Skip to content

දැනට මරණ තුනයි.ලියාපදිංචි සැපයුම්කරුවන් හතරක් සිටියදී ''භූපී වැකේන්'' පිටට ගියේ කොහොමද?

මේ වන විට මහත් ආන්දෝලනයට තුඩු දී තිබෙන ''භූපී වැකේන්'' නමැති මාරාන්තික නිර්වින්දන ඖෂධය සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුවේදීද අවධානය යොමු කෙරුණි.

මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් විපක්ෂ මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා විමසා සිටියේ මෙවැනි ඖෂධ ගෙන්වන ලියාපදිංචි සැපයුම්කරුවන් සිව් දෙනෙක් සිටියදී එම පටිපාටියෙන් බැහැරව හදිසි මිලදී ගැනීම් ලෙස දක්වා වෙනත් සපයුකරුවෙකුගෙන් එම ඖෂධය ගෙන්වීමට කටයුතු කළේ ඇයිද යන්නයි.

මේ වන විට එම ඖෂධය භාවිතය නිසා මරණ තුනක් සිදුව ඇති මොහොතක එම මරණ ගැන මෙන්ම ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් ද පැහැදිලි වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය යුතු බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

එම මාරාන්තික නිර්වින්දන ඖෂධය ගෙන්වීමට රු. බිලියන 3.8ක් වැය කර  ඇති බවටද වාර්තා වෙන බවයි ඔහු සඳහන් කළේ.

''දූෂණ විරෝධී පනත ගැන කතා කරද්දී සෞඛ්‍ය අමාත්‍යංශයේ සිද්ධ වෙනවා විශාල දුෂණයක්. සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන්වල තියෙන භූපී වැකෙන් කියන නිර්වින්දන බෙහෙත. මේ වෙන කොට මරණ තුනක් සිද්ධ වෙලා තියෙන්නේ. මේක ගෙන්න කවුද අනුමැතිය දුන්නේ. මේ වර්ගයේ බෙහෙත් ගේන්න. ලියාපදිංචි සැපයුම්කරුවන් හතර දෙනෙක් ඉන්න කොට හදිසි මිලදී ගැනීම් කියමින් කැබිනට් මණ්ඩලයම ප්‍රෝඩාවට ලක්කරමින් මේ මිලදී ගැනීම් සිදුකරන්නේ. මේක කොහොමද අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කෙනෙකුගේ පාලනයට යටත් වුණේ. මොකද NMRA එකේ අනුමැතිය අරන් කරන්න ඕන වැඩක්. තුන්දෙනෙක් මැරිලා තියෙනවා. ඊළඟට මේ ඖෂධය ගෙන්වන ඒජන්තවරයා කවුද කියල මේ පාර්ලිමේන්තුවට දැනුම්දෙන්න ඕනේ. මේ බෙහෙත් ගෙන්න කීයක් ගියද? ආරංචි විදිහට නම්  බිලියන 3.8ක් වියදම් කරලා තමයි ලියාපදිංචි සපයුම්කරුවෙක්ගෙන පිට වෙනත් සපයුම්කරුවෙක් හරහා ගෙනල්ල තියෙන්නේ. ඒකට උත්තර දෙන්න ඕනේ. මේ ඒජන්තවරයා හරහා තවත් ලෝකල් මෙඩිසින් ගණනාවක් ගෙනල්ල තියෙනවා කියල ආරංචියි. ගෙනාවනම් මොනවද ගෙනාවේ නැත්නම් නැහැ කියල මේ සභාවට කියන්න.'' යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

Latest