Skip to content

කපුටු මොළේ නොදත් බලේ

මිනිසා හැරෙන්නට සත්ව ලෝකයේ සිටින බුද්ධිමත්ම සත්වයින් පිළිබද ඇතිවන කතාබහේදී එහි මුල්තැන ගන්නේ වානර විශේෂයි. ඊට අමතරව ඩොල්ෆින් මාලුවන්, සුනඛයින්, තල්මසුන් සහ අලි ද ඒ අතර වෙයි. එසේ බුද්ධිමත්යැයි ප්‍රසිද්ධ සතුන් බොහෝමයක් ක්ෂීරපායීන් ය. නමුත් මේ අතර ක්ෂීරපායී නොවන, මිනිසුන් අතර අඩු තක්සේරුවකට ලක්වූ සත්වයෙක්ද වෙයි. ඒ කපුටා නැතහොත් කාක්කා ය. ඇතැම් පාලකයින්ව අප විසින් කපුටන්ට සමාන කළත් මේ ලිපිය අවසානයේදී එය කපුටන්ට කළ නින්දාවක් බව ඔබට වැටහේවි.

Corvidae නම් පවුලට අයත්වන "කපුටා" ගැන කියවෙන දෑ, ඒ හා සමානව එම පවුලේ සාමාජිකයින්ටද අදාළය. ඔවුන් සියල්ලෝම පාහේ දගකාර, බුද්ධිමත් කුරුලු විශේෂයන්ය. ඒ අතරින් New Caledonian නම් කපුටු විශේෂය වඩාත් බුද්ධිමත් විශේෂය ලෙස හදුනාගෙන ඇත. ඔබ විසින් Game Of Thrones කතා මාලාව නරඹා ඇත්නම් එහි නිතරම දක්නට ලැබෙන Ravens නම් කපුටාට මදක් විශාල කුරුලු විශේෂයද මෙම පවුලේ සාමාජිකයෙකි.

කපුටන්, ආහාර සොයාගැනීම සහ විවිධ සංකීර්ණ කටයුතු වලදී ඒවා පහසු කර ගැනීමට මෙවලම් භාවිතා කරයි. එමෙන්ම කඩා ආහාරයට ගතයුතු ගෙඩි වර්ග ආදිය වාහනවලට යටවීම සදහා මාර්ගයට අත්හැර, ඒවා කැඩී ගිය පසු මාර්ගයේ වාහන නොමැති වේලාවක් බලා ආහාරයට ගැනීමද ඔවුන්ගේ බුද්ධිය විදහා පාන්නකි. කූඩු තුළ සිර කිරීම වැනි ඔවුන් හට හානිදායක ක්‍රියා සිදුකරන පුද්ගලයින්ව අවුරුදු ගණනාවක් තිස්සේ තම මතකයේ තබාගන්නා කපුටන්, අදාළ පුද්ගලින්ව දුටු විගස හදුනාගෙන ඔවුන් මතට අසූචි හෙළීමද සිදු කරන බව පර්යේෂණයන්ගෙන් හෙළි වී තිබෙනවා. ඔවුන් සතුව ඇති මෙම ගැටලු විසදීමේ හැකියාව අවුරුදු 7 ක මනුෂ්‍ය පැටියෙකු සතු හැකියාව හා සමාන වන බව විද්‍යාඥයින් පවසනවා.

විද්‍යාත්මක පර්යේෂණ

2014 දී කපුටන්ගේ බුද්ධිය පරීක්ෂා කිරීම සදහා පර්යේෂණ කිහිපයක් සිදුවුණි. ප්‍රථමයෙන්ම නළයකින් අඩක් පමණ වන තෙක් වැලි සහ ජලය පිරවූ නළ දෙකක් කපුටෙකු ඉදිරියේ තබන්නේ ඌට ළගා විය නොහැකි පරිදි එතුළට සැහැල්ලු ආහාරයක් ඇතුළත් කොටය. ඒ අසල ගල් කැට කිහිපයක්ද තබා කපුටාගේ හැසිරීම නිරීක්ෂණය කරන ලදි. වැලි සහිත නළයේ ඇති ආහාරය වෙත තමන්ට ළගා විය නොහැකි බව තේරුම්ගැනීමට කපුටා සමත්විය. පසුව, ජලය ඇති නළය තුළට ගල්කැට අත්හැර, ආහාරය ඉහළට ගන්නා කපුටා අවසානයේදී එය කෑමට ගන්නේ පර්යේෂණය සාර්ථකත්වයට පත්කරමිනි.

දෙවන පර්යේෂණයේදී යොදාගත්තේ, අඩක් පමණ වන තෙක් ජලය පිරවූ, ඒ මත පාවෙන ආහාරයක්ද සහිත නළයකි. නළය අසලින් විවිධ ඝනත්වයන්ගෙන් යුත් වස්තූන් තබා තිබුණි. ඒවා අතරින් ජලයේ ගිලෙන වස්තූන් පමණක් නිවැරදිව තෝරාගෙන, ඒවා ජලයට දමමින් ආහාරය ඉහළට ගැනීමට කපුටා සමත් විය.

තවත් පර්යේෂණයකදී ජලය වැඩියෙන් සහ අඩුවෙන් පිරවූ නළ දෙකක් වූ අතර එයින් ජලය වැඩි නළය තුළට වස්තූන් අත්හරිමින් ආහාරය ඉක්මනින් ලබාගැනීමට කපුටා ක්‍රියාකරන ලදී. මෙම පර්යේෂණයන්ට අමතරව තවත් පර්යේෂණ කිහිපයක් සිදුවූ අතර ඒවාද ඇතුළත්ව සියලුම පර්යේෂණයන් පහත වීඩියෝවෙන් නැරඹිය හැකියි.

එහි වූ පළල් හා පටු නළ පර්යේෂණයේදී සහ U සන්ධියකින් නළ සම්බන්ධ කර තිබූ පර්යේෂණයේදී කපුටා ආහාරය ලබාගත්තත් අපේක්ෂිත ප්‍රතිචාර දැක්වීමට සමත් වී නැහැ. ඒ අනුව කපුටාගේ සාර්ථක සහ අසාර්ථක පර්යේෂණ සලකා බැලීමේදී ඔවුන්ගේ බුද්ධිය අවුරුදු 7 ක ළමයෙකුගේ බුද්ධියට සමාන වන බව නිගමනය කොට තිබෙනවා.

මා පෙර සදහන් කළ New Caledonian නම් බුද්ධිමත් කපුටන් හට මෙවලම් තැනීමට පවා හැකියාව තිබෙනවා. ළගා විය නොහැකි දුරක තිබෙන ආහාර ලබාගැනීම පිණිස, දී ඇති මෙවලම් එකිනෙක සම්බන්ධ කොට සංකීර්ණ මෙවලම් තනා ආහාරය ලබාගන්නා අයුරු පහත පර්යේෂණ වීඩියෝවන්ගෙන් ඔබට නැරඹිය හැකියි. ආහාරය ලබාගැනීම සදහා එම ඇටවුම් පිළිබදවද නිසි අවබෝධයකින් සිටිය යුතුය.

මිනිසුන්ගෙන් හැරෙන්නට, මෙවැනි සංකීර්ණ මෙවලම් නිර්මාණ දක්නට හැක්කේ ඇතැම් වානරයන්ගෙන් පමණි.


2020 වර්ෂයේදී පැවති පර්යේෂණවලදී New Caledonian කපුටන් හට සංකීර්ණ ඇටවුම් කිහිපයක් ලබාදෙන්නේ ඒවා තුළ ආහාරද ගබඩා කොටය. ආහාරය ලබාගැනීමටනම් දී ඇති මෙවලම් අතරින් එම ඇටවුම විවෘත කිරීමට සමත්වන මෙවලම තෝරාගත යුතුය. පළමු පර්යේෂණයේදී, ප්‍රථමයෙන් කපුටාට ඇටවුම දැකීමට සලස්වන අතර ඉන් විනාඩි 5 කට පසුව සුදුසු මෙවලම තෝරාගැනීමට අවස්ථාව ලැබේ. එහිදී මෙවලම් පහක් ලබාදුන් අතර ඒවායින් ඇටවුම විවෘත කළ හැකිවන්නේ මෙවලම් තුනකට පමණයි. ඇටවුම වෙත යෑමට අවසර ඇත්තේ කපුටා විසින් මෙවලමක් තෝරාගැනීමෙන් විනාඩි 10 කට පසුවය.

එම පර්යේෂණයේදී කපුටා විසින් නිවැරදිව සුදුසු මෙවලම තෝරාගෙන, අදාළ කාල පරාසය ගතකොට, මෙවලම ඇටවුම වෙත ගෙනගොස්, ඒ ආධාරයෙන් ඇටවුමද විවෘත කොට ආහාරය ලබාගත් බව විද්‍යාඥයින් සදහන් කරනවා.

පහත වීඩියෝව එවැනි තවත් සිත්ගන්නාසුලු පර්යේෂණයක් පිළිබදවයි..

කාක්කොන්ට මෙච්චර බුද්ධියක්?

වානරයන් හා සැසදීමේදී කපුටන්ට ඒ හා සමාන බුද්ධියක් ඇතැයි සැලකුවත් ඔවුන්ගේ මොළයන්හි ප්‍රමාණ බොහෝ සෙයින් වෙනස්ය. එසේනම් කපුටන්, මෙවැනි බුද්ධියකට හිමිකම් කීමට බලපෑ හේතූන් මොනවාද?

ක්ෂිරපායින්ගේ මොළයේ ඇති මස්තිෂ්ක බාහිකය මත තොරතුරු සන්නිවේදනය සිදුවන ස්නායු රැහැන්, තිරස් හා සිරස් අතට පිහිටා ඇත. සිතීම, ඉගෙනීම, මතකය ආදී ප්‍රධාන ක්‍රියාවලීන් රැසක් මෙම ප්‍රදේශයේදී සිදුවේ. පක්ෂීන්ගේද මේ හා සමාන ස්නායු පිහිටීමක් දක්නට ලැබෙන අතර ඔවුන්ගේ බුද්ධියට පොදු සහ ප්‍රධානම හේතුව එයයි.

විද්‍යාඥයින්ගේ සොයාගැනීම්වලට අනුව සත්වයෙකුගේ බුද්ධියට, මොළයේ නියුරෝන ඝනත්වයද බලපායි. එවිට නියුරෝන අතර අවකාශය අවම වන නිසාවෙන් ඒ අතර ඉතා හොද සන්නිවේදනයක් සිදුවේ. ඇතැම් පක්ෂීන් සතුව ඉතා ඉහළ නියුරෝන ඝනත්වයකින් යුත් මොළ ඇති බව 2016 දී කළ පර්යේෂණයකින් අනාවරණය වූ අතර එම ඇතැම් පක්ෂීන් අතර කපුටු පවුලේ සාමාජිකයින්ද විය. ඔවුන්ගේ නියුරෝන ඝනත්වය වානරයින් හා සැසදීමේදි ඉතා ඉහළ අගයක් ගන්නා ලදි.

ඉහළ බුද්ධියක් ඇති කපුටන් හට මිනිසුන් සමග තොරතුරු හුවමාරු කළ හැකිදැයි සොයාබැලීමට මේ වන විටත් පර්යේෂණ සිදුවෙමින් පවතියි. එහි මුල් පියවරක් ලෙස කපුටන් ලවා මගතොට බැහැරව ගොස් ඇති සිගරට් සහ වෙනත් කුණු කසල එක්කිරීමට ඔවුන්ව පුහුණු කර තිබෙනවා. නමුත් කපුටන් ඇතුළු අනෙකුත් සතුන්ගේ මොළ අධ්‍යනය මගින් අප හට මීටත් වඩා ප්‍රයෝජනවත් දෑ හදුනාගෙන ඒවා සමාජයේ යහපත උදෙසා යොදාගත හැකියි. එය හසා සහ බෲනෝගේ කතාබස් තුළින්ද අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙන්නකි.

Latest