Skip to content

ධාරාණිපාත වර්ෂාවෙන් බීජිං නුවරට දැඩි බලපෑම්! (Audible)

2023 ජුලි 31 වන දින බීජිං හි මෙන්ටූගු දිස්ත්‍රික්කයේ ගංවතුරට ලක් වූ වීදි සහ​ ගසාගෙන යන මෝටර් රථ​.
audio-thumbnail
China Flooding
0:00
/1:24

ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් චීනයේ බීජිං නගරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය විසින් දක්වා තිබේ. නායයෑම් තත්වයන් ද, ගංවතුර හේතුවෙන් මහාමාර්ග ජලයෙන් යටවීම, අබලන් වීම වැනි කාරණා අතර; මෝටර් රථ ද විශාල ප්‍රමාණයක් ජලයේ ගසාගෙන යාම් ද දර්ශණ වල සටහන් වී තිබේ.

දොක්සුරි සුළි කුණාටුවෙහි (Typhoon Doksuri) බලපෑම හේතුවෙන් උතුරු චීනයේ සමහර ප්‍රදේශවලට එදා මෙදා තුර ඇති වූ දරුණුතම ගංවතුර තත්වයට මුහුණ පෑමට සිදුවී ඇති බව වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වේ.

එරට​ රාජ්‍ය රූපවාහිනියේ සහ සමාජ මාධ්‍යවල පළව තිබූ දර්ශන වලට​ අනුව, දින දෙකක් පුරාවට ඇද හැලුණු අධික වර්ෂාපතනයෙන් චීන අගනුවර බටහිරට වන්නට පිහිටි තදාසන්න ප්‍රදේශයේ ඉහළ ගිය ජල මට්ටම නිසා නිවෙස් වලට මෙන්ම මහාමාර්ග වලටද විශාල වශයෙන් හානි සිදුවී ඇති අයුරු දක්නට ලැබී ඇත​.

චීන​ බලධාරීන් විසින් විදෙස් මාධ්‍යයන් වෙත කරුණු දක්වා ඇති ආකාරයට පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තවත් 27 දෙනෙකු අතුරුදහන් වී ඇති අතරම​, අයහපත් කාලගුණික තත්වය හමුවේ පුද්ගලයන් 127,000 කට වැඩි පිරිසක් නගරයෙන් ඉවත් කිරීමට ද කටයුතු කර ඇත​.

බීජිං කාලගුණ විද්‍යා සේවාව විසින් පෙන්වා දෙන ආකාරයට චීනය ගිම්හාන මාසවලදී සුළි කුණාටු සහ අධික වර්‍ෂාපතනයන්ට මුහුණ දෙන නමුත්, මෙවර වාර්‍ෂික වර්ෂාපතනයේ වාර ගණන සහ එහි බලපෑම දේශගුණික විපර්‍යාස හමුවේ උග්‍ර වී ඇතැයිද​ සඳහන් කර තිබේ.

Latest