Skip to content

ශාන්ත ජර්මේන් වල සිටුවරයාගේ (Count Of Saint Germain) කතාව

1745 වර්ශයේදී ලන්ඩන් නගරයේ සැරිසරපු අමුතු පුද්ගලයෙක්ව ඔත්තු බැලීමේ චෝදනාව මත ආරක්ෂක අංශ විසින් අත්තඩංගුවට ගන්නවා. මේ අමුතු පුද්ගලයාගේ නම විදිහට ඔහු ලබා දුන්නේ "ශාන්ත ජර්මේන් වල සිටුවරයා " එහෙමත් නැති නම් " කවුන්ට් ඔෆ් සේන්ට් ජර්මේන් (Count Of Saint Germain)' කියන නම. වසර 200 කට ආසන්න කාලයක් පුරාවටම මේ සිටුවරයා ලෝකයේ සිදුවුන සෑම වැදගත් දේශපාලනික සිදු වීමකට වගේ සහභාගි වෙලා තියෙනවා. ඒ හැම වෙලාවකම ශාන්ත ජර්මේන් වල සිටුවරයාට තිබිලා තියෙන්නේ වයස අවුරුදු 45 ක පෙනුමක්. සමහරු නම් කියන්නේ ඔහු ජීසස් ක්‍රිස්තුස් වහන්සේගේ කාලයේදීත් ජීවත් වෙලා හිටපු කෙනෙක් කියලා. තවත් සමහරු කියන්නේ මේ සිටුවරයා අදටත් ජීවත් වෙලා ඉන්නවා කියලා.

"මම අද ඔයාට කියලා දෙන්නේ මෙන්න මේ ශාන්ත ජර්මේන් වල සිටුවරයාගේ කතාව."

ශාන්ත ජර්මේන් වල සිටුවරයා

1745 වර්ශය කියන්නේ එංගලන්තයට ගොඩක් දුෂ්කර වුන කාලයක්. ප්‍රංශ රාජාණ්ඩුවේ සහයෝගය ලබපු ජාකොබ්වාදීන් මේ වෙනකොට එඩින්බර්ග් නගරය අල්ල ගෙන හිටියේ. ඒ වර්ශයේ ගිම්හාන කාලය වෙන කොට පාලකයින් එංගලන්තය පුරාම හිටපු ඔත්තු කරුවන් ඇල්ලීම, සිරගත කිරීම සහ මරණ දඩුවම ලබා දීම කියන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරලා තිබුණා. කෝපි කඩයක හිටපු ශාන්ත ජර්මේන් වල සිටුවරයා විදිහට තමන්ව හදුන්වපු මේ පුද්ගලයාව ආරක්ෂක අංශ විසින් අත්තඩංගුවට ගන්නවා. ඔත්තු බැලීමේ චෝදනාව යටතේ අත්තඩංගුවට ගත්ත මේ සිටුවරයාගෙන් ප්‍රශ්න කරන කොට ඔහු ගැන හරි පුදුම දෙයක් දෙයක් ආරක්ෂක අංශයේ නිළධාරීන්ට හොයා ගන්න පුලුවන් වෙනවා.

"ඒ තමයි ශාන්ත ජර්මේන් වල සිටුවරයාට සෑම යුරෝපීය භාෂාවක්ම සහ ලෝකයේ තිබෙන වෙනත් ප්‍රධාන භාෂා කිහිපයක්ම තේරුම් ගන්න සහ කතා කරන්න පුලුවන් කියන එක."

හැබැයි මේ සිටුවරයා ඔහුගේ සෑබෑ නම මොකක්ද සහ ඔහු පැමිණියේ කොහෙන්ද කියන ප්‍රශ්න වලට නම් උත්තර  දුන්නේ නැහැ. හෝරස් වල්පෝල් කියන්නේ මේ කාලයේ හිටපු ලේඛකයෙක්. හෝරස් කියන විදිහට ශාන්ත ජර්මේන් වල සිටුවරයාට ගායනා කරන්න, සංගීතය කම්පෝස් කරන්න වගේම වයලීනය හොඳින් වාදනය කරන්නත් හැකියාව තිබිලා තියෙනවා. මේ හැකියාවන් නිසා සිටුවරයාව දකින කෙනෙක්ට ඔහු ප්‍රසිද්ධ සංගීතඥයෙක් කියලත් හිතෙන්න ඉඩ තියෙනවා. වයස අවුරුදු 45ක් වගේ පෙනුන ශාන්ත ජර්මේන් වල සිටුවරයාව මීට කලින් කවුරුත් දැකලා තිබුණේ නැහැ. සිරගත වෙලා ඉන්න කාලයේදී මේ සිටුවරයා ඇසින් දුටු සාක්ෂිකරුවෙකුට විතරක් දැන ගන්න පුලුවන් ආකාරයේ ඓතිහාසික තොරතුරු රාශියක් ආරක්ෂක අංශ වෙත දීලා තියෙනවා.

හෝරස් වල්පෝල් 

ශාන්ත ජර්මේන් වල සිටුවරයාව බාර වෙලා හිටපු ජේලර්වරු වාර්තා කරපු විදිහට ඔහු අතිශයින්ම අමුතු පුද්ගලයෙක්. එංගලන්තයේ කැරැල්ල සිදුවුන මේ කාලෙයේදී විදේශිකයින් සිරගත කරන්න බලධාරීන්ට විශේෂ හේතුවක් අවශ්‍ය වුනේ නැහැ. ඒ වගේ කාලයකදී ඔහුගේ සැබෑ නම, වයස සහ උපන් ස්ථානය ගැන කිසිම විස්තරයක් දුන්නේ නැති ශාන්ත ජර්මේන් වල සිටුවරයාව බලධාරීන් විසින් නිදහස් කරනවා. සෑම භාෂාවක්ම කතා කරන්න, සංගීතය කම්පෝස් කරන්න සහ තමන්ගේ ඇස් දෙකෙන් දැක්කා වගේ ඉතිහාසය ගැන කියන්න පුලුවන් වුන මේ අමුතු මිනිසා ගැන ප්‍රවෘත්තිය ඉතා ඉක්මනින්ම සමාජය පුරා පැතිර යනවා. මේ අමුතු මිනිහා ගැන සමාජය පුරා පැතිරිලා ගියපු කතන්දර අහපු වේල්ස් හි කුමාරයා ශාන්ත ජර්මේන් වල සිටුවරයාට පණිවිඩයක් යවනවා තමන්ව ඇවිත් මුණ ගැහෙන්න කියලා.

වේල්ස් හි කුමාරයා

"හැබැයි වැඩක් වෙන්නේ නැහැ. ඒ වෙනකොටත් ශාන්ත ජර්මේන් වල සිටුවරයා අතුරුදහන් වෙලා ඉවරයි."‌                                                            

කුරුස යුද්ධයෙන් පස්සේ ජෙරුසලමේ ඉදන් ආපහු එංගලන්තයට ආපු සොල්දාදුවන් අතර ප්‍රසිද්ධියට පත් වෙලා තිබුණ පුරාවෘත්ත කතාවක් තියෙනවා. ඒ පුරාවෘත්තය තමයි කාර්ටපිලස්ගේ කතාව (The Story Of Cartaphilus) කියන පුරාවෘත්තය. මේ පුරාවෘත්ත කතාව ඉබාගාතේ යන යුදෙව්වා (The Wandering Jew) කියන නමින්ද හදුන්වනවා.

ඉබාගාතේ යන යුදෙව්වා

ඒ පුරාවෘත්තයේ තියෙන්නේ මෙන්න මේ විදිහට. ජීසස් ක්‍රිස්තුස් වහන්සේ එයාගේ කරේ කුරුසය තියාගෙන පාර දිගේ යන කොට ගොඩක් මහන්සියක් දැනිලා තියෙනවා. ඉතින් මේ නිසා ජීසස් ක්‍රිස්තුස් වහන්සේ ටික වෙලාවක් නතර වෙලා ඉදලා තියෙනවා. මෙතනදි පාරට ආපු කාර්ටපිලස් ජීසස් ක්‍රිස්තුස් වහන්සේට කියලා තියෙනවා විවේක ගන්න එක නතර කරලා ඉස්සරහට යන්න කියලා. ඒ වෙලාවේ ජීසස් ක්‍රිස්තුස් වහන්සේ කාර්ටපිලස්ට මෙන්න මෙහෙම කියනවා

"මම ගිහින් විවේක ගන්නම්. හැබැයි මම නැවත පැමිණෙන තුරු ඔබට විවේක ගන්න වෙන්නේ නැහැ."

ජීසස් ක්‍රිස්තුස් වහන්සේ කියපු දේ අර්ථය මොකක්ද කියන එක කාර්ටපිලස්ට තේරුණේ නැහැ. වසර ගණනාවක් ගත වුනාට පස්සේ කාර්ටපිලස්ගේ මිතුරන් සහ පවුලේ අය වයසට ගිහින් මරණයට පත් වෙනවා. හැබැයි කාර්ටපිලස් දවසකින්වත් වයසට ගියේ නැහැ. ජීසස් ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීම සිදුවන තෙක් අමරණීය පුද්ගලයෙක් විදිහට පෘථිවිය පුරා ඇවිදින එක තමයි කාර්ටපිලස්ගේ ධෛවය වුනේ.

කාර්ටපිලස්ගේ කතාව මිනිසුන් අතර පුරාවෘත්තයකට වඩා වැඩි දෙයක් වුනේ නැහැ. හැබැයි 1228 වර්ශයේදී ඒ හැමදෙයක්ම වෙනස් වෙනවා. තමන්ගේ ඇස් දෙකෙන් දැක්කා වගේ ඉතිහාසය ගැන කියන්න පුලුවන් අමුතු මිනිහෙක් සමඟ ගත්ත රාත්‍රී ආහාර වේලක් ගැන ආර්මේනියානු බිෂොප්වරයෙක් වාර්තා කරනවා. මේ අමුතු මිනිහා බිෂොප්වරයාට තමන්ව හදුන්වලා දීලා තියෙන්නේ කාර්ටපිලස් කියන නමින්.

එක දවසක් අමුතු මිනිහෙක් පැරිසියට ඇවිත් තියෙනවා. මේ පුද්ගලයා ඇඳගෙන ඉදලා තියෙන්නේ දියමන්ති අල්ලපු කළු පාට ඇදුමක්. ඒ විතරක් නෙමේ ඔහුගේ සෑම ඇඟිල්ලකම දියමන්ති අල්ලපු රත්තරන් මුදු තිබිලා තියෙනවා. අවුරුදු 45 ක් විතර පෙනුමක් තිබුණ මේ අමුතු පුද්ගලයා මිනිසුන්ට ඔහුව හදුන්වලා දුන්නේ ශාන්ත ජර්මේන් වල සිටුවරයා කියන නමින්. පැරිසියේ තිබුණ ඉහළ සමාජ පන්තියේ ආකාර්ෂණය ක්ෂණිකව දිනා ගන්න මේ සිටුවරයාට පුලුවන් වෙලා තියෙනවා.

පැහැදිලිවම මේ සිටුවරයා වැදගත් පුද්ගලයෙකු විදිහට පෙනුනත් ඔහු පැමිණියේ කොහෙන්ද ඔහු මෙතරම් මුදලක් හම්බ කරේ කොහොමද කියන ප්‍රශ්න වලට උත්තර නම් කිසිම කෙනෙක් ගාව තිබුණේ නැහැ. ඉතා ඉක්මනින්ම ශාන්ත ජර්මේන් වල සිටුවරයා පැරීසියේ ජීවත් වුන බලවත්, වැදගත් සහ ධනවත් පවුල් විසින් සංවිධානය කරපු සෑම රාත්‍රී භොජන සංග්‍රහයක අනිවාර්‍යෙන්ම ඉන්න ඕනේ අමුත්තෙක් බවට වෙනවා. මේ සිටුවරයා දක්ෂ පියානෝ වාදකයෙක්. ගායකයෙක්. එගේම තමයි ශාන්ත ජර්මේන් වල සිටුවරයා කියන්නේ මිනිසුන්ගේ ඇස් වලින් කඳුළු එන තරම් ලස්සනට වයලීනය වාදනය කරපු කෙනෙක්.

ශාන්ත ජර්මේන් වල සිටුවරයා කියන්නේ ඕනෑම කෙනෙකු විස්මයට පත් කරන ආකාරයේ සංවාද‍යක් ගොඩ පුලුවන් වුන දක්ෂයෙක්. ප්‍රංශ, ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ඉතාලි, රුසියානු, ලන්දේසි, ජර්මානු සහ පෘතුගීසි වගේ භාෂාවන් තේරුම් ගන්න සහ කතා කරන්න විතරක් නෙමෙයි ඕනෑම සංවාදයකට ගැලපෙන පරිදි චීන, අරාබි, පුරාණ ග්‍රීක, ලතින් සහ සංස්කෘත කියමන් උපුටා දක්වන්නත් මේ සිටුවරයාට මනා හැකියාවක් තිබිලා තියෙනවා. ශාන්ත ජර්මේන් වල සිටුවරයා කියන්නේ විද්‍යාව, කලාව, දර්ශනය සහ දේශපාලනය වගේ අංශ පිළිබඳ අසීමිත දැනුමක් තිබුණ කෙනෙක්.

"හැබැයි මේ සිටුවරයා ඇත්තටම ප්‍රවීණයෙක් වෙන්නේ ඉතිහාසය කියන අංශයේදි."

අටවැනි හෙන්රි, නීරෝ, ක්ලියෝපැට්‍රා වගේ ප්‍රසිද්ධ ඓතිහාසික චරිත ගැන මනා අවබෝධයක් ඔහුට තිබිලා තියෙනවා. වසර සිය ගණනකට කලින් මිය ගියපු අය ගැන මෙච්චර හොදට දන්නේ කොහොමද කියන ප්‍රශ්නය මිනිසුන් මේ සිටුවරයාගෙන් අහලා තියෙනවා.

එතකොට ශාන්ත ජර්මේන් වල සිටුවරයාගේ උත්තරය වෙලා තියෙන්නේ මොකක්ද දන්නවාද?

"මම එතන හිටියා"

ජීසස් ක්‍රිස්තුස් වහන්සේව තමාට පෞද්ගලිකව හම්බවුන බවත් මේ සිටුවරයා කියලා තියෙනවා. මේක ඇත්තක් නම් සිටුවරයාගේ වයස අඩුම ගානේ අවුරුදු දාහක් විතර වෙන්න ඕනේ. ඉතිහාසය හොදින් හදාරපු ඉතිහාසඥයෙක් ශාන්ත ජර්මේන් වල සිටුවරයාගෙන් ඉතිහාසය ගැන අහපු හැම ප්‍රශ්නයකටම මේ සිටුවරයා නිවැරදිව උත්තර දීලා තියෙනවා.

ශාන්ත ජර්මේන් වල සිටුවරයා කියන්නේ සංගීතඥයෙක්, කලාකරුවෙක් සහ ඉතිහාසඥයෙක් විතරක් නෙමෙයි. මේ සිටුවරයාට ඇල්කෙමි පිළිබඳ විශාල දැනුමක් තිබිලා තියෙනවා. ඔයා අහලා තියෙනවාද දාර්ශනිකයාගේ ගල එහෙමත් නැති නම් ෆිලොසොපර්ස් ස්ටෝන් (Philosopher's Stone) එක ගැන. දාර්ශනිකයාගේ ගල කියන්නේ කෙනෙක්ට අමරණීයත්ව ලබා දෙන්න පුලුවන් දෙයක්. ඒ විතරක් නෙමේ මූලික ලෝහ ඕනේ එකක් රත්තරන් බවට හරවන්නත් මේ ගලට හැකියාව තියෙනවා. දාර්ශනිකයාගේ ගල, එමරල්ඩ් ටැබ්ල්ට එක, තෝත් කියන ඊජිප්තු දෙවියා සහ ඇට්ලැන්ටිස් ශිෂ්ටාචාරය එක්ක බැදුණ ලස්සන ජනප්‍රවාදයක් තියෙනවා. ඒක මම ඔයාට වෙන දවසක කියලා දෙන්නම්.

මේ කාලයේ වෙද්දි පැරිසියේ හිටපු විශිෂ්ට මනසක් තිබුණ දාර්ශනිකයෙක් වුන වෝල්ටෙයාර් පවා විස්මයට පත් කරන්න ශාන්ත ජර්මේන් වල සිටුවරයාට පුලුවන් වෙලා තියෙනවා.

වෝල්ටෙයාර්

වෝල්ටෙයාර් මේ සිටුවරයාව හදුන්වලා තියෙන්නේ කොහොමද දන්නවාද?

"කිසිදා මිය නොයන සෑම දෙයක්ම දන්න මිනිසා."

අහන්නකෝ. ශාන්ත ජර්මේන් වල සිටුවරයාගේ කතාවේ සුපර්නැචුරල් ගතියක් තියෙනවා කියන එක මම පිළිගන්නවා. ඒ වුනාට මේ හැමදෙයක්ම කියලා තියෙන්නේ මේ සිටුවරයාව ඇස් දෙකෙන් දැකපු සාක්ෂිකාරයෝ.

එක දවසක් සන්ධ්‍යාවක ශාන්ත ජර්මේන් වල සිටුවරයා තවත් ප්‍රභූන් කිහිප දෙනෙක් එක්ක ඉන්න කොට වොන් ජෝර්ජි සිටුවරිය එතනට ඇවිල්ලා තියෙනවා. ඒ වෙලාවේ තමයි සිටුවරියට මතක් වෙලා තියෙන්නේ 1710 වර්ශයේදී වැනීසියේදී තමන්ට ශාන්ත ජර්මේන් වල සිටුවරයා හම්බෙලා තියෙනවා කියන කාරණාව. ඒ කියන්නේ අවුරුදු පනහකට විතර කලින්. ඉතින් ඇය සිටුවරයාගෙන් මෙහෙම අහලා තියෙනවා.

"ඔයාගේ තාත්තා හරි සීයා හරි වැනීසියේ හිටියද?"

ඒ ප්‍රශ්නයට ශාන්ත ජර්මේන් වල සිටුවරයා දුන්න උත්තරය මොකක්ද දන්නවාද?

"නැහැ මැඩම්. මට තමයි එදා වැනීසියේදී ඔබව මුණ ගැසීමේ ගෞරවය හම්බුනේ."

සිටුවරිය මේ කතාව විශ්වස කෙරුවේ නැහැ. මොකද කියනවා නම් අවුරුදු 50 කට කලින් ඇයට හම්බුණ පුද්ගලයාට තිබුණේ අවුරුදු 45 ක විතර පෙනුමක්. දැන් මෙතන ඉන්න ශාන්ත ජර්මේන් වල සිටුවරයාට තියෙන්නෙත් අවුරුදු 50 ක පෙනුමක්. ඔහු ඇයට මෙහෙම කියලා තියෙනවා.

"මට ගොඩක් වයසයි."

මේ සිටුවරයා 1710 වර්ශයේදී  සිටුවරිය සමඟ සිදු වූ හමුවීම ගැන සෑම විස්තරයක්ම වගේ ඇයට කියලා තියෙනවා. ඊට පස්සේ තමයි වොන් ජෝර්ජි සිටුවරියට ටිකක් හරි විශ්වාසයක් ඇති වෙලා තියෙන්නේ. ඇය ශාන්ත ජර්මේන් වල සිටුවරයාට මෙහෙම කියලා තියෙනවා.

"ඒ කියන්නේ දැන් ඔයාගේ වයස අවුරුදු 100 කට වඩා වැඩියි."

ඒක අහපු සිටුවරයා හිනාවක් එහෙම දාලා සිටුවරියට මෙහෙම කියලා තියෙනවා.

"ඒක වෙන්න බැරි දෙයක් නෙමෙයි."

ඉතින් මේ සිදුවීමෙන් පස්සේ ශාන්ත ජර්මේන් වල සිටුවරයා ගැන පහළොස්වැනි ලුවී රජතුමාට ආරන්චි වෙනවා. රජතුමා මේ කතාව වැඩිය ගණන් ගන්නේ නැහැ. හැබැයි මේ සිටුවරයා ඉගෙන ගෙන තිබුණ ක්‍රියාවලි දෙකකට පුලුවන් වෙනවා රජතුමාගේ අවධානය දිනා ගන්න. එකක් තමයි මේ සිටුවරයා දැනගෙන හිටපු දියමන්ති වල අඩුපාඩු ඉවත් කිරීමේ ක්‍රියාවලිය. අනිත් එක තමයි තඹ වැනි ඕනෑම ලෝහයක් රත්තරන් බවට හරවන්න පුලුවන් ක්‍රියාවලිය. මෙන්න මේ හේතු දෙක නිසා රජතුමා ශාන්ත ජර්මේන් වල සිටුවරයාව තමන්ගේ මාලිගාවට ගෙන්න ගන්නවා.

පහළොස්වැනි ලුවී රජතුමා

රාජකීය මාලිගාවට ආවට පස්සේ ශාන්ත ජර්මේන් වල සිටුවරයාට පුලුවන් වෙලා තියෙනවා හැමෝගෙම අවධානය දිනා ගන්න. ලේඛකයෙක් වුන කැසනෝවා තමන්ගේ ලේඛන වල මේ සිටුවරයා සමඟ සිදුවුන හමුවීම ගැන සඳහන් කරලා තියෙනවා. ඔහු සඳහන් කරන ආකාරයට ශාන්ත ජර්මේන් වල සිටුවරයා කියන්නේ විද්වතෙක්, වාග් විද්‍යාඥයෙක්, සංගීතඥයෙක් සහ රසායනඥයෙක්. ඒ විතරක් නෙමේ කාටවත් සමාන කරන්න බැරි සංවාදවාදියෙක් එහෙමත් නැති නම් කන්වර්සේශනලිස්ට් (Conversationalist) කෙනෙක්. ඔහු සඳහන් කරලා තියෙන විදිහට මේ සිටුවරයා කිසිම දෙයක් ආහාරයට අරගෙන නැහැ. ඉඳලා හිටලා ඛනිජ ජලය (Mineral Water) සහ ඖෂධීය තේ විතරක් බීලා තියෙනවා.

කැසනෝවා 

ඇල්කෙමි පරීක්ෂණ කරන්න අවශ්‍ය වෙන උපකරණ සහ අමුද්‍රව්‍යත් මාලිගාවට එන කොට සිටුවරයා අරගෙන ඇවිත් තියෙනවා. ඊට පස්සේ ශාන්ත ජර්මේන් වල සිටුවරයා නිර්මාණය කරලා තියෙනවා තරුණ පෙනුමක් ලබා දෙන මේකප් එකක් සහ ෆේස් වොශ් එකක්. මේ නිසා රාජ සභාවේ හිටපු කාන්තාවන්ගේ විශේෂ අවධානයක් ලබා ගන්න ඔහුට පුලුවන් වෙලා තියෙනවා. වර්ණ සහ ඩයි වර්ග යොදා ගෙන ප්‍රංශ රෙදි වල වටිනාකම වැඩි කරන්න පුලුවන් ක්‍රමයක් ගැනත් මේ සිටුවරයා රජතුමාට කියලා තියෙනවා. හැබැයි රජතුමාගේ අවධානය යොමු වෙලා තිබුණේ රෙදි වලට නෙමෙයි.

වටිනා දියමන්ති සමඟ සිටුවරයාට තිබුණ හැකියාව සහ දැනුම ගැන තමයි රජතුමා උනන්දු වුනේ. පර්සියාවේ හිටපු ෂා කෙනෙක් යටතේ පුරාණ තාක්ෂණයකට අයිති වෙලා තිබුණ දියමන්ති වල අඩුපාඩු ඉවත් කිරීමේ ක්‍රමයක් තමන් ඉගෙන ගෙන තියෙනවා කියන කාරණාව ශාන්ත ජර්මේන් වල සිටුවරයා රජතුමාට කියන්නේ මෙන්න මෙතනදි. කුඩා දියමන්ති ගොඩක් දිය කරලා විශාල දියමන්තියක් හදන ක්‍රමයක් ගැනත් සිටුවරයා රජතුමාට කියලා තියෙනවා.

මේ ක්‍රමය ගැන සැක කරපු රජතුමාට ශාන්ත ජර්මේන් වල සිටුවරයා දුන්න උත්තරය මොකක්ද දන්නවාද?

"රජතුමනි, ජීසස් ක්‍රිස්තුස් වහන්සේ වතුර වයින් බවට හරවනවා මම ඇස් දෙකෙන් දැකලා තියෙනවා. දියමන්ති කියන්නේ සුළු දෙයක්."

මේ ක්‍රමය වැඩ කරනවාද කියලා බලන්න රජතුමා පරීක්ෂණයක් යෝජනා කරලා තියෙනවා. ලුවී රජතුමා ගාව තිබිලා තියෙනවා ෆ්‍රෑන්ක් හයදහසක් විතර වටින දියමන්තියක්. හැබැයි මේ දියමන්තියේ අඩු පාඩු අයින් කෙරුවොත් මේකේ වටිනාකම ෆ්‍රෑන්ක් දහදාහට විතර ඉහළ යනවා. දියමන්තියේ අඩුපාඩු මාසයක් යන්න කලින් අයින් කරන්න පුලුවන් කියපු මේ සිටුවරයා රජතුමාගේ අභියෝගය භාර ගන්නවා. ඒ වගේම ශාන්ත ජර්මේන් වල සිටුවරයා මාසයක් යන්න කලින් දියමන්තියේ තිබුණ අඩුපාඩු අයින් කරලා රජතුමාට ආපහු දෙනවා.

ලුවී රජතුමාගේ ස්වර්ණාභරණ වෙළෙන්දා මේ දියමන්තිය පරීක්ෂා කරන කොට ඒ ගලේ වටිනාකම කොච්චරක්ද කියලා ඔයාට හිතා ගන්න පුලුවන්ද?

"ෆෑන්ක් 9600 ක්."

මේ පරීක්ෂණයෙන් පස්සේ රජතුමා සිටුවරයා ගැන ගොඩක් පැහැදිලා තියෙනවා. ඒ විතරක් නෙමේ ඇල්කෙමි පරීක්ෂණ සිදු කරන්න අවශ්‍ය වෙන රසායනාගාරයක් පවා රජතුමා ශාන්ත ජර්මේන් වල සිටුවරයාට ලබා දෙනවා. මේ විදිහට සියලු දෙනාගේම අවධානය දිනා ගත්ත සිටුවරයා ලුවී රජතුමාගේ මාලිගාවේ අවුරුදු කිහිපයක් ගත කරලා හිටි හැටියේම ආයෙත් අතුරුදහන් වෙලා තියෙනවා.

18 වන සියවස පුරාවට ශාන්ත ජර්මේන් වල සිටුවරයා ලෝකයේ විවිධ තැන් වලින් මතු වෙලා තියෙනවා...

බෙංගාලයේ පළමුවැනි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වුන සර් රොබට් ක්ලයිව් මේ සිටුවරයාව ඉන්දියාවෙදි දැකලා තියෙනවා...

සර් රොබට් ක්ලයිව්

ප්‍රශියාව සහ ඔස්ට්‍රියාව අතර යුද්ධය ඇති වෙලා තිබුණ කාලයේදී හේග් නගරයේ හිටපු මිනිසුන් මේ සිටුවරයාව දැකලා තියෙනවා...

ජර්මානු ජාතික භෞතික විද්‍යාඥයෙක් වුන ෆ්‍රාන්ස් ඇන්ටන් මෙස්මර්ට ජර්මනියේදී මේ සිටුවරයාව හම්බවෙලා තියෙනවා. මෙස්මර් කියන විදිහට මිනිස් මනසේ ක්‍රියාකාරිත්වය පිළිබඳ විශාල දැනුමක් ශාන්ත ජර්මේන් වල සිටුවරයා සතුව තිබිලා තියෙනවා. මෙස්මර්ට මෝහනය කිරීමේ කලාව උගන්වලා තියෙන්නෙත් ශාන්ත ජර්මේන් වල සිටුවරයා. සමහරු කියන විදිහට මෝහනය කිරීමේ කලාව යොදා ගෙන තමයි මේ සිටුවරයා ලන්ඩන් හිර ගෙදරින් නිදහස් වෙලා තියෙන්නේ.

ෆ්‍රාන්ස් ඇන්ටන් මෙස්මර්ට

‍මහා කැතරින්ට රුසියාවේ රජකම ලබා ගන්න උදව් කරලා තියෙන්නෙත් මේ සිටුවරයා...

මහා කැතරින්

හෝලන්ඩ් වල තිබුණ අවුරුදු හතේ යුද්ධය ඉවර කරන්නත් කටයුතු කරලා තියෙන්නේ මේ සිටුවරයා...

ප්‍රංශයේ උතුරු ප්‍රදේශයකදී කැසනෝවාට ශාන්ත ජර්මේන් වල සිටුවරයා ආයෙත් හම්බවෙලා තියෙනවා. ඒ හමුවීම අතරතුර කැසනෝවාගේ සාක්කුවේ තිබුණ කාසියක් රත්තරන් කාසියක් බවට හරවන්න මේ සිටුවරයාට පුලුවන් වුනා කියලා කැසනෝවාගේ සටහන් පොතේ සඳහන් කරලා තියෙනවා.

"මේ සියලුම අවස්ථාව වලදී වයස අවුරුදු 45 ක විතර පෙනුමක් තමයි ශාන්ත ජර්මේන් වල සිටුවරයාට තිබිලා තියෙන්නේ."

පහළොස්වැනි ලුවී රජතුමාගේ මරණයෙන් පස්සේ මේ සිටුවරයා ආපහු වර්සායිල්ස් නගරයට ඇවිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අනාගතයේ ඇති වෙන්න තියෙන ප්‍රංශ විප්ලවය ගැන ශාන්ත ජර්මේන් වල සිටුවරයා දහසයවැනි ලුවී රජතුමාට සහ මාරියා ඇන්ටොනෙට් රැජිනට අනතුරු අඟවලා තියෙනවා. විශාල කුමන්ත්‍රණයක් නිසා ජාතිය කඩාකප්පල් වෙන බවත් රජතුමා ඉන්නේ අනතුරක බවත් ඔහු කියලා තියෙනවා. හැබැයි මේ වෙලාවේ රාජකීය පවුල මේ සිටුවරයා කියපු දෙය ගණන් අරගෙන නැහැ.

දහසයවැනි ලුවී රජතුමා
මාරියා ඇන්ටොනෙට් රැජින

1776 වර්ශයේ ගිම්හාන කාලයේදී දෙවන මහාද්වීපික සම්මේලනය ෆිලඩෙල්ෆියාවේදී රැස් වෙන්නේ නිදහසේ ප්‍රකාශය එහෙමත් නැති නම් ඩෙක්ලරේශන් ඔෆ් ඉන්ඩිපෙන්ඩන්ස් (Declaration Of Independence) එක අත්සන් කරන්න. හැබැයි මේ රැස්වීමෙදි සියලු දෙනාටම එකගතාවයකට එන්න පුලුවන් වුනේ නැහැ. සමහර නියෝජිතයින් එංගලන්තය එක්ක තිබුණ යුද්ධයේ ප්‍රතිඵලය ගැන බය වෙලා හිටියේ. මෙන්න මේ වෙලාවේ කාමරයේ පිටිපස්සේ හිටපු කෙනෙක් ධෛර්යය, කැපවීම සහ නිදහස ගැන උද්වේගකාරී කතාවක් කරලා තියෙනවා. මේ කතාව ඇහුවට පස්සේ තමයි නියෝජිතයින් නිදහසේ ප්‍රකාශය අත්සන් කරලා තියෙන්නේ. මේ කතාව කරපු පුද්ගලයාගේ නම කවුරුත් දන්නේ නැහැ. හැබැයි ඒ පුද්ගලයාගේ හැඩරුව හැමෝටම මතක තිබිලා තියෙනවා.

"කලු පාට ඇදුමක් ඇදගෙන හිටපු වයස අවුරුදු 45 ක පෙනුමක් තිබුණ පුද්ගලයෙක්."

1779 වර්ශයේදී ශාන්ත ජර්මේන් වල සිටුවරයා ජර්මනියේ චාල්ස් කුමරුගේ ආගන්තුකයෙක් විදිහට වසර පහක් ජර්මනියේ ගත කරලා තියෙනවා.

ජර්මනියේ චාල්ස් කුමරු

ඊට පස්සේ 1784 වර්ශයේ පෙබරවාරි 27 වෙනිදා ශාන්ත ජර්මේන් වල සිටුවරයා නියුමෝනියාව හැදිලා මිය ගිහින් තියෙනවා. හැබැයි එයාගේ මරණයෙන් අවුරුද්දකට පස්සේ ඒ කියන්නේ 1785 වර්ශයෙදී මේ සිටුවරයා ආපහු මිනිසුන්ට දකින්න හම්බවෙලා තියෙනවා. ඒ වර්ශයේම ප්‍රංශ ෆ්‍රීමේසන්වරු එයාලගේ නියෝජිතයා විදිහට ශාන්ත ජර්මේන් වල සිටුවරයාව පත් කරලා තියෙනවා.

1789 වර්ශයේදී බැස්ටිල් එක අල්ලා ගන්නා අවස්ථාවේදී වගේම මාරියා ඇන්ටොනෙට් හට මරණ දඩුවම දුන් අවස්ථාවේදී ද ශාන්ත ජර්මේන් වල සිටුවරයාව මිනිසුන් දැකලා තියෙනවා...

1870 වර්ශයේදී තුන්වැනි නැපෝලියන් අධිරාජ්‍යයා මේ සිටුවරයා ගැන විමර්ශනය කරන්න විශේෂ කමිටුවක් පත් කරනවා. හැබැයි අවුරුද්දකට පස්සේ ඇතිවුන අද්භූත ගින්නක් නිසා ඔවුන් රැස් කර ගත්ත සියලු වාර්තා විනාශ වෙලා තියෙනවා.

තුන්වැනි නැපෝලියන් 

1877 වර්ශයේදී වැනීසියේ තිබුණ ෆ්‍රීමේසන්වරුන් විසින් කළමනාකරණය කරපු නවාතැන්පොළක හිටපු මිනිසුන් මේ සිටුවරයාව දැකලා තියෙනවා...

ශාන්ත ජර්මේන් වල සිටුවරයා සමඟ සම්බන්ධතාවක් ගොඩා නගා ගන්න තමන්ට පුලුවන් වුනා කියලා විඥාණවාදීන් සංගමයේ සමාජිකයින් වුන ඇනී බෙසන්ට් සහ බ්ලැවට්ස්කි මැතිනිය 1896 වර්ශයේදී කියනවා. ඔවුන්ට අනුව මේ සිටුවරයා හිමාලයේ සැඟවිලා හිටපු අමරණීය මිනිසුන්ගේ පරම්පරාවෙන් පැවත ගෙන එන කෙනෙක්.

ඇනී බෙසන්ට්
බ්ලැවට්ස්කි මැතිනිය

පළමු ලෝක යුද්ධය පැවතුන සමයේදී බැවේරියන් සොල්දාදුවන් දෙන්නෙක් ශාන්ත ජර්මේන් වල සිටුවරයාව අත්තඩංගුවට අරගෙන තියෙනවා. මේ සිටුවරයා භාෂාවන් රාශියක් කතා කරපු බව ඔවුන් කියනවා. ඒ විතරක් නෙමෙයි 1918 වර්ශයේදී යුද්ධය අවසන් වෙන බවත් ඔහු කියලා තියෙනවා. සොල්දාදුවන් දෙන්නා කියන විදිහට ශාන්ත ජර්මේන් වල සිටුවරයා අනාගතය ගැන අනාවැකියකුත් කියලා තියෙනවා.

"පහළ පන්තියට අයිති, පුරාණ සංකේතයක් පැළදගෙන සිටින කෲර පාලකයෙක් විසින් ජර්මනිය තවත් ලෝක යුද්ධයකට ගෙන යනවා. වසර හයකට පස්සේ අවසන් වෙන මේ යුද්ධය ජර්මනිය පරාද වෙනවා. හැබැයි ඒ වෙනකොටත් ජර්මනිය වචනයෙන් කියන්න බැරි තරම් ප්‍රචණ්ඩ ක්‍රියා රාශියක් කරලා ඉවරයි."

මේ කතා අහපු බැවේරියන් සොල්දාදුවන් දෙන්නා මේ මිනිහා පිස්සෙක් කියලා ශාන්ත ජර්මේන් වල සිටුවරයා  හිතලා නිදහස් කරලා තියෙනවා.

1930 වර්ශයේදී ගායි බැලාර්ඩ්ට ශාන්ත ජර්මේන් වල සිටුවරයාව කැලිෆෝනියාවේ තිබුණ ශාස්තා කන්දෙදි හමු වෙලා තියෙනවා. බැලර්ඩ් කියන විදිහට මේ සිටුවරයා ජීසස් ක්‍රිස්තුස් වහන්සේ වගේ ඇසෙන්ඩඩ් මාස්ටර් (Ascended Master) කෙනෙක්. ගායි බැලාර්ඩ් ශාන්ත ජර්මේන් වල සිටුවරයාගේ ඉගැන්වීම් මත "අයි ඈම් ඇක්ටිවිටි මූව්මන්ට් (I Am Activity Movement)" කියලා ආගමක් පවා නිර්මාණය කරනවා. එක අවස්ථාවකදී මේ ආගමට මිලියනයකට වඩා සාමජිකයින් ප්‍රමාණයක් ඉදලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අයි ඈම් ඇක්ටිවිටි මූව්මන්ට් කියන ආගම අදටත් ලෝකයේ පවතිනවා.

ගායි බැලාර්ඩ්

මේ වගේ ඉතිහාසය පුරාවටම ශාන්ත ජර්මේන් වල සිටුවරයා දකින්න හම්බවෙලා තියෙනවා. ඒ වගේම මේ සිදුවීම් ගැන හොඳින් ලේඛනගත කරපු වාර්තා රාශියක් තියෙනවා...

ඉතින් ශාන්ත ජර්මේන් වල සිටුවරයා කියන්නේ ඇත්තටම හිටපු පුද්ගලයෙක්ද?

ශාන්ත ජර්මේන් වල සිටුවරයා කියන්නේ ඇත්තටම ජීවත් වෙලා හිටපු පුද්ගලයෙක්. ඒ ගැන කිසිම සැකයක් නැහැ...

එතකොට ශාන්ත ජර්මේන් වල සිටුවරයා කියන්නේ අමරණීය කෙනෙක්ද?

මේ ගැන ඔයාගේ අදහස මොකක්ද?

Wikiwand - Wandering Jew
The Wandering Jew is a mythical immortal man whose legend began to spread in Europe in the 13th century. In the original legend, a Jew who taunted Jesus on the way to the Crucifixion was then cursed to walk the Earth until the Second Coming. The exact nature of the wanderer’s indiscretion varies in…
https://www.gutenberg.org/files/12073/12073.txthttps://www.gutenberg.org/files/2981/2981-h/2981-h.htm#linkC2HCH0003

Latest