Skip to content

මේ වන විට ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය ද දන්නේ නැති වූව ද වඩාත් ප්‍රසිද්ධම ගීතය බවට පත්ව ඇත්තේ " ඩයස් " නැතිනම් "ඩයස්ගෙ නංගි" නම් ගීතයයි. එය මේ වන විට යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 5 ක් ඉක්මවා ඇත. Freeze ( senal kapugeekiyana ), sankha B සහ ken lappen යන නව පරපුරේ නිර්මාණකරුවන් සම්බන්ධ වූ මෙම ගීතය පිළිබඳව සැබවින්ම සාකච්ඡා කිරීමට ඇත්තේ කුමක් ද ?

කෙසේ නමුත් ගීත විචාරයේදී අනාදිමත් කාලයක සිට භාවිතවන රාමුව තුළ හිඳ මෙම ගීතය පිළිබඳව සාකච්ඡා කිරීමටනම් කිසිදු අවස්ථාවක් නැත. ගීතයේ සාහිත්‍ය, එහි ගැඹුරු බව, එය ආනන්දයෙන් පටන්ගෙන නුවණින් කෙළවර වන්නේ ද, එහි යටිපෙලක් පවතීද, මෙය මානව සමාජයට ඉදිරියක් පෙන්වන්නේ ද යනාදී කරුණු සියල්ල තරමක් පසු පසකින් තැබුවහොත් මෙහි සාකච්ඡා කිරීමට වෙනත් කරුණු කිහිපයක් ඇත.

ඉන් පළමුවැන්න වන්නේ ශ්‍රී ලංකාවේ රසිකත්වය මෑත දශක කිහිපය තුළ විශාල වෙනසකට ලක්ව ඇති බවය. යූ ටියුබ්හී මෙම ගීතය මෙතරම් ප්‍රසිද්ධව ඇත්තේ එම නිසාය. එය වරදක් යැයි නොකියමි. මන්ද සංස්කෘතියේ ස්වාභාවය නම් එයයි. සංස්කෘතිය යනු අපගේ ජීවන රටාව වන බැවින් එය දවසින් දවස වෙනස්විය හැකිය. එබැවින් සමාජය ඉල්ලා සිටින දේ කුමක්ද යන්න තේරුම් ගැනීම සඳහා ඩයස්ගේ නංගි හොඳ උදාහරණයක් යැයි කිව හැකිය.

දෙවැන්න වන්නේ සැබවින්ම මෙම ගීතය මෙතරම් සමාජගත වීමට, එමගින් යම් යම් වචන පොදු ජන වහරට එක්වීමට, සමාජ මාධ්‍ය මීම්ස් නිර්මාණය වීමට බලපා ඇත්තේ ගීතයේ අර්ථය හෝ සංගීත නිර්මාණය ආදී කාරණා නොව මියුසික් වීඩියෝව බවය. මියුසික් වීඩියෝව ගත් විට අදනම් ගීතයකට නැතුවම බැරි අංගයකි. පැරණි ගීතවලට ද මියුසික් වීඩියෝ අද නිර්මාණය වන්නේ එම නිසාය.

නමුත් මියුසික් වීඩියෝ සම්බන්ධයෙන් කලක් තිස්සේ පැවත එන විවේචනය වන්නේ එමගින් රසිකයන්ගේ පරිකල්පනය මොට කරන බවය.  උදාහරණ ලෙස දක්වන්නේ නම් කරුණාරත්න දිවුල්ගනේ මහතා ගායනා කරන ඇසට අසුවන මායිමේ නම් ගීතය තුළ මෙසේ දක්වයි. " සියපතක් මත විසුල පිණි කැට, සැඩ සුළං වැද සර සරින් හෙද, මගෙන් රිදවුම් දැවුණු මොහොතක , ඔබේ වත මට නැගේ සිහියට "

මෙයට මියුසික් වීඩියෝවක් මුල් කාලයේ නිර්මාණය නොවුණු බැවින් සුළඟ පැමිණ නෙළුම් මල් වල හැපෙන විට එහි පෙති මත ඇති පිණි කැට වතුරට වැටෙන ආකරයත් සහ ඒ ආකාරයට හඬන පෙම්වතියකගේ රූපයක් ද සිත තුළ පරිකල්පනය විය. නමුත් එයට මියුසික් වීඩියෝවක් නිර්මාණය වූවා නම් එවැනි පරිකල්පනයක් අපට නොතිබෙන්නට ඉඩ ඇත. මන්ද අප අදාළ මියුසික් වීඩියෝවට කොටුවන බැවිනි.

නමුත් මෙම ගීතයට මියුසික් වීඩියෝවක් නිර්මාණය වූව ද වීඩියෝව තුළින් රසිකයින් වෙත වෙනත් පණිවිඩයක් ගෙන යෑමට උත්සාහ කිරීමනම් අගය කළ යුතු අතර රසිකයන් ද එය ග්‍රහණය කර ගැනීමට තරම් සූක්ෂම විය යුතුය. රසිකයින් වෙත මෙසේ පුළුල් පණිවිඩ රැගෙන ගිය මියුසික් වීඩියෝවක් වශයෙන් මෑත කාලයේ ප්‍රධාන වූයේ සුනිල් පෙරේරා මහතාගේ ගාලු පාර නම් ගීතයයි. එම ගීතය තුළ එවකට ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ක්‍රමය මැනවින් නිරූපණය කොට තිබූ අතර මෙම ගීතය තුළ ද එම ලක්ෂණය අන්තර්ගත වී ඇතැයි කීම සාධාරණය.

බැලූ බැල්මට මධ්‍යම පාන්තික මංගල සාදයක මුහුණුවර ඉන් නිරූපණය වන අතර කෙසේ නමුත් අප සමාජයේ පොදු මිනිස් චර්යාවන් හට පංති බේදයක් අදාළ නොවන බවත් සහ සාමාන්‍ය මිනිස් චර්යාව මෙය වන බව අදාළ ගීතයේ මියුසික් වීඩියෝව තුළින් ප්‍රකාශ කිරීමට උත්සාහගත් බවක් පෙනෙන්නට තිබේ. වීඩියෝව මගින් රසිකයාගේ පරිකල්පනය මොට කර සිටිය ද මෙවන් පණිවිඩ හෝ ඒ හරහා සමාජගත කිරීමට උත්සාහ දරන්නේ නම් සැබවින්ම සිදුවිය යුත්තේ එයයි. මන්ද අප දැක ඇති බොහෝ මියුසික් වීඩියෝ තුළ ඇත්තේ අදාළ පද පේලිවලට පමණක් අනුගත වූ නිරූපණයක් වන බැවිනි.

"බොන්න වෙන්නේ ධම්මික පැණිය " යනුවෙන් සඳහන් කර තිබීම සැබවින්ම ගීතයේ භාෂාත්මක රසය රැකීමට හිතා මතා යෙදූ පදයක් ද යැයි නොදනිමි. නමුත් එයින් ද යම් උපහාසයක් මතු කිරීමට උත්සාහගත් බවක් පෙනෙන්නට තිබෙන අතර සමහරවිට තව දශකයක් ගිය තැන මෙම ගීතය අසනවිට අද ශ්‍රී ලංකාවේ පැවති ස්වාභාවය මතක් කර ගැනීමට එම පදයම ප්‍රමාණවත් වේ යැයි සිතේ.

සාහිත්‍යාත්මකව සහ සුභාවිත පාර්ශවයෙන් ගීතයට වටිනාකමක් එකතු කර සිටීමට රසිකයින් වශයෙන් අපට මහත් හැක්කියාවක් නොමැති වූවත් එය කිසිදු වැඩකට නැති ගීතයක් යැයි බැහැර කිරීමට ද අපට අවස්ථාවක් නැත. යම් යම් කරුණු ආශ්‍රයෙන් එම ගීතයට වටිනාකමක් එකතුකර ගැනීමට එම නිර්මාණකරුවන් සමත්ව ඇති බව කීම සාධාරණය.

Latest