Skip to content

"ධන නිධානයක්" වූ "වැලි කතරක්......"

ශ්‍රී ලංකාව දූපතක් බව අප පාසල් යන වියේ ඉගෙණුම ලබා ඇත.දූපතක් වූ ශ්‍රී ලංකාවට අයිති දූපත් සමුහයක් තිබෙන බව පසු කළෙක ඔබ අසා - දැක ඇතිවාට සැකයක් නැත. පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කල්පිටිය කියා කියන්නේද එවැනිම දූපතකි.

බටහිරෙන් මට මුහුදත්, නැගෙනහිරෙන් කලපුවටත් කොටු වී තිබුණු කල්පිටිය දැන් නම් ප්‍රධාන මාර්ගයකින් යා කොට ඇත. එමෙන්ම කල්පිටියට අයත් තවත් දූපත් සමුහයක්ද ඇත. එම දූපත් වලින් කීපයක පමණක් ජනතාව වාසය කරන අතර, සෙසු දූපත් හුදකලාව පවතී.

කල්පිටිය ප්‍රදේශය අතීතයේදී ජනප්‍රියව තිබුනේ ධීවර කර්මාන්තයටය.ඒ අනුව මෙරට දළ කරදිය මත්ස්‍ය අවශ්‍යතාවයෙන් 40% ක් පමණ සපයනු ලබන්නේ කල්පිටියෙන් බව පැවසේ. මුහුදෙන් සහ කළපුවෙන් නෙලා ගන්නා මත්ස්‍ය අස්වැන්නේ ඉතිරි කොටස කරවල බවට පත් වන්නේය. ඒ නිසාම "කල්පිටි  කරවල" වලට තිබුනේ නම් හොද ඉල්ලුමකි. නමුත් වර්තමානය වන විට එම තත්ත්වය වෙනස් වී ඇති බවක් දක්නට ඇත. කල්පිටිය නගරයේ ඇති ඇතැම් ව්‍යාපාරික ස්ථාන වලත් අලවිය සදහා ඇත්තේ මාලදිවයිනෙන් මෙරටට ගෙන්වන කරවල බවට මතයක් ඇත. නමුත් කල්පිටියට උතුරින් පිහිටා ඇති බත්තලන්ගුණ්ඩුව, පල්ලිය වත්ත, උච්චමුනේ වැනි දූපත් වලින් නම් නියම "කල්පිටි කරවල" ලබා ගැනීමේ හැකියාව තවමත් ඇත.

‌                                                                                                                                                                                                                                                                                                              අතීතයේදී කල්පිටිය, කන්දකුලිය වැනි ධීවර ගම්මාන වල සිට කොළඹ බලා ගිය කරවල ලොරි අද දක්නට නැත්තේ කුමන හේතුවක් නිසාද යන්න නොදන්නා කරුණකි. ඒ වෙනුවට කොළඹ සිට කරවල පටවා ගත් ලොරි කල්පිටියට එන බව නම් නොරහසකි.

‌නමුත් 1983 වසරේ දී කල්පිටියට අළුත් ආර්ථිකයක් එකතු විය. ඒ එළවළු වගා කරන්නට කල්පිටියේ ගොවීන් පටන් ගැනීමත් සමගය. 1983 වසරේ පැවති කළු ජූලියෙන් අනතුරුව යාපනයෙන් "රතු ළූණු" කොළඹට පැමිණීම නතර වී ඇත. රතු ළූණු  වගා කරන්නට සුදුසු බිමක් සොයා ගිය කෘෂිකර්ම නිලධාරීන් නතර වී ඇත්තේ කල්පිටියේය. යාපනයේ ඇති "රෙගසෝල්" නම් පස් විශේෂය කල්පිටියේද දකින්නට හැකි වීම ඊට හේතුවයි.

‌රතු ළූණු වගාවෙන් ආරම්භ වූ කල්පිටියේ කෘෂිකර්මාන්තය දිනෙන් දින ඉහළ යන්නට විය. පහත රට පමණක් නොව උඩරට ප්‍රදේශ වල වගා කරන ලීක්ස් හැරුණු විට සෑම භෝගයක්ම මේ වන විට කල්පිටියේ වගා කරති. ඒ අනුව මෙරට පරිභෝජනයට අවශ්‍ය කරන එළවළු 35% ක් පමණ සැපයයීම සිදු කරන්නේ කල්පිටියෙන් බව සංඛ්‍යා ලේඛණ වාර්තා පෙන්වා දෙයි.

දිවා කාලයේදී ලැබෙන තද හිරු රශ්මියත්, රාත්‍රී කාලයේදී  ඇති ශීත කාලගුණයත් මේ වගාවන්ට ඉතා උචිත බව ගොවීන් සදහන් කරයි. එමෙන්ම අඩි 10 කට අඩු ගැඹුරකදී ඇති තරම් ජලය සම්පාදනය කර ගැනීමට හැකි වීමද ගොවිතැන් කටයුතු සාර්ථක කර ගැනීමට ඉවහල් වී ඇත.

මීට වසර 15 – 20 කට පමණ පෙර කල්පිටිය තවත් ආර්ථික සංග්‍රාමයකට අත තැබුවේය. ඒ සංචාරක කර්මාන්තයටය.

කල්පිටිය - උච්චමුනේ දූපතට බටහිරෙන් ඇති "කොරල් පරය" එහි පළමු වන කේන්ද්‍රස්සථානය විය. "බාර් පරය" නමින් ඇතමුන් හැදින්වූ මෙම කොරල් පරය දැක බලා ගන්නට බොහෝ සංචාරකයින් ඇදී එන්නට විය. ඒ අතර වසරේ නොවැම්බර් සිට මාර්තු දක්වා කල්පිටිය මුහුදේ පිණුම් ගසන "ඩොල්ෆින්" මසුන්ද ප්‍රදේශයේ ආර්ථිකය යහපත් අතට පත් කරන්නට දැවැන්ත දායකත්වයක් ලබා දෙන ලදි.

කිසිදු ආර්ථික වටිනාකමක් නොමැතිව මුහුද අයිනේ හුදකලාව තිබූ ඉඩම් බොහෝමයක සංචාරක හෝටල් ඉදිවන්නට පටන් ගන්නේ ඒ අතරය. මේ අතර තවත් පිරිසක් අපූරු වැඩක් කරන්නට පටන් ගත්තේය. විවිධ දේශපාලන නායකයින්ගේ සහාය ඇතිව ආරම්භ වූ එම ක්‍රියාවේ අවසානය වූයේ එතෙක් කාලයක් රජයට අයත්ව තිබූ ඉඩම් වලට පුද්ගලික ඔප්පු සකස් වීමය. පසු කළෙක එම ඉඩම් වලද විවිධ ආකාරයේ හෝටල් ඉදිවන්නට විය.

සංචාරක ව්‍යාපාරයත් සමගම කල්පිටිය ප්‍රදේශය තුළ "සරුංගල් ක්‍රීඩාව" හෙවත් "කයිට් සර්ෆින්"ආරම්භ විය. මෙතෙක් කළක් සරුංගල් ක්‍රීඩාව අප රට තුළ පවත්වා ඇත්තේ දකුණේ අරුගම්බේ මුහුදු තීර‍යේය.නමුත් සරුංගල් ක්‍රීඩාවට අරුගම්බේට වඩා කල්පිටිය සුදුසු බවට හදුනා ගැනීම සංචාරකයින් විශාල වශයෙන් මෙම ප්‍රදේශයට ඇදී එන්නට විය.

මෙම තත්ත්වය නිසාම ඇතැම් සංචාරක හෝටල් ආශ්‍රිතව සරුංගල් ක්‍රීඩාව පුහුණූ කිරීමේ මධ්‍යස්ථානද ආරම්භ වීම සිදු විය. නමුත් එවැනි මධ්‍යස්ථාන වල තිබිය යුතු ප්‍රමිතිය සහ පසු විපරම් කටයුතු නිසි පරිදි සිදු වන බවක් නම් දක්නට නොතිබුණි.

‌සංචාරක ව්‍යාපාරයෙන් අනතුරුව කල්පිටියට සේන්දු වූයේ විදුලියයි. "නොරචෝලේ ලක් විජය විදුලි බලාගාරය" මුලින්ම ආරම්භ විය. ඒ අනුව මෙගාවොට් 900 ක විදුලිය ධාරිතාවයක් කල්පිටියෙන් දැන් ජාතික පද්ධතියට එකතු වන්නේය. මේ අතර තුර සුළං විදුලි බලාගාර කීපයක්ද කල්පිටියේ ඉදිවිය. කල්පිටිය කලපුව සහ මුහුද ආසන්නයේ මෙම සුළං බලාගාර ඉදිවන්නට විට. එක් සුළං බලාගාරයකින් මෙගා වොට් 05 ක විදුලි බලයක් නිෂ්පාදනය කරන බව කියති. මේ කුමන ආකාරයට හෝ මේ වන විට ජාතික විදුලිය අවශ්‍යතාවයෙන් 45% ක් සැපයීම සිදු කරන්නේ කල්පිටියෙනි.

කල්පිටියට යනු අතීත ස්මරණ කීපයක්ම ඇති ප්‍රදේශයකි. කල්පිටියේ ඇති ඇතැම් ස්ථාන අනුරාධපුර යුගයටත් වඩා පැරණි බව කියති. කල්පිටිය නගරයේම පිහිටි ඕලන්ල බලකොටුව, ඕලන්ද පල්ලිය, තලවිල ශාන්ත ආනා සිද්ධස්ථානය, අල්ලිරාණි මාළිගාව එවැනි පෞරාණික වටිනාකමක් ඇති ස්ථාන කීපයකි.

‌                                                                                                                                                එමෙන්ම කල්පිටිය අර්ධද්වීපයේ ඇති ස්වාභාවික වැලි කඳු ද නිරීක්ෂණය කළ යුතු ස්ථානයක් වන්නේය. මෙම වැලි කදු වලට ආවේණික විවිධ ශාඛ වර්ග, කුඩා ප්‍රමාණයේ පක්ෂීන් සහ සතුන්ද ඒ සම්බන්ධයෙන් ගවේෂණය කරන්නෙකුට හදුනා ගත හැකි වන්නේය.

‌                                                                                                                                                තවද කල්පිටියට ආවේණික තවත් පිරිසක්ද එම ප්‍රදේශයේ ජීවත් වෙයි."ඒ කල්පිටි බූරුවන්ය".

කල්පිටිය, පුත්තලම සහ මන්නාරම ප්‍රදේශ වලින් කොළඹට ලුණු සහ කරවල ප්‍රවාහනය කිරීම සදහා අතීතයේදී බූරුවන් මෙරටට ගෙන්වා ඇති බව කියති. දැනට මෙම ප්‍රදේශයේ ජීවත් වන්නේ "සෝමලියාණු බූරුවන්ය". බලා ගත් අත පැය ගනන් බාලා ගෙන සිටීම මෙම සතුන්ගේ විශේෂත්වයකි. කල්පිටිය වැල්ලේ සරුවට වැවේව "කලපු අන්දර" බූරුවන්ගේ ප්‍රියතම ආහාරයකි.

‌                                                                                                                                       කල්පිටියෙන් බූරුවන් වද වී යාමේ තර්ජනයක් ඇති බව ඒ සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ කරන ලද සොයා බැලීම් වලදී  අනාවරණය විය. එමෙන්ම තවත් පිරිසක් බූරුවන් හොර රහසේ වෙනත් ප්‍රදේශ වලට රැගෙන යන බවක්ද දක්නට තිබුණි. එමෙන්ම නිදැල්ලේ සිටින බූරුවන් විසින් විවිධ වගාවන්ට හානි කරන බවටද චෝදනාවක් ඇත. එමෙන්ම කිසිදු වග විභාගයක් නොමැතිව මාර්ගයන් ඔස්සේ බූරුවන් දිව යාම නිසා අනතුරු රැසක්ද පසුගිය කාලය තුළ සිදුවී ඇත. මේ සියල්ලන්ටම විසදුමක් ලෙස හුදකලා දූපතක බූරුවන් ගාල් කිරීමට පසුගිය කාලයේ යෝජනාවක් ඇති විය. නමුත් අවසානාවකට එම යෝජනාවද කාගේ හෝ හමස් පෙට්ටියකට දමා වසා ඇත්තේය. ඒ එම යෝජනාව "බූරු අදහසක්" කොට සළකා වන්නට ඇත.

කල්පිටිය සම්බන්ධයෙන් මෙම ලිපියෙන් අනාවරණය කර ඇත්තේ ඉතාමත්ම සුළු ප්‍රමාණයකි. එසේ නොමැතිව කල්පිටිය ගැන ලියන්නේ නම් දවස් කීපයක් කියවන්න තරම් පිටු ගානක් ලිවිය හැකි වන්නේය. අවසන් කොට මේ සියල්ල සම්පිණ්ඩනය කළ විට පැවසිය හැක්කේ අතීතයේදී වැලි කතරක් ලෙස හැදින්වූ කල්පිටිය අද මේ වන  විට ධන ආකාරයක් බවට පත්ව ඇති බව පමණක්මය.

(ඡායාරූප සහ තොරතුරු අන්තර් ජාලය ඇසුරිණි)

Latest