Skip to content

මෙය මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි ගෝන්දෙණිය ග්‍රාමයේ වෙසෙන මා විසින් ඔබ හා බෙදාගැනීමට සිතූ කතා පුවතකි.

අපගේ ගමේ සිටින බොහෝ දෙනා යමක් කමක් ඇති මධ්‍යම පාන්තිකයන් කීවොත් නිවැරදිය. බුදුදහම මූලික කරගත් නමුත් කුල මල පිළිබද ඉතා උජාරුවෙන් කතා කරන සාම්ප්‍රදායික දිවි පෙවෙතක් ගත කරන වැඩිහිටි පරම්පරාවකි. ඔවුන්ගේ දරුවන්ගෙන් ඇතැමුන් නිසි අධ්‍යාපනයක් ලබා උසස් රැකියාවන්හි නිරත වන අතර තවත් සමහරුන් පරම්පරාවෙන් එන ගොවිතැනෙහි නිරත වෙමින් ආදායම් ලබයි. ඒ අතරම පහත් ක්‍රියාවන්ගෙන් ගතමනාවක් ලබා ගන්නා නිවටයින් පිරිසක්ද නැතුවාම නොවේ.

කොරෝනා ව්‍යාප්තියත් සමග අධ්‍යාපනය මාර්ගගතව කිරීමට සිදුවිමෙන් පාසල් යන දරුවන්ට විවිධ ගැටලු රාශියකට මුහුණපාන්නට විය. අවශ්‍ය තාක්ෂණික උපාංග තිබුණත් ගුරුවරයා හා සම්බන්ධ වීමට සිග්නල් නොමැතිවීම බොහෝ දෙනා මුහුණපෑ ප්‍රධාන ගැටලුවකි. මාගේ ග්‍රාමයේද මෙම ප්‍රශ්නයට මුහුණපෑ අය බොහෝය. ස්ථාවරව අන්තර්ජාලයට සම්බන්ධ විය හැකි ගෙවල් තිබුණේ අතලොස්සකි.

මේ පිළිබද ගම්මුන් මැසිවිලි නගමින් සිටියදි, වාසනාවකට මෙන් ඩයලොග් ආයතනය විසින් ගමේ උස් තැනක සංඥා කුලුණක් ඉදිකිරීමට කටයුතු සූදානම් වුණි. මේ සදහා අවශ්‍ය ඉඩම් කොටසද ගම්වැසියෙකු විසින් ලබාදුන්නේ අන් අයගේ පහසුව තකාය.

යම් කිසි කාලයකින් අනතුරුව කුලුණේ වැඩ අවසන් වුණේ "දැන් නම් සිග්නල් ප්‍රශ්න නැතිවෙයි" යන වචන පෙළ ගම්මුන්ගෙන් අසන්නට ලැබීමත් සමගයි. කී ලෙසම පෙර නොවූ අයුරින් ගම්වැසියන්ට අන්තර්ජාලයට බාධාවකින් තොරව පිවිසීමට දැන් හැකියාව ලැබී ඇත. නමුත් මේ අලුත සෑදූ කුලුණෙන් වැඩි ප්‍රයෝජන ගත්තේ තවමත් හදුනානොගත් කාලකණ්ණි පිරිසක් විසිනි.

සති කිහිපයක් ගත වන විට කුලුණේ ආරක්ෂාව පිණිස සවි කර ඇති අකුණු සංඥාායකයේ බද කොටස අතුරුදහන්ය. දවස් කිහිපයකින් ඩයලොග් ආයතනය විසින් එය නැවත පිළිසකර කෙරුවේ "අපි ඒත් බැලුවා ඇයි පරක්කු කියලා" යැයිද පවසමිනි. ඉන් ඔවුන් ඇගවූයේ තවත් ප්‍රදේශවල මෙවැනි සිද්ධීන් සිදුවන බවයි. නමුත් අපේ ගමේ කාලකණ්ණි විසින් මෙම හොරකමට තබා තිබුණේ තිතක් නොව කොමාවකි. මීළග ඉලක්කය වූයේ අකුණු සන්නායකයේ Earth වයරයයි. ඉස්තරම් තඹ වලින් නිෂ්පාදිත නිසා ඔවුන්ගේ සාක්කුවලට මෙය ලොකු වාසියකි.

ගමේ ඉහළම ස්ථානයේ පිහිටි කුලුණට වදින අකුණු, දැන් අකුණු සංඥාායකයෙන් ග්‍රහණය කොට භූගත වන්නේ ගම්මුන් හරහාය. ගමේ හතරවටේටම අකුණු විසික්වෙයි. පහුගිය සමයේ පැවති අධික වර්ෂා කාළගුණයත් සමග ගස් කිහිපයකටම අකුණු සැර වැදී කර වී ගියේ ගම් වැසියන් බිය ගන්වමිනි. පාර අයිනේ ඇති විදුලි කණුවලින් ගිනි පුපුරු විසික්වෙද්දී අපට සිහි වන්නේ Earth වයරයට වැඩේ දුන් හොරුන්ගේ මව්පියන්ය.

සෑමවිටම රටේ දේශපාලකයින්ට බැන වැදුනත් රටේ බහුතරයක් ජනතාවගේ ආකල්පද රටේ පිරිහීමට බලපෑ ප්‍රධාන සාධකයකි. මෙවැනි මිනිසුන්ගේ මනාපෙන් තේරී පත්වන නියෝජිතයින්ගේ ක්‍රියා කලාපය ගැන අප පුදුමයට පත් නොවිය යුතුය.  

Latest