Skip to content

දන්සැල් කථා වස්තුව.....

වෙසක් දිනයක් උදා වන්නේ අවුරුද්දටම එක වතවක් පමණි. බුදුහිමියන්ගේ උත්පත්තිය, බුදුවීම සහ පිරිනිවන් පෑම වෙසක් දිනයේදී බෞද්ධයින් විසින් සිහි කිරීම සිදු කරයි. සත්‍ය ලෙසම වෙසක් දිනයේදී කළ යුතු වන්නේ කවදා හෝ තමන් යන - එන තැනක් වෙනුවෙන් පිනක් - දහමක් කිරීමය. ඒ නිසාම ඇතමුන් ගමේ පන්සලට කෙසේ වෙත්ත ටිකක් ප්‍රසිද්ධ පන්සල් වලට නම් ගොස් සිල් සමාදම් වීම ඇතුළු ආගමික වතාවත් සිදු කරති.ඒ ගමේ පන්සල හැමදාම දකින නිසා වන්නට ඇති.

මේ අතර තවත් පිරිසක් වෙසක් බලන්න යති. වෙසක් බලන්න යනවා කියන්නේ අපූරු වැඩකි.රාත්‍රී කාලයේ වෙසක් බලන්න ගිය අයට නම් කියන්න හැකි මෙන්ම නොකියා සිටිය යුතු අත්දැකීම්ද නැතිව නොවේ.

වෙසක් දිනයේදී පෙර සදහන් කර ඇති ආකාරයට ආගමික වතාවත් වලට අමතරව තොරණ ඉදිකිරීම,වෙසක් කූඩු ප්‍රදර්ශණය සහ දන්සැල් පැවැත්වීමද බොහෝ දෙනෙකු විසින් සිදු කරති. අතීතයේදී නම් වෙසක් බලන්න ආවේ කොළඹය. "යමං බංඩො වෙසක් බලන්න....."කියා ඩෙස්මන්ද සිල්වා ගීතයක් ගායනා කළෙත් ඒ නිසා වන්න ඇති. ලස්සන තොරණක් අසලින් ගොස් වෙසක් පහන් කූඩුවක් දෙකක් බලා දන්සැලකින් කෑම ටිකක් කුසට දා ගත්තාහම ඉතිං නිවං ගියා වගේය. ඉස්සර වගේ වෙසක් බලන්න දැන් කොළඹම යන්නම ඕනේ නැත. ඒ මොකද කියනවා නම් ඔය මුලින් කියලා තියන කරුණු කාරණා ගොඩාක් දැන් දැන් ගම් වලද තියන නිසාය. කැරකෙන වෙසක් කූඩු වලට වඩා ඇවිදින වෙසක් කූඩුද දැන් කොළඹට වඩා තියෙන්නේ ගමේය.

මේ කථාව දන්සැලක් ගැනය.වෙසක් දින කීපය තුළ පවත්වන දන්සැල් ගැන සොයා බැලීම අපේ පුරුද්දය.ඒ වෙනත් අය වාගේ දන්සැලට ගොස් බඩ - කට පුරා වැළදීම සදහා නම් නෙමෙයි.ගමේ පවත්වන දන්සැල ගැන රටටම කියන්න ඕනේ නිසාය.

වෙසක් කාලයට හලාවත - පුත්තලම පැත්තේ දන්සැල් අඩුය.හැබැයි පොසොන් පොහොයට නම් අඩියෙන් අඩියට දන්සැල්ය. මොකද පොසොන් උත්සවයට සහභාගි වෙන්න බොහෝ දෙනෙක් අනුරාධපුරය - මිහින්තලේ, තන්තිරිමලේ වාගේ පැති වලට යන්නේ හලාවත - පුත්තලම හරහා වීම නිසා වෙන්න ඇති.

කොහොම වුනත් හලාවත - ආරච්චිකට්ටුව පැත්තේ තරුණයෝ ටිකක් එකතු වෙලා වෙසක් දන්සැලක් දෙන්න තීරණය කලා. ආරච්චිකට්ටුව කිව්වහම වෙන වෙන දේවල් එක පාර මතකයට ආවත් හැම කෙනෙක්ම එක වාගේ නෙමෙයි කියන්න මේ දන්සැලත් හොද උදාහරණයක්. ඉතිං දන්සැල ගැන දැන ගත්තු මෙම ලියුම්කරු තවත් මාධ්‍ය සගයෙකු සමග ඒ පැත්තට ගියේ මාධ්‍යට තොරතුරු වාර්තා කරන්න ඕනේ කියලා හිතා ගෙන.

අපි හිතුවාටත් වඩා ජයටම දන්සැල සංවිධානය කරලා තිබුණා. දන්සැලට එන ඕනම කෙනෙකුට හිතේ හැටියට කාලා - බීලා යන්න පුළුවන්. හැබැයි පාර්සල් හදලා කෑම ගෙනියන්න අවසර නෑ. අපි දෙන්නත් ඉතිං අපේ වැඩේ කරගෙන ගියා. වැඩේ අවසන් අහවර වෙලා කැමරා ආම්පන්න එහෙම හකුළන කොට සංවිධායක මණ්ඩලයේ තරුණයෙක් අපි ළගට ආවා.

"අයියේ බත් ටිකක් කාලා යමු නේද..? "ඔහු අපිට ආරාධනය කලා. දවල් ආහාරය ගන්න තව ටිකක් වෙලාව තියන නිසා අපි ඒ ආරාධනය ප්‍රතික්ෂේප කලා.

"එහෙම නම් අයියේ බත් පාර්සල් දෙකක් බැදලා දෙන්න?.... "නැවතත් එම තරුණයා විමසා සිටියා.

"ඒක හරි නැහැනේ මල්ලි. මෙතන කෑම පාර්සල් කරන්න දෙන්නේ නෑනේ. ඒක හින්දා ඕනේ නෑ....." අපි දෙන්නා පිළිතුරු දුන්නා.

"ඕක මොකක්ද අයියේ. දන්සැල කරන්නේ අපි.ඉතිං කෑම පාර්සල් දෙකක් දෙන්න බැරිනම් අපෙන් වැඩක් තියනවා.....? ඔහොමම ඉන්නකෝ මම ටක් ගාල් එන්නම්...." තරුණයා පිටත්වන්න සුදානම් වුණා.

"මල්ලි මෙහෙම කරමු. මෙතනදී බත් පාර්සල් ගන්න එක හොද නෑ.ඒ නිසා අපි අන්න අර ගහ යටට වෙලා ඉන්නම්.මල්ලි එතෙන්ට එන්න....." තරුණයාට සමුදුන් අපි දෙදෙනා දන්සලට මදක් දුරින් පිහිටි දැවැන්ත මාර ගසක සෙවනක් තුළට වී ටික වේලාවක් සිටියේය.

ඔන්න ඔය අතර තුර දන්සැල පැත්තේ ඉදලා මැදි වයසේ සිටින කෙනෙක් අප දෙදෙනා හමුවට පැමිණියේය.

"මහත්තයලා පත්තරෙන්ද?" ඔහු විමසා සිටියේ අප දෙදෙන අත තිබූ කැමරා බෑග් දෙක දෙස බලමිනි."

ඔව් අයියා..මොකක්ද වෙන්න ඕනේ..."මගේ මාධ්‍ය සගය පිළිතුරු දුන්නේය."

මහත්තයෝ මම ලස්සන කථාවක් කියන්නම්. හැබැයි ඒ කථාව මහත්තයලා පත්තරේට ලියන්න ඕනේ...."හෙතෙම කියා සිටියේය.

වෙන්න යන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට නොහැකි අප දෙදෙනා ඔහු දෙස බලා සිටින්නට විය.

"මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්නම කෙල්ලෝ. ගෑණු ළමයි පොඩි කාලෙම මගේ ගෑණි උන්ව දාලා වෙන මිනිහෙක් එක්ක ගියා. ඊට පස්සේ මම දවසේ කුලී වැඩ කරලා තමයි කෙල්ලෝ දෙන්නට කන්න - අදින්න දුන්නේ. පහුගිය දවස් වල හරියට කුළියක් කර ගන්න බැරිව ගිය හින්දා ගෙදර හරියේ හාල් ඇටයක් නෑ. ළමයි දෙන්නට දවල්ට කන්න දෙන්න දෙයක් ගෙදර පැත්ත පළාතක නෑ. ඒ මදිවට ළමයි කියනවා වෙසක් බලන්න යන්නේ නැද්ද කියලා. මම ඉතිං මේ දන්සැලට ඇවිත් එතන ඉන්න අයට කිව්වා මට බත් පාර්සලයක් දෙන්න කියලා. එතකොට එතන ඉන්න අය කියනවා බත් දෙන්නේ වන්දනාවේ යන අයට විතරයි කියලා. හිතන්නකෝ මහත්තයෝ ගෙදරට හාල් ඇටයක් ගෙනි යන්න විධියක් නැති මම කොහොමද වන්දනාවේ යන්නේ කියලා....." ඔහුගේ කතාවට අපි දෙන්නාටම දෙන්නට පිළිතුරක් නොවීය.

"හරි තරහා නැතිව අන්න අතෙන්ට වෙලා ටිකක් ඉන්නකෝ. අපි ඔයාගේ වැඩේ කරන්නම්...." මා මිතුරා කියා සිටියේය.

වැඩි වේලාවක් ගත වන්නට පෙර සිමෙන්ති කොට්ට දෙකක් පමණ විශාල බත් පාර්සල් දෙකක් අප දෙදෙනා අත තැබුවේ දන්සැලේ සංවිධායකයෙකු වන පෙර අපත් සමග කථා කළ තැනැත්තාය.

"එහෙමනම් අයියේ  වැඩේ හරිනේ...." ඔහු ආපසු කඩිනමින් දන්සැල දෙසට යන්නට විය.

බත් පාර්සල් දෙක අතට ගත්තු අප දෙදෙනාම එකම තීරණයකට එවිටත් පැමිණ සිටියේය.

"මේ බත් පාර්සල් දෙක අර මනුස්සයාට දෙමු. පව්නේ...." මාධ්‍ය සගයා සහ මම තීරණය කළේය. නැවතත් යතුරු පැදියට නැගුණු අප දෙදෙනා ගමන් කළේ ඊට ටික වේලාවට පෙර තමන්ගේ දරුවන්ගේ කුස ගින්නේ දුක අප සමග කියා සිටි පුද්ගලයා හමුවටය.

දැන් බත් පාර්සල් දෙකම ඔහු අතේය."දැන් හරිනේ.ඔය බත් පාර්සල් දෙක අරගෙන ගිහිං ළමයින්ට කන්න දෙන්න.අපි යන්නම්...."අපි පිටත් වන්නට සුදානම් විය."ඕකනේ මහත්තයෝ කියන්නේ. පුළුවන්කම තියන කොටනේ මේ මිනිස්සු අපිට කන්න ටිකක් දෙන්නේ නැත්තේ....."හෙතෙම කියා සිටියේය.

අප දෙදෙනාම එක වරම නැවතත් හැරී බැළුවේ දන්සැල දෙසය. ලොකු ලොකු වාහන වලින් ජැන්ඩියට ඇද පැළද ගෙන බහින නෝනාලා - මහත්තරු,තරුණ - තරුණියන් දන්සැලෙන් බඩ - කට පුරා වළදා පිටත්ව යන ආකාරයක් ඈතින් අපට දක්නට ලැබුණි.

(සැ.යු.ඵල කර ඇති ඡායාරූපය කථාවට අදාල නැත)

Latest