Skip to content

දෙමළ ජාතික මහජන පෙරමුණේ වඩමාරච්චි නැගෙනහිර කාන්තා සංවිධායිකාව බන්ධනාගාරයට.

යාපනය , වඩමාරච්චි නැගෙනහිර තලයාඩි ක්‍රීඩාංගනයේදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධාකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් දෙමළ ජාතික මහජන පෙරමුණේ වඩමාරච්චි නැගෙනහිර කොටසේ කාන්තා සංවිධායිකාව ලබන 07 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය අද(05) නියෝග කෙරිණ.

එලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ කිලිනොච්චිය , මරදන්කේණි පදිංචි සට්ගුණදේවි ජගතීෂ්වරන් නැමති කාන්තාවකි.

දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පසුගිය 02 ජනහමුවක් සඳහා තලයාඩි ක්‍රීඩාංගනය වෙත පැමිණ සිටි අවස්ථාවේ එම ස්ථානය අසලට පැමිණ සිටි බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු හා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් සමඟ උණුසුම් වචන හුවමාරුවක් හටගෙන තිබිණ.

සිද්ධිය වන අවස්ථාවේ ඊට යාබදව පිහිටි තාලයඩි රෝමානු කතෝලික මිශ්‍ර විදුහලේ සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයටද බාධා සිදුව ඇති අතර පොලිස් නිලධාරීන් පැමිණ මන්ත්‍රීවරයාට ඉවත්වෙන ලෙස දැනුම්දී තිබියදී එම පොලිස් නිලධාරීන් හා මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් හටගැණින.

මරදන්කේණි පොලිස් නිලධාරීන් පැමිණ සිද්ධිය සමතයකට පත්කොට මන්ත්‍රීවරයා සහ පැමිණි පිරිස  එම ස්ථානයෙන් ඉවත්කිරීමට පියවරගනු ලැබීය.

බුද්ධි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා විභාග මධ්‍යස්ථානයක් පැවැත්වෙන ස්ථානයේ දේශපාලන රැස්වීමක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් සැකකාර කාන්තාව මරදන්කේනි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.

පොලිසිය අධිකරණය වෙත දැනුම්දී සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත්ය.

නඩු විභාගය ලබන 07 වැනිදා නැවත කැඳවීමට නියමිත අතර, මරදන්කේනි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Latest