හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පසුගිය දිනෙක සිදුකරනු ලැබු ප්‍රකාශයක් සමබන්දයෙන් ළමා හිංසනයට තිත පදනම විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය,
පට්ටපල් බොරු රටක දර්ශනයක් නැති රාජ්‍ය නායකත්වයෙන් බැට කන දරුවෝ!
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශාරීරික දඬුවම් අනුමත කිරීම පිළිබඳව අපේ පුදුමයක් නැතත්, අපි අතිශය කළකිරීමට පත්ව සිටින්නෙමු. 2019 මාර්තු මාසයේ සහ 2023 සැප්තැම්බර් මාසයේ පැවැත්වූ ප්‍රසිද්ධ දේශනවලදී පන්තිකාමර තුළ සිදුවන ප්‍රචණ්ඩත්වය ඔහු උත්කර්ෂයට නැංවීය. මහජන ඡන්දයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් මාතෘ භූමියේ සියලු පුරවැසියන්ගේ සුබසාධනය පිළිබඳ වගකීම පැවරෙන්නේ ඔහුටය. ‘කිසිම පුද්ගලයකු වධහිංසාවට, කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීමකට හෝ දඬුවමකට බඳුන් නොකළ යුතු’ බවට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 11 වැනි වගන්තියේද සඳහන් වෙයි.
එනමුත්, ඔහු පාර්ලිමේන්තු කුමන්ත්‍රණයක් මගින් 2018 වසරේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ, 2019 වසරේ පාස්කු ඉරිදා සමූල ඝාතනය පිළිබඳ කළ අනතුරු ඇඟවීම් නොසලකා හැරි, 2019 වසරේ ධූරයෙන් ඉවත්ව යාමට ප්‍රථම, රෝයල් පාක් ඝාතකයා ලෙස ප්‍රචලිත වූ මරණ දණ්ඩනයට නියම වූ මිනිමරුවකු නිදහස් කළ තැනැත්තෙකි. එවැනි තැනැත්තකු, ශාරීරික දඬුවම් අවසන් කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි පංච මහා යෝජනාව අනුමත කිරීම මගින් හා ශ්‍රී ලංකාවේ ළමා හිංසනය නැවැත්වීමට කැපවුණු සංවිධානයක් වන ‘ළමා හිංසනයට තිත’ පදනම 2018 වසරේ පැවැත්වූ ‘Walk for Real Change’ පාගමනෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්, සියලු දරුවන්ට ප්‍රීතිමත් සහ ආරක්ෂිත ඉගෙනුම් පරිසරයක් ලබා දීමට කටයුතු කරන බවට එකඟ වීමෙන්, තරුණ පුරවැසියන් වෙත දුන් ප්‍රතිඥාවන්ට ගරු කරනු ඇතැයි අපට අපේක්ෂා කළ හැකිද?
1992 පටන් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අත්සන් තබා ඇති අතර, එම කමිටුව (UNCRC), විසින් 2018 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට රතු අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලදී. එම කමිටුව ශ්‍රී ලංකාවේ පස්වන සහ හයවන ඒකාබද්ධ වාර්තා සම්බන්ධ අවසන් නිරීක්ෂණ මගින්, හදිසි සහ බරපතල අවධානය ලැබිය යුතු ප්‍රධානතම ප්‍රමුඛතාව වශයෙන් ශාරීරික දඬුවම් ඇතුළු ප්‍රචණ්ඩත්වයට අදාළ නිර්දේශ සම්බන්ධයෙන් රාජ්‍ය පාර්ශවයේ අවධානය යොමු කරනු ලැබීය. 2030 දී තිරසාර සංවර්ධන ඉලක්ක 16.2 සාක්ෂාත් කර ගැනීම සඳහා ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නැවැත්වීමේ ගෝලීය සැලැස්මට අත්සන් තබා ඇති දකුණු ආසියාවේ එකම පුරෝගාමී රට වන්නේ, ශ්‍රී ලංකාවයි.
අනාගත පරම්පරාව රැක ගැනීම සඳහා බොහෝ දේ පොරොන්දු වී ඇතත්, ඉටු කර ගත් දේ අල්ප වූ රටක, රාජ්‍ය නායකයා වීම ගැන සිරිසේන මහතා ලැජ්ජා විය යුතුය.
මහජන නියෝජිත සිරිසේන සම්බන්ධව ආන්දෝලනාත්මක හෙළිදරව් කිහිපයක් තිබේ.
1 වැනි බොරුව - මට බොහෝ සේ ගුටි බැට දී තිබෙන නිසාම මම හොඳ මිනිසෙකි. මට තාමත් ඒ වේදනාව දැනෙයි.
සත්‍යය - මෙම ප්‍රකාශයේ හාස්‍යය වන්නේ, යම් දරුවකුගේ චර්යාව වෙනස් කිරීම සඳහා අඛණ්ඩව පහර දීම අවශ්‍ය නම්, එක්කෝ තෝරාගත් විනය ක්‍රමය අසාර්ථක ය. නැතහොත්, දරුවාට සරල විධාන අනුගමනය කිරීම ඇදහිය නොහැකි තරම් අසීරු වන පරිදි වර්ධනයෙහි පමාවක් තිබේ. උදාහරණයන් ලෙසින් ඔටිසම් වැනි තත්ත්වයක් පෙන්වා දිය හැකිය. ඔහු අත්විඳි ටොකු සහ වේවැල් පහර උත්කර්ෂයට නැංවිය යුතු ආකාරයේ සතුටක් ගෙන දෙන්නේ නම්, තවමත් ඔහුට වේදනාව දැනෙන්නේ ඇයි? දඬුවම් ලැබීමේ මානසික වේදනාව මොළයේ ලිම්බික් පද්ධතිය තුළ තැන්පත් වන බවට විද්‍යාත්මක සාක්ෂි මින් සනාථ වේ. ජීවිතයේ පසුකාලීනව, පුද්ගලයා ආතතියට පත් වූ අවස්ථාවක මෙම හැඟීම් නැවත මතු වේ. එක්කෝ පුද්ගලයා ස්වභාවයෙන්ම ආක්‍රමණශීලී අයකු බවට පත් වේ, නැතහොත් මං මුළාවට පත්වේ. අනුන්ට වේදනාවක් ලබා දීමේ අධිෂ්ඨානයෙන් යුතුව, මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ තීරණයත් සමග, මෙම ආක්‍රමණශීලී චරිතය ඔහු තුළ ජීවමාන බව පෙනී යයි. හිටපු ජනාධිපතිවරයා ශාරීරික දඬුවම්වලට ගොදුරු වූ වින්දිතයකුගේ නියම ස්වරූපය හා හොඳින්ම ගැළපේ.
2 වැනි බොරුව - දරුවකුට පහර දීම අපේ සංස්කෘතියෙහි අංගයක් වන අතර, එය අවසන් කිරීම බටහිර බලපෑමට කෑ ගැසීමකි.
සත්‍යය - (ද සොයිසා, 2006) සාමාන්‍යයෙන් ලංකාවේ පාසල්වල සහ නිවෙස්වල ශාරීරික දඬුවම් ක්‍රියාත්මක වුවද, අතීතයේ සිටි වෝහාරික තිස්ස (214-236 AC), II වැනි විජයබාහු (1186-) 1187) සහ III වන විජයබාහු (1232-1236) වැනි ශ්‍රී ලාංකීය රජවරුන් කිසිදු ආකාරයේ ශාරිරික හානි සිදු කෙරෙන දඬුවම් තහනම් කර ඇති බවට සාක්ෂි තිබේ (මෝල්ඩ්‍රිච්, 1986). කෙසේ වෙතත්, මෙම ආකල්පය යටත් විජිත පාලනය පැමිණීමත් සමඟ, එම පාලනය පහසු කිරීම සඳහා විශේෂයෙන්ම, එය ප්‍රවර්ධනය කළ තැනින්ම වෙනස් වී ඇති බව පෙනෙන අතර (ද සිල්වා, 2001; 2007), වර්තමාන සමාජයේද එය නොනැසී පවතී. මේවා අපගේ සංස්කෘතිය යැයි අපි ආඩම්බරයෙන් වැළඳ ගෙන සිටියදී, යටත් විජිත පාලකයන් යළිත් සිය මව්රටවලට ගොස් එවැනි සාහසික අපරාධ එම රටවල තහනම් කර තිබේ. සිරිසේන, පර දේශක්කාරයාගේ අශිෂ්ට පුරුදු වලම එල්ලී සිටින බව පෙනේ.
3 වැනි බොරුව - මානව හිමිකම් යනු රාජ්‍ය නොවන සංවිධානවල කුමන්ත්‍රණයකි
සත්‍යය - සරල විසඳුම් සෙවීම දුෂ්කර වූ පාලන තන්ත්‍රයක වෙනසක් සිදු කිරීමට කිසියම් පුද්ගලයකු/පුද්ගලයින් සාර්ථක වේ නම්, බලධාරීන්ට එය තර්ජනයක් ෙලසින් දැනේ. යමකුට කළ හැකි ලොකුම අපහාසය නම්, සැබෑ පුද්ගල උත්සාහයට එරෙහිව වැරදි මූල්‍ය චෝදනාවක් ඇලවීමයි. මෙය නම්, ශාරීරික දඬුවම්වලට ලක්වූ හිටපු ජනාධිපතිවරයාගේ තවත් සෘණාත්මක චරිත ලක්‍ෂණයක් වන බිය තර්ජනය හා බිය ගැන්වීමයි. ආණ්ඩුවක් දුර්වල වූ විටක, ආයතන අඩපණ වූ විට, රාජ්‍ය සේවකයින් මන්ද බුද්ධිකයින් සේ කටයුතු කරන විට සිවිල් සංවිධාන පෙරමුණ ගනී. අපි ශ්‍රී ලංකාවේ පුරවැසියන් වන්නෙමු. අපේ දරුවන් අධ්‍යාපනය ලබන මෙරට පදිංචිකරුවන් වශයෙන් දරුවන්ගේ සුබසාධනය සහතික කිරීම සහ ශ්‍රී ලංකා සීමාව තුළ අයිතිවාසිකම් තහවුරු කිරීමේ සදාචාරාත්මක හා සමාජීය වගකීමක් අප වෙත තිබේ. විදේශ න්‍යාය පත්‍රයක අවශ්‍යතාවක් සැබෑ දේශප්‍රේමීන්ට නොමැත.
ලෝක ප්‍රසිද්ධ වෛද්‍ය සඟරාවක් වන Lancet වසර 50ක් පුරා අධ්‍යයනයන් 300ක් සිදු කරමින් ශාරීරික දඬුවම් හේතුවෙන් පුළුල් පරාසයක ඍණාත්මක ප්‍රතිඵල පෙන්නුම් කරන බවට අතිවිශාල සාක්ෂි ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඉන් සිදු වන එකදු යහපත් ප්‍රතිලාභයක් සම්බන්ධ කිසිදු අධ්‍යයනයකින් සාක්ෂි සොයාගෙන නොමැත. අවසාන වශයෙන්, අපගේ වෘත්තීය මතය අනුව, හිටපු ජනාධිපතිවරයා ශාරීරික හිංසනය හේතුවෙන් පහත සඳහන් සෘණාත්මක චරිත ලක්ෂණ පෙන්නුම් කරන බව පැහැදිලිය.
1) කෙටි කාලීන මතකය අමතක වීම
2) පට්ටපල් බොරු කීම
3) ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ මායාව
4) ප්‍රචණ්ඩත්වය පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යාම
5) පොදු නීතියට ගරු නොකිරීම
6) තර්ජනය හා බිය ගැන්වීම
7) වින්දිතයා පීඩකයා බවට පත් වීම
ආර්ථික සහ සමාජීය සාරධර්ම බංකොලොත් වූ බොරු රටක බැට කන දරුවන් ආරක්ෂා කර ගැනීමට දෙමව්පියන්ට දෙන අවවාදය නම්: දර්ශනයක් නැති මහජන නියෝජිතයින්ගෙ පට්ට පල් බොරු ඇහැට කනට නොපෙන්වා සිටීමට වග බලා ගන්න. අනාගතයේ නියම හිමිකරුවන් වන දරුවන්ට ප්‍රචණ්ඩත්වයෙන් තොර නව උදාවක් දායාද කිරීමට ඔබට බලය ඇත!
වෛද්‍ය තුෂ් වික්‍රමනායක
සභාපති
ළමා හිංසනයට තිත පදනම