අඟහරුටත් පෘථිවියට මෙන්ම සෘතු සහිත කාලගුණයක් තිබී ඇත්ද...
පිළිතුර, ඔව්...
අඟහරු ග්‍රහයා මතත් පෘථිවියේ පවතින කාලයට සමාන තෙත් සහ වියලි කාලවල් පැවතී ඇති බවට පසුගිය දිනයකදී කියුරියෝසිටි සාක්ෂි සටහන් කර තිබේ.
නාසා ආයතනය මගින් අඟහරු වෙත දියත් කළ කියුරියෝසිටි රෝවරය විසින් රතු ග්‍රහලෝකයේ පැරණි මඩ සහිත තැන් වියළීමේදී ඉරිතැලීම් නිසා ඇතිවන ෂඩාස්‍රාකාර රටා සොයාගෙන ඇති අතර, එය චක්‍රීය තෙත් සහ වියලි කාල පරිච්ඡේදයන් ගැන ඉඟි කිරීමක් බව නාසා හි විද්‍යාඥයන් පවසයි. එසේම එය අඟහරු ග්‍රහයා මත වරක් ජීවය පවතින්නට ඇතැයි යන මතය සනාථ කිරීමේ අවස්ථා ද වැඩි කරයි.
පෘථිවියේ ජීවය ආරම්භ වූයේ කෙසේදැයි විද්‍යාඥයින් අතර සම්පූර්ණයෙන් තහවුරු කළ මතයක් නොමැත. නමුත් පවතින එක් න්‍යායකට අනුව ගොඩබිමෙහි පවතින තෙත් සහ වියලි තත්ත්‍වයේ අඛණ්ඩ චක්‍ර ක්ෂුද්‍රජීවීන්ගේ ජීවයට අවශ්‍ය සංකීර්ණ රසායනික ගොඩනැඟිලි කොටස් එකලස් කිරීමට උපකාරී විය. නාසා හි කියුරියෝසිටි අඟහරු රෝවරය විසින් සොයා ගන්නා ලද හොඳින් සංරක්ෂණය කර ඇති ඉපැරණි මඩ ඉරිතැලීම් රටා අඟහරු මෙහෙයුමේ කණ්ඩායමට එතරම් වැදගත් වන්නේ එබැවිනි.
කියුරියෝසිටි රෝවරය විසින් සොයා ගන්නා ලද මඩ රටා අනුව, පුරාණ අඟහරු ග්‍රහයා මත පෘථිවියට සමාන සෘතුමය කාලගුණයක් තිබී ඇති අතර, එය තෙත් සහ වියලි සෘතු ලෙස චක්‍රීයව මාරු වී තිබේ. මේ සෘතුමය චක්‍ර RNA සහ මූලික ප්‍රෝටීන වැනි ජීවය සඳහා අවශ්‍ය වඩාත් සංකීර්ණ ගොඩනැඟිලි කොටස් සෑදීමට උපකාර වන්නට ඇති බවට ඒ අනුව විද්‍යාඥයන් සැක පළ කරයි.
වරක් අඟහරු ග්‍රහයා සතුව විල් සහ ගංගා ආකාරයෙන් ද්‍රව ජලය තිබූ බවට ඕනෑ තරම් සාක්ෂි මේ වනවිට සොයාගෙන තිබේ. නමුත් මේවා සිදු වූයේ උල්කාපාත බලපෑම් හෝ ගිනිකඳු පිපිරීම් වැනි අයිස් දියවීම සිදු කරන එක් වරක් සිදු වූ සිදුවීම් වලින්ද, නැතහොත් ඒවා වඩාත් ගෝලීය වශයෙන් බැඳී කාලගුණ චක්‍රයක් ලෙස ක්‍රියා කළාදැයි යන්න පැහැදිලි නැත.
අඟහරුගේ ගේල් ආවාටයේ සැතපුම් 3ක් (කිලෝමීටර් 5ක්) උසින් පිහිටි ෂාප් කන්දේ ( Mount Sharp) අවසාදිත ස්ථරවල නිරීක්ෂණ වල යෙදී සිටි රෝවරය මුලින්ම මේ මඩ ඉරිතැලීම් දුටුවේ “Pontours” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පාෂාණ තට්ටුවකින් නියැදියක් කැණීමේදීය. ඒ ඛනිජ ලවණ වලින් පොහොසත් මැටි අඩංගු ව තිබූ පාංශු ස්ථරයක් සහ සල්ෆේට වලින් පොහොසත් වූ ඉහළ ස්ථරයක් අතර සංක්‍රාන්ති කලාපයක් තුළය. මැටි තුල සාමාන්‍යයෙන් ඛනිජ ලවණ සෑදෙන්නේ ජලීය පසුබිමක වන අතර, ජලය වියළී යන විට එහි සල්ෆේට සෑදේ.
මේ එක් එක් ප්‍රදේශයන්හි පවතින ඛනිජ ලවණ වර්ග ගේල් ආවාට ඉතිහාසයේ විවිධ යුග පිළිබිඹු කරයි.
මඩ වියළෙන විට, එහි ඉරිතැලීම් හට ගනියි. මෙවැනි ඉරිතැලීම්, ෂාප් කන්දට පහළින් ඇති මඩ එකතුවක් සහිත පාෂාණ පුවරුවක් වන “ ඕල්ඩ් සෝකර් ” හිදී මීට පෙර කියුරියෝසිටි විසින් සොයා ගන්නා ලදී. නමුත් එම ඉරිතැලීම් රටා මගින් සෝකර්ගේ මඩ එක් වරක් සෑදී වියළී ගිය බවට සාක්ෂි සපයන අතර, Pontours හි මඩ, එය නිර්මාණය කළ ජලයට නැවත නැවත නිරාවරණය වීම නිසා ෂඩාස්‍රාකාර රටාවක් ඇති වී ඇති බව පර්‍යේෂකයන්ගේ අදහසයි.
නව අවසාදිත තැන්පත් වීමත් සමඟ සංක්‍රාන්ති කලාපයේ ෂඩාස්‍ර ඉරිතැලීම් ඇති වීමෙන් පෙන්නුම් කරන්නේ තෙත්-වියළි තත්ත්‍වය දිගු කාලයක් පුරා පැවති බවයි. කියුරියෝසිටි හි නිරවද්‍ය ලේසර් උපකරණය වන ChemCam මගින් ඉරිතැලීම්වල දාර දිගේ දැඩි සල්ෆේට් කබොල්ලක් තහවුරු කරන ලදී. මේ ලවණ සහිත කබොල නිසා මඩ ඉරිතැලීම් ඛාදනයට ඔරොත්තු දෙන අතර එමඟින් ඒවා වසර බිලියන ගණනක් සංරක්ෂණය කර ඇත.
"අඟහරු ග්‍රහයාගේ පුරාණ දේශගුණය මෙතරම් නිත්‍ය, පෘථිවිය වැනි තෙත්-වියළි චක්‍ර ඇති එකක් බවට අප දුටු පළමු ප්‍රත්‍යක්ෂ සාක්ෂිය මෙයයි. එය වඩා වැදගත් වන්නේ ජීවයට තුඩු දිය හැකි අණුක පරිණාමය සඳහා තෙත්-වියළි චක්‍ර උපකාරී වන නිසයි." IRAP (Institut de Recherche en Astrophysique et Planétologie) හි CNRS පර්යේෂණ විද්‍යාඥයෙක් වන විලියම් රැපින් පවසයි.
ෂඩාස්‍ර සියල්ලම සෙන්ටිමීටර 4 ක් පමණ පළල වන අතර, ජල ගැඹුර සෙන්ටිමීටර 2 ක් පමණ වූ බව රපින් සහ ඔහුගේ කණ්ඩායම ඇස්තමේන්තු කර ඇත. මෙම පාෂාණ කොටස් වසර බිලියන 3.6ක් පමණ පැරණි බව පෙනේ. පෘථිවියේ ජීවය මුලින්ම මතු වූ බව අප දන්නා කාලය මෙයයි.
ජලය ජීවිතයට අත්‍යවශ්‍ය වුවද, ජීවය පැවතීම සඳහා එහි යම් සමතුලිතතාවයක් ද අවශ්‍ය වේ. ජීවයට තුඩු දිය හැකි රසායනික ප්‍රතික්‍රියා ප්‍රවර්ධනය කිරීම සඳහා සෘතු භේදය වැදගත් වන්නේ එබැවිනි. මේ තෙත්-වියළි චක්‍ර, බහු අවයවක සෑදීමට තුඩු දෙන මූලික ප්‍රතික්‍රියා පෝෂණය කරන රසායනික ද්‍රව්‍ය සාන්ද්‍රණය පාලනය කරයි. ඇමයිනෝ අම්ල සහ නියුක්ලියෝටයිඩ වැනි කුඩා කාබනික ද්‍රව්‍ය වලින් RNA සහ ප්‍රෝටීන වැනි ජීවයට අත්‍යවශ්‍ය අණු සෑදීමට සෘතුමය කාලගුණය උපකාරවත් විය හැකිය. රසායනාගාර පරීක්ෂණ මගින් පෙන්වා දී ඇත්තේ බහුඅවයවීකරණය සහ ඝනීභවන ප්‍රතික්‍රියා වැනි රසායනික ප්‍රතික්‍රියා සඳහා බොහෝ විට විජලනය වීමේ කාල පරිච්ඡේද අවශ්‍ය වන බවයි.
"මෙය කාබනික ද්‍රව්‍ය බහුඅවයවීකරණය වීම සහ එය ස්වයං-සංවිධානය වීම පිළිබඳව වන යෝධ අත්හදා බැලීමක් වන අතර, ඒ සියලු පරීක්ෂණ අඟහරු මත සංරක්ෂණය කර ඇත," Rapin පවසයි.
“කියුරියෝසිටි මගින් වසර 11ක් පුරාවට පුරාණ අඟහරු ග්‍රහයා මත ක්ෂුද්‍ර ජීවයට ආධාර කළ හැකි බවට ඕනෑ තරම් සාක්ෂි සොයාගෙන තිබෙනවා. දැන් එම මෙහෙයුම, ජීවයේ සම්භවය ප්‍රවර්ධනය කළ හැකි තත්වයන් පිළිබඳ සාක්ෂිත් සොයාගෙන තියෙනවා. මෙම පත්‍රිකාව කියුරියෝසිටි විසින් කරන ලද සොයාගැනීම් පුළුල් කර ඇතැයි " මෙහෙයුමේ ව්‍යාපෘති විද්‍යාඥ, දකුණු කැලිෆෝනියාවේ NASA හි ජෙට් ප්‍රචාලන රසායනාගාරයේ Ashwin Vasavada පැවසීය.
Pontours හි මඩ ඉරිතැලීම් සොයා ගැනීම ඇත්ත වශයෙන්ම විද්‍යාඥයින්ට ජීවයේ නටබුන් පිළිබඳ අධ්‍යයනය කිරීමට ඔවුන්ගේ පළමු අවස්ථාව සලසා දී ඇත. පෘථිවි භූ තැටි නිරන්තරයෙන් එහි මතුපිට ප්‍රතිචක්‍රීකරණය කරන නිසා එහි ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය හෝ ක්‍රියාකාරිත්වය පෝෂණය කරන සංයෝග වල ඉතිහාසය පිළිබඳ උදාහරණ වළලා දමයි. අඟහරු ග්‍රහලෝකයේ භූ තැටි නොමැති බැවින් ග්‍රහලෝකයේ ඉතිහාසයේ බොහෝ පැරණි කාල පරිච්ඡේද සංරක්ෂණය කර ඇත.
"ජීවයට හේතු විය හැකි ස්වභාවික ක්‍රියාවලීන් පිළිබඳ මතකයක් තවමත් පවතින අඟහරු වැනි ග්‍රහලෝකයක් අසල තිබීම අපගේ වාසනාවකි," පර්‍යේෂණ විද්‍යාඥ රැපින් පැවසීය.
Reference:
https://mars.nasa.gov/msl
අඟහරුගේ ජීවය එහි සෘතුමය කාළගුණය හා බැඳුණු එකක් බවට කියුරියෝසිටි රෝවරය මගින් ප්‍රබල සාක්ෂියක්..
