පොල් වගා කිරීමේ මණ්ඩලයේ සිදුවී ඇති බව කියන දුෂණ අක්‍රමිකා රැසක් සම්බන්ධයෙන් කෝප් කමිටුවේ දැඩි ලෙස දෝෂ දර්ශණයට ලක් කර ඇත.
පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ මණ්ඩලය යන ආයතන වල කාර්ය සාධනය විමසීම සදහා එම ආයතන වල ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට පසුගියදා කැදවා තිබුණි.
සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වනේ කෝප් කමිටුව කැදවා තිබුණි.
කිසිදු පූර්ව අනුමැතියකින් තොරව පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලීය ගොඩනැගිල්ලට අළුතින් කොටසක් එක් කර ඇති බවත්, ඒ සදහා රුපියල් දෙකෝටි දශ ලක්ෂයක මුදලක් වැය කර ඇති බවද කෝප් කමිටුවේදී හෙලිවී ඇත.
මීගමුව ප්‍රදේශයේ පවත්වා ගෙන යන බීජ පොල් උයනේ ගොඩනැගිල්ලක් ඉදිරිකිරීම සදහා එක්තරා උපදේශන සමාගමකට රුපියල් විසි ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවා ඇති බවද මෙහිදී හෙලි විය. මෙම ගණු - දෙණු සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද කෝප් කමිටුව පොල් සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දුන්නේය.
පසුගිය කාලය පුරා අප රට තුළ පොල් වෙන්දේසියේ ඒකාධිකාරියක් පැවතී ඇත. මෙම ඒකාධිකාරිය බිද දැමීම සදහා "ඔන් ලයින්" ක්‍රමයක් හදුන්වා දීමට පොල් සංවර්ධන මණ්ඩලය කටයුතු කර ඇත. නමුත් මේ වන විට එම "ඔන් ලයින්" ක්‍රමයද අක්‍රීයව පවතී. ඒ සඳහා කර ඇත්තේද නිෂ්කරණ වියදමකි. මේ සම්බන්ධයෙන්ද කෝප් කමිටුව දැඩි දෝෂ දර්ශණයක් එල්ල කර ඇත.
පොල් වගා කිරීමේ මණ්ඩලයට අයත් ඉඩම් වලට පොහොර අවසන් වලට යොදා ඇත්තේ මීට වසර 07 කට පෙර එනම් 2016 වසරේදී බව කෝප් කමිටුව හමුවේ හෙලි වී ඇත. සාරවත් අස්වැන්නක් නෙලා ගන්න නම් වගාවන්ට වාර්ෂිකව පොහොර යෙදිය යුතු නමුත් එසේ නොකර සිටීමට පැහැදිලි හේතුවක් කෝප් කමිටුව හමුවේ ඉදිරිපත් වී නැත. එමෙන්ම වගාවන්ට නිසි කළට පොහොර නොයෙදීම නිසා විවිධ රෝග පැතිර යන බවත්, එම තත්ත්වය අස්වැන්නට සෘජුව බලපෑම් එල්ල කරන බවද මෙම හමුවේදී ප්‍රකාශ වී ඇත.
මේ අතර කිසිදු සම්මුඛ පරීක්ෂණයක් නොපවත්වා පොල් වගා කිරීමේ මණ්ඩලයට එහි හිටපු සභාපතිවරයා විසින් සේවකයින් 06 දෙනෙකු බදවා ගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන්ද වර්තාවක් ලබා දෙන ලෙස කෝප් කමිටු සභාපතිවරයා කමිටුව හමුවේ පෙනී සිටි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
2020 – 2022 වසර වලදී මෙරටට පොල් තෙල් මෙට්‍රික් ටොන් 187,623 ක් සහ ෆාම් තෙල් මෙට්‍රික් ටොන් 225,510 ක් ආනයනය කර ඇති බව මෙම කෝප් කමිටුවේදී අනාවරණය වී ඇත. ඒ අනුව මෙරට දළ පොල් තෙල් පරිභෝජනයෙන් 78% ක් ආනයකික තෙල් වන අතර ඉතිරි 22% ක් වන සොච්චම පමණක් දේශීය නිෂ්පාදන වේ. ආනයනික මෙන්ම දේශීය පොල් තෙල් වල ඇති ගුණාත්මක භාවය සම්බන්ධයෙන්ද කෝප් කමිටුවේදී දැඩි ලෙස කථා බහ කර ඇත.
පොල් පර්යේෂණ මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් රුපියල් මිලියනන ගනනක් වැය කරමින් විවිධ පර්යේෂණ සිදු කිරීම් ආරම්භ කර ඒවා අතර මගදී නතර කිරීම ගැටළුවක් බවද මෙහිදී අනාවරණය වී ඇත. ඒ අනුව එවැනි කටයුතු වල ඇති නෛතික බැදීම් සම්බන්ධයෙන් සොයා බලන ලෙසද කෝප් කමිටු සභාපතිවරයා උපදෙස් ලබා දී ඇත.