Skip to content

මුළු දිවයිනම ආවරණය වන පරිදි අද සිට ඩෙංගු මර්ධන වැඩසටහනක්

මේ වසරේ ජනවාරි මස පළමු වනදා සිට මේ දක්වා දිවයිනේ වාර්තා වී ඇති සමස්ථ ඩෙංගු රෝගීන් ගණන 51,768 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍යය අංශ වාර්තා පෙන්වා දෙයි.

එම රෝගීන් ගෙන් 50%ට ආසන්න පිරිසක් බස්නාහිර පළාත තුලින් එනම් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුලින් වාර්තා වී ඇති බව ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරයි. ඊට අමතරව පුත්තලම, කෑගල්ල, රත්නපුර, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශවලද රෝගීන් සැලකිය යුතු වශයෙන් හඳුනාගෙන ඇති බව එම ඒකකය පවසයි.

මේ හේතුවෙන් බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා යන දින තුන සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි විශේෂ ඩෙංගුමර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍යය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගුමර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසයි .

මේ වනවිට ඩෙංගු රෝගය හේතුවෙන් මිය ගිය පිරිස 33ක් දක්වා ඉහල ගොස් ඇති අතර හෙට පැවැත්වෙන මෙම ඩෙංගු මර්ධන වැඩසටහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 61ක්  තුළ ක්‍රියාත්මක කිරීමට ද සූදානම් කර ඇති බව බලධාරින් පවසයි.

Latest