Skip to content

ශ්‍රී ලංකාවේ පාසල් ඩිජිටල්කරණයට චීන Huawei සහාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකාවේ පාසල් ඩිජිටල්කරණය සඳහා චීනයේ හුවාවි (Huawei) සමාගමේ සහාය ලබාගැනීම සඳහාවූ ද්වීපාර්ශික ගිවිසුමකට  අත්සන් තබා ඇත.

චීනයේ සිව් දින නිල සංචාරයක නිරත වන ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ දූත පිරිස බීජිං නුවර හුවාවි සමාගමේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වූහ.

එහිදී චීනයේ හුවාවි තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ හුවාවි ආසියා පැසිෆික් කලාපීය සභාපති සයිමන් ලින් සදහන් කළේ, ශ්‍රි ලංකාවේ මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුවන් වාර්ෂිකව බිහි කිරීමේ අධ්‍යයන වැඩසටහනක් වෙනුවෙන් ශ්‍රීලංකාවට සහාය ලබාදීමට තම සමාගම සූදානම් බවයි.

තම සමාගම දැනටමත් තාක්ෂණ හා යටිතල පහසුකම් සැපයිමේ කාර්යයට අමතරව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයක් සමගම අධ්‍යයන කාර්යයන්ටද සම්බන්ධ ආධාර උපකාර සැපයීමේ ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙන බවද ආසියා පැසිෆික් කලාපීය සභාපති සයිමන් ලින් වැඩිදුරටත් සදහන් කර‍යි.

ඩිජිටල් අධ්‍යාපන ක්‍රමවේදය සහ හරිත බලශක්ති නිෂ්පාදනය සම්බන්ධයෙන් චීන රජයේ මෙන්ම හුවාවි සමාගමේ සහාය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බවත් තමන් මෙවර හුවාවි කේන්ද්‍රස්ථානයට පැමිණියේ ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීමට බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී සදහන් කොට තිබේ.

අනාගත ලෝකයට ශක්තිමත්ව මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවේ ඉතා තරගකාරී ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් නිර්මාණය කළයුතු බවත් ඒ සඳහා මූලික පදනම දැන් සැකසෙමින් පවතින බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී වැඩිදුරටත් කියා ඇත.

Latest