2019 අප්‍රේල් 21 වෙනිදා පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිදුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව වන්දි වශයෙන් රුපියල් මිලියන 15ක මුදලක් ගෙවා ඇතැයි වාර්තා වෙයි.
තමන්ට හිටපු ජනාධිපතිවරයා වශයෙන් විශ්‍රාම වැටුප් වශයෙන් මාසිකව රුපියල් 97,500/- ක්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දීමනා හැර රුපියල් 54,285 ක මුදලක් ද ආදායම වශයෙන් ලැබෙන බව මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් මඟින් දැනුම් දී ඇති බව සඳහන්.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරනු ලැබූ රුපියල් මිලියන 100ක් වන්දි මුදලින් පසුගිය මස 28 වනදා රුපියල් මිලියන 10ක් සහ රුපියල් මිලියන 5ක් ලෙසින් බැගින් රුපියල් මිලියන 15ක මුදලක් වන්දි වශයෙන් හානිපූර්ණ කාර්යාලයේ පවත්වාගෙන යන පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූවන්ගේ අරමුදලට ගෙවා ඇත.
එය උක්ත මෝසම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
ඉතිරි වන්දි මුදල වන නොගෙවූ මිලියන 85ක මුදල වසරකට රුපියල් ලක්ෂ 85 බැගින් වාරික 10 කින් ගෙවීමටත් හිටපු ජනධිපතිවරයා අධිකරණයෙන් අවසර ඉල්ලා ඇත.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට රුපියල් මිලියන 75 බැගින් සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු රුපියල් මිලියන 50 ක් ගෙවන ලෙසත් එම නඩු තීන්දුවේ සඳහන් වෙයි.
මේ අතරින් හේමසිරි ප්‍රනාන්දු මහතා රුපියල් මිලියනයක් ද, පූජිත් ජයසුන්දර මහතා 1,725,588 ක් ද හිටපු බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් රුපියල් මිලියන 05 ක්ද ගෙවා ඇති බව සඳහන්.