Skip to content

ගීසාහි මහා පිරමීඩයේ රහස නිකොලා ටෙස්ලා දැන ගෙන සිටියා "ද"? ; පළමු කොටස

පෘථිවිය ඇතුළත තියෙන ශක්තිය භාවිතා කරලා එහෙමත් නැති නම් හාර්නෙස් (Harness) කරලා නිපදවා ගන්න බලය රැහැන් රහිතව ලෝකය වටේ සම්ප්‍රේෂණය කිරීමේ තාක්ෂණය තමන් ගාව තියෙනවා කියන එක නිකොලා ටෙස්ලා තදින්ම විශ්වාස කරපු දෙයක්. මේ සම්බන්ධව ටෙස්ලා කරපු මුල් අත්හදා බැලීම් සාර්ථක වෙලා තියෙනවා. හැබැයි ටෙස්ලාගේ මරණයෙන් පස්සේ එයාගේ මේ පරීක්ෂණය අභිරහස් විදිහට අතුරුදහන් වෙලා තියෙනවා. රැහැන් රහිත බලශක්ති තාක්ෂණය ගැන කිසිම සාක්ෂියක් අද වෙනකොට අපට හොයා ගන්න හැකියාවක් නැහැ කියලා තමයි සමහර විද්වතුන් කියන්නේ.

හැබැයි ඒක ඇත්තක් "ද"?

ගීසාහි මහා පිරමීඩය කියන්නේ රජ කෙනෙකුගේ සොහොන් ගෙයක් කියලා තමයි අපි හැමෝම හිතන්නේ. හැබැයි ඇත්ත ඒක නෙමෙයි. ගීසාහි මහා පිරමීඩය කියන්නේ ඊට වඩා වෙනස් අරමුණකට නිර්මාණය කරපු දෙයක්. ප්‍රධාන ධාරාවේ ඊජිප්තුවේදය එහෙමත් නැති නම් ඊජිප්ටොලොජි (Egyptology) කියන විදිහට වසර 4500 කට විතර කලින් ඊජිප්තුව පාලනය කරපු සිව්වන රාජවංශයට අයිති පාරාවෝ කෙනෙක් වුන කූෆුගේ (Khufu) සොහොන විදිහට තමයි ගීසාහි මහා මහා පිරමීඩය ඉදිකරලා තියෙන්නේ.

ගීසාහි මහා පිරමීඩය
කූෆු

ඊජිප්තු සොහොනක තියෙන්න ඕනෙ එක ලක්ෂණයක්වත් ගිසාහි මහා පිරමීඩයේ නැහැ කියන එක ඔයා විශ්වාස කරනවාද?

කෞතුක වස්තූන්, හයිරොග්ලිෆ් සහ වෝල් ආර්ට් (Wall Art) වගේ කිසිම දෙයක් මේ මහා පිරමීඩය ඇතුළේ අපට දැක ගන්න හම්බවෙන්නේ නැහැ. කූෆුගේ මමිය තිබුණා කියන කළුගල් වලින් හදපු මිනී පෙට්ටිය එහෙමත් නැති නම් සාර්කොෆගස් (Sarcophagus) එක ගැනත් ලොකූ විවාදයක් මේ වෙද්දි ඇති වෙලා තියෙනවා. මේ සාර්කොෆගස් එක ඇතුළේ මමියක් තිබුණා කියලා කියන්න කිසිම සාක්ෂියක් නැහැ. ඒ විතරක් නෙමෙයි කිසිම දවසක මමියක් පිරමීඩයක් ඇතුළේ තිබිලා හම්බෙලා නැහැ.

කූෆුගේ සාර්කොෆගස් එක

"ගීසාහි මහා පිරමීඩය කියන්නේ පුරාණ ඊජිප්තුවරුන් ඔවුන්ගේ දෙවිවරුන් විදිහට සලකපු පාරාවෝවරුන් වෙනුවෙන් ඉදි කරපු සොහොනකින් එහාට ගියපු අමුතු ව්‍යුහයක් ඒ කියන්නේ ස්ට්‍රක්චර් (Structure) එකක්."

ගීසාහි මහා පිරමිඩයේ වැඩි කොටසක් ඉදිකරලා තියෙන්නේ රතු පාටට හුරු දුඹුරු පාටක් තියෙන නොමියුලයිට් ලයිම්ස්ටෝන් (Nomulite Limestone) වලින්. නොමියුලයිට් ලයිම්ස්ටෝන් කියන්නේ මේ ප්‍රදේශයේ බහුලව දැකගන්න පුලුවන් හුණුගල් වර්ගයක්. ඒ විතරක් නෙමෙයි විදුලි ධාරවක් ගමන් කිරීමේ හැකියාව මේ හුණුගල් වර්ගයට තියෙනවා.

නොමියුලයිට් ලයිම්ස්ටෝන්

හැබැයි පිරමීඩයේ බාහිර කොටස ආවරණය කරන්න යොදා ගෙන තියෙන්නේ මේ ප්‍රදේශයෙන් හොයා ගන්න බැරි කේසින් ස්ටෝන් (Casing Stone) කියලා හදුන්වපු දීප්තිමත් සුදු පාටට හුරු හුණුගල් වර්ගයක්. ඉතා සුමට ලෙස ඔප දාලා තියෙන මේ හුණුගල් ගීසාහි මහා පිරමීඩයට සැතපුම් 500 ක් විතර දුරින් තිබුණ ටුරා ප්‍රදේශයේ ගල්කොරියකින් තමයි ගෙනත් තියෙන්නේ. මේ හුණුගල් වල මැග්නීසියම් තිබිලා නැහැ. ඒ නිසා නොමියුලයිට් ලයිම්ස්ටෝන් වගේ හුණුගල් හරහා යන විදුලි ධාරාව ටුරා වලින් ගෙනාපු මැග්නීසියම් නැති කේසින් ස්ටෝන් හරහා යන්නේ නැහැ. ඒ නිසා ටූරා වලින් ගෙනාපු හුණුගල් එක්තරා ආකාරයක විශේෂ හුණුගල් වර්ගයක් කියලා කියන්න පුලුවන්. මේ කේසින් ස්ටෝන් වල අරමුණ වෙලා තියෙන්නේ විශිෂ්ට "පරිවාරයකයක්" ඒ කියන්නේ "ඉන්සියුලේටර් (Insulator)" එකක් විදිහට සේවය කරන එක.

කේසින් ස්ටෝන්

ගීසාහි පිරමීඩයේ අභ්‍යන්තර කුටි ඉදිකරලා තියෙන්නේ ඉතා දුර්ලභ කළුගල් වර්ගයක් වෙන රෝස් ග්‍රැනයිට් (Rose Granite) වලින්. මේ ගල් වර්ගය ගෙනත් තියෙන්නෙත් ගීසාහි මහා පිරමීඩයට සැතපුම් සිය ගණනක් විතර ඈතින් තිබුණ ප්‍රදේශයකින්. මේ ග්‍රැනයිට් වල සිලිකන් ඩයොක්සයිඩ් අධි සාන්ද්‍රරණයක් තිබිලා තියෙනවා. සිලිකන් ඩයොක්සයිඩ් අධි සාන්ද්‍රරණයකට සාමාන්‍යයෙන් කියන නම තමයි ක්වාර්ට්ස්. මේ ක්වාර්ට්ස් සම්පීඩිත කරොත් ඒ කියන්නේ කම්ප්‍රෙස්ඩ් (Compressed) කරොත් හරි එහෙමත් නැති නම් චලනය කරොත් හරි ඒ ක්‍රියාවලිය නිසා පිසෝඉලෙක්ට්‍රිසිටි (Piezoelectricity) කියලා ආරෝපණයක් නිර්මාණය කරනවා. මෙතන ධන ඍණ ආරෝපණ නිර්මාණය කරන ටිකක් විතර සංකීර්ණ විද්‍යාත්මක ක්‍රියාවලියක් තියෙයි. කොහොමහරි අවසානයේ රෝස් ග්‍රැනයිට් යොදාගෙන හදපු මේ ක්වාර්ට්ස් කුටි වල අරමුණ වෙලා තියෙන්නේ "විදුලි පරිපථයක්" ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් සර්කිට් (Electric Circuit) විදිහට සේවය කරන එක.

රෝස් ග්‍රැනයිට්

රජුගේ සහ රැජිනගේ කුටි ඉදිකරලා තියෙන්නේ ක්වාර්ට්ස් 85 ක අගයක් තියෙන ග්‍රැනයිට් වලින්. ඒ විතරක් නෙමේ මේ කුටි සම්බන්ධ කරන උමං මාර්ග සහ පාරවල් හැම එකක්ම ඉදිකරලා තියෙන්නෙත් ක්වාර්ට්ස් විශාල ප්‍රමාණයක් තියෙන ග්‍රැනයිට් වලින්. මේ ග්‍රැනයිට් වලට පීඩනය යොදන්න පුලුවන් නම් ඒ මගින් අති විශාල විදුලියක් ජනනය කරන්න හැකියාව තියෙනවා. ඒ විදිහට ගත්තොත් ගීසාහි මහා පිරමීඩය කියන්නේ "යෝධ බලාගරයක්" ඒ කියන්නේ පවර් ප්ලාන්ට් (Power Plant)" එකක්.

ගීසාහි මහා පිරමීඩය කියන්නේ බලාගාරයක් කියන අදහස අලුත් එකක් නෙමෙයි. 1970 ගණන්වලදී තමයි මේ අදහස මුලින්ම කරලියට ආවේ. හැබැයි ඒ කාලයේදී මේ අදහස ආන්තික සිද්ධාන්තයක් ඒ කියන්නේ ෆ්‍රින්ජ් තියරි (Fringe Theory) එකක් විදිහට තමයි සැලකුවේ. හැබැයි අද වෙනකොට මේ අදහස ෆ්‍රින්ජ් තියරි එකක් නෙමෙයි විද්‍යාත්මක තියරි එකක් කියන්න සාක්ෂි ගොඩක් හොයා ගන්න පුලුවන් වෙලා තියෙනවා.

ක්‍රිස්ටෝපර් ඩන් කියන්නේ මේ තියරි එක ගැන කතා කරන විද්වතෙක්. එයා විශ්වාස කරන විදිහට මේ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ භූගත කුටීරයෙන්. ඔහු කියන විදිහට පිරමීඩයේ පහළ කොටස "ජලධර" එහෙමත් නැති නම් "ඇක්‍යුෆර්ස් (Aquifers)" විදිහට සේවය කරනවා.

ක්‍රිස්ටෝපර් ඩන්

ක්‍රිස්ටෝපර් ඩන් යෝජනා කරන අදහස මම ඔයාට සරලව කියලා දෙන්නම්...

භුගත කුහර හරහා ජලය ගමන් කරන කොට ශබ්ද තරංග නිර්මාණය වෙනවා. මේ තරංග වල ෆ්‍රීකුවන්සි එක පෘථිවියේ ස්වභාවික "කම්පනය" ඒ කියන්නේ වයිබ්‍රේශන් (Vibration) එකත් එක්ක අනුනාද වෙනවා. මේ තරංග පිරමීඩය හරහා ඉහළට ගමන් කරන කොට විශාලනය (Magnify) සහ අවධානය (Focus) යොද ගෙන ශබ්දය ශක්තියක් බවට පරිවර්තනය කරනවා.

හයිඩ්‍රජන් නිර්මාණය කරන රසායනික ප්‍රතික්‍රියාවක් සඳහා තමයි රැජිනගේ කුටිය භාවිතා කරලා තියෙන්නේ. මේ ගැන තහවුරු කරන්න සැලකිය යුතු ප්‍රමාණයක සාක්ෂිත් තියෙනවා. රැජිනගේ කුටියට සම්බන්ධ වෙන ප්‍රධාන අභ්‍යන්තර පතුවළවල් (Shafts) දෙකක් තියෙනවා. උතුරු පතුවළෙන් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ අංශු හොයා ගෙන තියෙනවා. දකුණු පතුවළෙන් හයිඩ්‍රේටඩ් සින්ක් ක්ලෝරයිඩ් අංශු හොයා ගෙන තියෙනවා. මේ රසායනික ද්‍රව්‍ය දෙක එකට එකතු කරාම "හයිඩ්‍රජන්" ජනනය කරන වාෂ්පශීලී ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා.

රැජිනගේ කුටිය

රැජිනගේ කුටියේ ඉදන් තිරස් අතට තියෙන පැසේජ් එකක් හරහා මේ හයිඩ්‍රජන් වායුව මහා ගැලරි (Grand Gallery) එකට එනවා. ග්‍රනයිට් වලින් තමයි මේ මහා ගැලරිය හදලා තියෙන්නේ. ඉතින් හයිඩ්‍රජන් වායුව නිසා ඇති වෙන පීඩනයෙන් ග්‍රැනයිට් සම්පීඩනය වෙලා විදුලිය නිර්මාණය වෙනවා. මෙම විදුලිය මගින් වාතය අයනීකරණය කරලා "සන්නායකතාවක්" ඒ කියන්නේ "කන්ඩක්ටිවිටි (Conductivity)" එකක් ඇති වෙනවා.

මහා ගැලරිය

ඒ විතරක් නෙමේ මහා ගැලරිය ඇතුළේ අනුනාදක යුගල් ඒ කියන්නේ පෙයාර්ස් ඔෆ් රෙසොනේටර්ස් (Pairs Of Resonators) 28 ක් විතර තියෙනවා. මේ මගින් කම්පනය සහ ශබ්දය ඇති කරනවා. ඉතින් හයිඩ්‍රජන් පරමාණු වල තියෙන තරංග සංවිධානය වෙලා මහා ගැලරියේ තියෙන ශබ්ද තරංග එක්ක සුසර වෙනවා. එකෙන් වෙන්නේ මේ ශබ්ද තරංග නිසා මහා ගැලරියේ තියෙන ග්‍රැනයිට් තවදුරටත් උද්දීපනය වෙලා වැඩි විදුලියක් නිර්මාණය වෙන එක.

ධ්වනි ඉංජිනේරුවන් ඒ කියන්නේ ඇකෝස්ටික් ඉන්ජිනියර්ස්ලා (Acoustic Engineers) කියන විදිහට මහා ගැලරියෙන් හර්ට්ස් 440 ක අනුනාදයක් වෙනවා. ඒ විතරක් නෙමේ මහා ගැලරිය ස්වභාවික F-sharp ස්වරයක්ද නිකුත් කරනවා. හර්ට්ස් 440 සහ F-sharp ස්වරය පෘථිවිය සමඟ ස්වභාවිකවම අනුනාද වෙන ශබ්දයක් විදිහට තමයි සලකන්නේ. ගීසාහි මහා පිරමීඩය හදපු අය මේක දැන ගෙන ඉදලා තියෙනවා.

ගැලරිය මුදුනේ තියෙනවා රජුගේ කුටියට යන පතුවළක්. මේ පතුවළේ විවරය අඟල් 8.4 x 4.8 වෙනවා. හරියටම කියනවා නම් රජුගේ කුටිය ඇතුළට හයිඩ්‍රජන් මයික්‍රොවේව්ස් (Hydrogen Microwaves) ‍යන්න අවශ්‍ය වෙන්නෙත් මේ ප්‍රමාණයේ විවරයක්. ස්ථර පහක් තියෙන ග්‍රැනයිට් කදම්බ වලින් තමයි රජුගේ කුටියේ උඩ කොටස නිර්මාණය කරලා තියෙන්නේ. මේ ස්ථර එකිනෙකට වෙන් වෙලා තියෙන්නේ වායු හිඩැස් වලින්. මේ කුටියට "සහන කුටිය" ඒ කියන්නේ "රිලයිවින්ග් චෙම්බර් (Reliving Chamber)" කියලත් කියනවා. එහෙම කියන්න හේතුව වුනේ පිරමීඩයේ බර දරාගෙන ඉන්නේ මෙන්න මේ අභ්‍යන්තර ව්‍යූහයෙන් කියලා ගොඩක් අය විශ්වාස කරපු නිසා.

රජුගේ කුටිය

හැබැයි ක්‍රිස්ටෝපර් ඩන් කියන විදිහට ග්‍රැනයිට් කදම්බ කම්පනය කරලා F-sharp ස්වරය සමඟ අනුනාද කරන්න තමයි මේ කුටිය නිර්මාණය කරලා තියෙන්නේ. තවත් විදිහකට කියනවා නම් රජුගේ කුටිය "හෙල්ම්හෝල්ට්ස් රිසොනේටර් (Helmholtz Resonator)" එකක් විදිහට තමයි සේවය කරලා තියෙන්නේ.

හෙල්ම්හෝල්ට්ස් රිසොනේටර් එකක් කියන්නේ මොකක්ද දන්නවාද?

ඔයා බෝතලයක මුදුනට ඔයාගේ කටය තියලා පිඹිනකොට ශබ්දයක් ඇති වෙනවා නේද?

අන්න ඒකට තමයි හෙල්ම්හෝල්ට්ස් රිසොනේටර් එකක් කියලා කියන්නේ. බෝතලයේ තියෙන ජල ප්‍රමාණය අඩු වැඩි කරාම ශබ්දයේ පිච් (Pitch) එක වෙනස් කරන්න පුලුවන්. ඒ විදිහටම රජුගේ කුටිය ඇතුළේ තියෙන ග්‍රැනයිට් කදම්භ ප්‍රමාණය වෙනස් කරාම ශබ්දයේ පිච් එක වෙනස් කරන්න පුලුවන්.

"ඒ කියන්නේ ගීසාහි මහා පිරමීඩ සංකීර්ණය කියන්නේ විශාල සංගීත භාණ්ඩයක්."

මම ඔයාට මෙච්චර වෙලා කියපු තාක්ෂණික කරුණු ටික තේරුණේ නැති ද?

හරි...

මම තවත් සරල කරලා කියන්නම්...

ගීසාහි මහා පිරමීඩය කියන්නේ විද්‍යාත්මක ක්‍රම වේදයක් හරහා ශක්තිය නිර්මාණය කරන්න, ශක්තිය හාර්නෙස් කරන්න සහ ශක්තිය ෆෝකස් කරන්න පුලුවන් ව්‍යූහයක්...

ගීසාහි මහා පිරමීඩයේ පිටත කොටස හදලා තියෙන්නේ විදුලිය පරිවරණය කරන්න පුලුවන් ඒ කියන්නේ ඉන්සුලේට් (Insulate) කරන්න පුලුවන් අමුද්‍රව්‍යයකින්...

ගීසාහි මහා පිරමීඩයේ ඇතුළත කොටස හදලා තියෙන්නේ විදුලිය සන්නයනය කරන්න පුලුවන් ඒ කියන්නේ කන්ඩක්ට් (Conduct) කරන්න පුලුවන් අමුද්‍රව්‍යයකින්...

ගීසාහි මහා පිරමීඩයේ තියෙන කුටි නිර්මාණය කරලා තියෙන්නේ විදුලිය නිර්මාණය කරන්න පුලුවන් අමුද්‍රව්‍ය වලින්...

2018 වර්ශයේදී විද්‍යාඥයින් පිරිසක් ගුවන් විදුලි තරංග විවිධ ෆ්‍රීකුවන්සි වල යොදා ගෙන පරීක්ෂණයක් කරලා තියෙනවා. අනුනාදිත දිගකින් තියෙන ඒ කියන්නේ රෙසොනන්ට් ලෙන්ග්ත් (Resonate Length) එකක තියෙන විද්‍යුත් චුම්භක තරංග මහා පිරමීඩය සමඟ අන්තර්ක්‍රියා කරනවාද කියලා බලන එක තමයි මේ පරීක්ෂණයේ අරමුණ වුනේ. අනුනාදිත තත්වයක් ඇතුළේ විද්‍යුත් චුම්භක ශක්තිය සංකේන්ද්‍රනය කරන්න හැකියාව ගීසාහි මහා පිරමීඩයට තියෙනවා කියන කාරණය ඔවුන්ගේ මේ පරීක්ෂණයෙන් ඔප්පු වුනා.

මේ පරීක්ෂණයෙන් වසරකට පස්සේ ඒ කියන්නේ 2019 වර්ශයේදී එරික් විල්සන් කියන විද්වතා මහා පරිමාණ තාප ධ්වනි ජනකය (Large-Scale Thermal Acoustic Generator) කියලා පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කරනවා. ග්‍රනයිට් සහ අනෙකුත් පාෂාණ හරහා ඉලෙක්ටෝන මතුපිටට සංක්‍රමණය වන ආකාරය ගැන මේ පත්‍රිකාවේ පැහැදිලි කරනවා.

විද්‍යාව සහ සංගීතය ඒකාබද්ධ කරලා පෘථිවියේ ස්වභාවික වයිබ්‍රේශන් එකත් එක්ක සුසර වෙන බලශක්ති උත්පාදක යන්ත්‍රයක් හදන්න මෙන්න මේ ගීසාහි මහා පිරමීඩය ඉදිකරපු අයට පුලුවන් වෙලා තියෙනවා. වසර දහස් ගණනකට කලින් නිර්මාණය කරපු මේ තාක්ෂණයට පුලුවන් අසීමිත පිරිසිදු බලශක්තිය (Unlimited Clean Energy) ලබා දෙන්න.

ඉතින් මේ විදිහට නිර්මාණය කරපු අසීමිත පිරිසිදු බලශක්තිය පිටතට ගත්තේ කොහොමද?

ඔන්න ඔතනදි තමයි නිකොලා ටෙස්ලා මේ කතාවට සම්බන්ධ වෙන්නේ...

නිකොලා ටෙස්ලා

ජලය සමඟ සම්බන්ධ කරපු තඹ සහ යකඩ කූරු තියෙන ජලධරයක් උඩ තමයි ටෙස්ලාගේ වෝඩන් ක්ලිෆ් කුළුණ ඉදිකරලා තියෙන්නේ. රැහැන් රහිතව වායුගෝලය හරහා ලෝකය වටේ විදුලිය සම්ප්‍රේෂණය කරන්න පුලුවන් තාක්ෂණයක් වෝඩන් ක්ලිෆ් කුළුණට තිබිලා තියෙනවා.

වෝඩන් ක්ලිෆ් කුළුණ 

ගීසාහි මහා පිරමීඩය ඉදිකරලා තියෙන්නෙත් ජලධරයක් උඩ. මේ ගැන තහවුරු කරන්න පුලුවන් සාක්ෂි විදිහට තඹ පයිප්ප සහ යකඩ කූරු රාශියක් මහා පිරමීඩයේ තිබිලා හොයා ගන්න පුලුවන් වෙලා තියෙනවා. මේ තියරි එක ගැන පරීක්ෂණ කරන විද්වතුන් කියන විදිහට පිරමීඩය ඇතුළෙන් ජනනය කරන ශක්තිය කැප්ස්ටෝන් (Capstone) එක හරහා වායුගෝලයට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ගීසාහි මහා පිරමීඩයට තිබිලා තියෙනවා.

පිරමීඩයේ ශක්තිය වගේම ටෙස්ලා කුළුණෙන් ජනනය කරපු අසීමිත පිරිසිදු ශක්තිය පෘථිවියේ ජීවත් වුන සියලුම දෙනාට නොමිලේ ලබා ගන්න හැකියාව තිබුණා...

හැබැයි අපේ අවාසනාවකට ඒක එහෙම වුනේ නැහැ...

මොකද කියනවා නම් ගීසාහි මහා පිරමීඩයට වුනා වගේ ඉතා ඛේදජනක ඉරණමකට ටෙස්ලාගේ වෝඩන් ක්ලිෆ් කුළුණට මුහුණ දෙන්න වුනා...

"ඒ ගැන මම ඔයාට ඊළඟ ආටිකල් එකෙන් කියලා දෙන්නම්."

Giza Power – The Official Christopher Dunn Website
Wikiwand - World Wireless System
The World Wireless System was a turn of the 20th century proposed telecommunications and electrical power delivery system designed by inventor Nikola Tesla based on his theories of using Earth and its atmosphere as electrical conductors. He claimed this system would allow for “the transmission of el…

Latest