට අයිති පිරිසයි. වෙනත් ආකාරයකට පවසනවානම් පැවතී ඇත්තේ රදල පවුල් පාලනයක් ය. ඉන්දියාවේද එසේමය ( ගාන්ධි පවුල ) බලය හුවමාරු වන්නේ ප්‍රධාන පවුල් අතරය. උප සහරා අප්‍රිකාව ගත්ත ද එසේමය බලය මාරු වන්නේ පවුල් අතරය. ( කොංගෝව ගිය පාරේ යන ලංකාව යන ලිපිය තුළදී එය සඳහන් කර  ඇත ). නමුත් යුරෝපා රටවල බොහෝවිට එසේ නැත.

ඉදිං මෙම කලාප තුනේ ජනතාව දිගින් දිගටම තමන් බලය අහිමි පිරිසක් යැයි වැඩවසම් මානසිකත්වයෙන් සිටින බැවින් ඔවුන් සෑම විටම දියසෙන් කුමාරයෙක් පිළිබඳ සිහින දකී. එවැනි බලාපොරොත්තුවක් ඇත. ඔහුද තමන් අයත්වන සාමාන්‍ය මහජන ගෝත්‍රයෙන් පහළ වන්නේ යැයි සිතා සිටිය ද බොහෝවිට සිදුවන්නේ රදළ පැලැන්තියේ දේශපාලන පවුල්වලට අයත් අයකු දියසෙන් කුමාරයා වශයෙන් පිළි ගැනීමය.

සැබවින්ම අප දියසෙන් කුමාරයෙක් පතන්නේ පවතින වැඩවසම් මානසිකත්වය නිසාම වන අතර අනෙක් අතට තමන් තමන් පිළිබඳව විශ්වාස නොකිරීම ද මෙයට හේතුවකි. කෙසේ නමුත් එය සමාජයේ පවතින විශ්වාසයකි. එම විශ්වාසය හෑල්ලුවට ලක් කිරීම මාගේ බලාපොරොත්තුව නොවූ අතර සැබවින්ම මා හට අවශ්‍ය වූයේ එයට ගරු කරමින් දියසෙන් කුමරා පිළිබඳව විද්වත් මත සහ මූලාශ්‍ර ඇසුරින් ශාස්ත්‍රීය අවබෝධයක් ඔබට ගෙන ඒමට පමණි. එය අවබෝධ කරගනු ඇති බව මා විශ්වාස කරමි. මන්ද පවසන දේ නිසිලෙස අවබෝධකර නොගැනීම ඉතා භයානක ප්‍රතිඵල අත්කර දෙන්නට හේතුවක් වන බැවිනි. අවබෝධයත් ඉතා වැදගත්.

නමුත් මෙය තව ඉතා ගැඹුරින් විග්‍රහ කළ හැකි කරුණකි. විග්‍රහ කල යුතු සංකල්පයකි. ඉතා ගැඹුරින් විග්‍රහ කිරීමට ගියේ නම් සිදුවන්නේ වඳින්න ගිය දේවාලය හිස මත කඩා පාත්වීමකි. එබැවින් ගැඹුරින් තව දුරටත් විග්‍රහ කර ගැනීම ඔබට භාර කරමි. එ සඳහා මෙම ලිපිය ඔබට ප්‍රවේශයක් සපයනු ඇතැයි මට සිතේ. එබැවින් අවසාන වශයෙන් මා සැමදා කියන කතාව මෙහිද දක්වමි. ඕනෑම කතාවක තමන් තනිව සිතාගත යුතු කතාවක් ඇත.

දියසෙන් කුමාරයෙක් පහළ වනතුරු සිටිනවාද ? නැතිනම් තමන් තනි තනි වශයෙන් දියසෙන් වනවා ද? තීරණය ඔබ සතුයි.

Latest